154. කක්කාරුපූජක ථේර අපදාන වර්ණනාව
දෙවපුත්තොඅහං සන්තො යනාදි වශයෙන් ආයුෂ්මත් කක්කාරු පුප්ඵ පූජක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයන්හි කරන ලද පින් රැස්කිරීම් ඇත්තේ සිඛී භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි බූමාටු දිව්‍ය පුත්‍රයෙක්ව ඉපිද සිඛී සම්බුදුරජාණන් වහන්සේ දැක දිව්‍ය කක්කාරු මලක් ගෙන පූජා කළේය.
හේ ඒ පිනින් දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ තිස්එකක් කල්ප අභ්‍යන්තරයෙහි උභය සැපත් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි සැවැත්නුවර කුලගෙයක ඉපිද වැඩිවිය පත්ව ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැදුණේ පැවිදිව නොබෝ කලකින්ම රහත්වී තමාගේ පූර්වකර්මය ප්‍රත්‍යක්‍ෂයෙන් දැන හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ ‘දෙවපුත්තො අහං සන්තො’ යනාදිය කීය. එහි දිබ්බන්ති පංචකාම ගුණයන් සමග ක්‍රීඩා කරත්නුයි දේව නමි. දෙවියන්ගේ පුත්‍රයා වූ දෙවියන් මවු හෝ පුත්‍රයා, මම දේව පුත්‍රයෙක් වූයේ දිව්‍යමය වූ කක්කාරු මලක් ගෙන සිඛී භාග්‍යවතුන් වහන්සේට අභිරෝපයිං පිදුවෙමි යන අර්ථයි. සෙස්ස නොගැඹුරු අර්ථ ඇත්තේ ම ය.
කක්කාරු පුප්ඵ පූජක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
155. මන්‍දාරවපූජක ථේර අපදාන වර්ණනාව
දෙවපුත්තො අහං සන්තො යනාදි වශයෙන් ආයුෂ්මත් මන්‍දාරව පුප්ඵපූජක තෙරුන් වහන්සේගේ අපදානයයි. මේ තෙරුන් වහන්සේ ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තාහු භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස්කරන්නාහු සිඛී භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි බූමාටුදේව පුත්‍රයෙක්ව ඉපිද සිඛී භාග්‍යවතුන් වහන්සේ දැක පහන් සිතැතිව දිව්‍ය මන්දාරව මලින් පූජා කළහ.
හේ තෙන පුඤ්ඤෙන යනාදී සියල්ල අනන්තර තෙරුන් වහන්සේගේ අපදාන වර්ණනාවෙහි කියන ලද පරිදි දතයුත්තේය.
මන්‍දාරව පුප්ඵපූජක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
156. කදම්බපුප්ඵිය ථේර අපදාන වර්ණනාව
හිමවන්තස්ස අවිදූරෙ යනාදි වශයෙන් ආයුෂ්මත් කදම්බපුප්ඵිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස් කරන්නේ සම්මා සම්බුදුවරුන්ගෙන් හිස්වූ ලෝකයෙහි එක්තරා කුලයක ඉපිද වැඩිවිය පත්ව ගෘහවාසයෙහි වෙසෙන්නේ එහි ආදීනව දැක ගෘහවාසය අත්හැර සෘෂි පැවිද්දෙන් පැවිදිව හිමවත සමීපයෙහි කුක්කුට නම් පර්වතයෙහි ආශ්‍රමයක් කොට වාසය කළේය. හේ එහි පසේබුදුවරුන් සත්නමක් දැක පහන් සිතැත්තේ පිපුණු කොලොම් මලක් කඩා පසේ බුදුවරුන් පිදුවේය. උන්වහන්සේලා ද ‘ඉච්ඡිතංපෙත්‍ථිතං’ ආදී අනුමෝදනාව කළ සේක.
හේ ඒ පිනින් දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ උභය සම්පත් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි සැවැත්නුවර කුලගෙයක ඉපිද ධර්මදේශනාව අසා ලද සැදැහැ ඇත්තේ පැවිදි වී නොබෝ කලකින්ම රහත්වී පූර්වකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ ‘හිමවන්තස්ස අවිදූරෙ’ යනාදිය කීය. එය කියන ලද අරුත් ඇත්තේ ම ය. කුක්කුටො නාම පබ්බතො යනු එහි දෙපැත්තෙහිම කුකුල් කරමලයක ආකාරයෙන් පව්කුළු පෙනෙන බැවින් කුක්කුට යයි ප්‍රසිද්ධියට ගියේ ක්‍රමයෙන් හරස්ව පිහිටානුයි පබ්බතො. තම්හි පබ්බත පාදම්හි යනු ඒ පර්වතය සමීපයෙහි. සත්තබුද්ධාවසන්ති යනු පසේ බුදුවරුන් සත්නමක් ඒ කුක්කුට පර්වත පාදයෙහි පන්සලෙහි වසත් යන අර්ථයි.
දීපරාජංව උග්ගතං යනු දීපයන්ට රජනුයි දීපරාජා. සියලු පහන්වලට දැල්වෙන තාරකාවලට රජවූ චන්ද්‍රයා යන අර්ථයි. සියලු ජම්බුද්වීපය, පූර්ව විදේහය, අපරගොයානය, උතුරුකුරු සංඛ්‍යාත වූ සතර දිවයින්වලද ආලෝකය පතුරුවන හෙයින් චන්ද්‍රයා දීපරාජ යයි කියනු ලැබේ. ඒ අහසෙහි නැගුණු චන්‍ද්‍රයා මෙන් සුපුප්ඵිතං පිපුණු කොලොම් ගසක් දැක එයින් මල් නෙලා දෝතින් පග්ගය්හ ගෙන සත් පසේ බුදුවරුන් වෙත සමොකිරිං මනාසේ විසුරුවෙමි. ආදරයෙන් පූජා කෙළෙමි යන අර්ථයි. සෙස්ස නොගැඹුරු අරුත් ඇත්තේ ම ය.