152. තම්බපුප්ඵිය ථේර අපදාන වර්ණනාව
පරකම්මායනෙයුත්තො යනාදී වශයෙන් ආයුෂ්මත් තම්බපුප්ඵිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මේ ආයුෂ්මත් වහන්සේ ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තාහු භවයෙහි තැනින් තැන පින් රැස් කරන්නාහු පියදස්සි භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි කිසියම් පෙර කරන ලද අකුසල කර්මයකින් දුගී කුලයක ඉපිද වැඩිවිය පත්වූවාහු අනුන්ගේ කුලීවැඩ කොට ඒ කුලියෙන් ජීවිකාව කළහ. හේ මෙසේ දුකින් වසන්නේ අනුන්ට අපරාධකොට මරභයින් පළාගොස් වනයට පිවිසියේය. ඒ ගියතැන පළොල් බෝධිය දැක වැඳ හැමද එක් රුකක තඹවන් මල් දැක ඒ සියල්ල නටුවෙන් කඩා බෝධිපූජාවක් කළේය. එහි සිත පහදවා වැඳ පලක් බැඳ හුන්නේය. එකෙණෙහි ඒ මිනිස්සු පා අනුව ලුහුබැඳ එහි ගියාහුය. හේ ඔවුන් දැක බෝධිය ආවර්ජනය කරමින්ම පලා ගොස් භයානක වූ ගිරිදුර්ගයක ප්රපාතයට වැටී මිය ගියේය.
හේ බෝධිපූජාව සිහිකළ බැවින් ඒ ප්රීති සොම්නසින් ම තව්තිසා ආදියෙහි ඉපදී ස කාමාවචර සම්පත්තීන් ද මිනිසුන් අතර මිනිස් සැපද අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි විභව සම්පත් ඇති කුලගෙයක ඉපිද වැඩිවිය පත්වුයේ ශාස්තෲන් වහන්සේගේ ධර්මය අසා පහන් සිතැත්තේ පැවිදිව නොබෝ කලකින්ම රහත්වී පූර්වකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්රකාශ කරන්නේ ‘පරකම්මායනෙ යුත්තො’ යනාදිය කීය. එහි අනුන්ගේ වැඩ පරකම්ම නමි. පරකර්මයන් අයනෙ කිරීමෙහි හෝ යුත්තො යොදනු ලැබුවේ වීමි යන අර්ථයි. සෙස්ස ප්රකට ම ය.
තම්බපුප්ඵිය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
153. වීථිසම්මජ්ජක ථේර අපදාන වර්ණනාව
උදෙන්තං සතරංසිව යනාදි වශයෙන් ආයුෂ්මත් වීථිසම්මජ්ජක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ නොයෙක් ජාතීන්හි කරන ලද පින් රැස් කිරීම් ඇත්තේ ගෘහවාසයෙහි වසන්නේ නුවරවැසියන් සමග වීථිය සරසා භාග්යවතුන් වහන්සේ දැක පහන් සිතැත්තේ වීථිය සමකොට එහි කොඩියක් එසවීය.
හේ ඒ පිනින් දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ උභය සම්පත් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි ශාස්තෲන් වහන්සේගේ ධර්මය අසා ලද සැදැහැ ඇත්තේ බුහුමන් සහිත හදවත ඇත්තේ පැවිදිව ලබන ලද උපසම්පදා ඇත්තේ නොබෝ කලකින් ම රහත් වී තමාගේ පූර්ව කර්මය සිහිකරන්නේ ප්රත්යක්ෂයෙන් දැන පූර්ව චරිතාපදානය ප්රකාශ කරන්නේ ‘උදෙන්තං සතරංසීව’ යනාදිය කීය. එහි උදෙන්තං උඩට යන සතරංසිං සියයක් රශ්මි ඇති. සතරංසි යනු දේශනා ශීර්ෂ මාත්ර නොයෙක් සියදහසක් රශ්මි ඇති සූර්යයා මෙන් යන අර්ථයි. සතරංසිව භානුමං යනු සතරංසිං සංකුචිත රශ්මි ඇති භානුමං ප්රභාවත් චන්ද්ර මණ්ඩලය මෙන් සම්බුදුරජාණන් වහන්සේ දැක යන අර්ථයි. සෙස්ස පහසුවෙන් දතහැක්කේ ම ය.
වීථිසම්මජ්ජක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
154. කක්කාරුපූජක ථේර අපදාන වර්ණනාව
දෙවපුත්තොඅහං සන්තො යනාදි වශයෙන් ආයුෂ්මත් කක්කාරු පුප්ඵ පූජක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයන්හි කරන ලද පින් රැස්කිරීම් ඇත්තේ සිඛී භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි බූමාටු දිව්ය පුත්රයෙක්ව ඉපිද සිඛී සම්බුදුරජාණන් වහන්සේ දැක දිව්ය කක්කාරු මලක් ගෙන පූජා කළේය.
හේ ඒ පිනින් දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ තිස්එකක් කල්ප අභ්යන්තරයෙහි උභය සැපත් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි සැවැත්නුවර කුලගෙයක ඉපිද වැඩිවිය පත්ව ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැදුණේ පැවිදිව නොබෝ කලකින්ම රහත්වී තමාගේ පූර්වකර්මය ප්රත්යක්ෂයෙන් දැන හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්රකාශ කරන්නේ ‘දෙවපුත්තො අහං සන්තො’ යනාදිය කීය. එහි දිබ්බන්ති පංචකාම ගුණයන් සමග ක්රීඩා කරත්නුයි දේව නමි. දෙවියන්ගේ පුත්රයා වූ දෙවියන් මවු හෝ පුත්රයා, මම දේව පුත්රයෙක් වූයේ දිව්යමය වූ කක්කාරු මලක් ගෙන සිඛී භාග්යවතුන් වහන්සේට අභිරෝපයිං පිදුවෙමි යන අර්ථයි. සෙස්ස නොගැඹුරු අර්ථ ඇත්තේ ම ය.