160. කුමුදදායක ථේර අපදාන වර්ණනාව
හිමවන්තස්ස අවිදුරෙ යනාදි වශයෙන් ආයුෂ්මත් කුමුදදායක තෙරුන් වහන්සේගේ අපදානයයි. මේ තෙරුන් වහ්නසේ ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තාහු නොයෙක් භවයන්හි පින් රැස් කරන්නාහු පදුමුත්තර භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි හිමවත අසල මහා ජාතස්සරයක කකුධ නම් පක්ෂියෙක් ව ඉපිද කිසියම් අකුසලයකින් පක්ෂියකු සමාන වුවත් පෙර කරන ලද පිනින් බුද්ධිමත් වූවාහු පිනෙහි දක්ෂ වූවාහු සිල්වත් වූවාහු පණැති ගොදුරින් වෙන්වූහ. එසමයෙහි පදුමුත්තර භාග්යවතුන් වහන්සේ අහසින් වැඩ ඔහුගේ සමීපයේ සක්මන් කරන සේක. ඉක්බිති ඒ පක්ෂියා භාග්යවතුන් වහන්සේ දැක පහන් සිතැත්තේ කුමුදමලක් ඩැහැගෙන භාග්යවතුන් වහන්සේගේ පාමුල පූජා කළේය. භාග්යවතුන් වහන්සේ ඔහුගේ සොම්නස උපදවනු පිණිස පිළිගෙන අනුමෝදනාව කළ සේක.
හේ ඒ පිනින් දෙවිමිනිසුන් අතර උභය සැපත් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි සැවැත්නුවර එක්තරා කුලයක ඉපිද වැඩිවිය පත් ව මහාධන ඇත්තේ මහාභෝග ඇත්තේ තෙරුවන්හි පැහැදුණේ ශාස්තෲන් වහන්සේගේ ධර්මදේශනාව අසා ලද සැදැහැ ඇත්තේ පැවිදි ව නොබෝ කලකින්ම රහත් වී තමාගේ පූර්වකර්මය ප්රත්යක්ෂයෙන් දැන හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්රකාශ කරන්නේ ‘හිමවන්තස්සාවිදුරෙ’ යනාදිය කීය. පදුමුප්පල සඤ්ජන්නො යනු සියපතින් සම්පූර්ණ වූ සුදු නෙළුම් ද නිල් රතු සුදු උපුල් ද පදුමුප්පලානි නමි. එයින් සඤ්ජන්නො ගහණ වූයේ සම්පූර්ණ වූ මහා ජාතස්සරයක් විය යන අර්ථයි. පුණ්ඩරීක සමොත්ථටො යනු පුණ්ඩරිකෙහි රන් පිසුමෙන් ඔකිණ්ණො සම්පූර්ණ වූයේ යන අර්ථයි. සෙස්ස පහසුවෙන් දතහැක්කේමය.
කුමුදදායක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
දහසයවැනි වර්ග වර්ණනාව සමාප්තයි.
17. සුපාරිචරිය වර්ගය
161. සුපාරිචරිය ථේර අපදාන වර්ණනාව
පදුමො නාම නාමෙන යනාදි වශයෙන් ආයුෂ්මත් සුපාරිවරිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස් කරන්නේ පදුමුත්තර භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි යක් යෝනියෙහි ඉපිද හිමාලයෙහි යක්ෂ සමාගමට ගියේ භාග්යවතුන් වහන්සේ දේව යක්ෂ ගාන්ධර්ව නාගයින්ට කළ ධර්මදේශනාව අසා පහන් සිතැත්තේ දෑත් හකුලා අත්පොළසන් දුන්නේ ය. නමස්කාර ද කළේය. හේ ඒ පිනින් එයින් චුතව ඉහළ දෙව්ලොවක ඉපිද එහි දිව්ය සම්පත් අනුභව කොට මේ බුද්ධෝත්පාද කාලයෙහි සැවැත්නුවර කුලගෙයක ඉපිද ආඪ්ය වූයේ මහාධන ඇත්තේ මහාභෝග ඇත්තේ තෙරුවන්හි පැහැදුණේ ශාස්තෲන් වහන්සේගේ ධර්මදේශනාව අසා හටගත් සැදැහැ ඇත්තේ පැවිදි ව නොබෝ කලකින්ම රහත්බවට පත්විය.
උන්වහන්සේ එක් දවසක් තමාගේ පූර්වකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්රකාශ කරන්නාහු ‘පදුමොනාම නාමෙන’ යනාදිය කීහ. එහි පදුමො යනු යමකුගේ පාද තබන කල්හි පොළොව බිඳගෙන නෙළුම් පැනනැගී පාදතලය පිළිගනීද ඒ සංග්රහයෙන් ඒ භාග්යවතුන් වහන්සේ පදුම යයි ප්රසිද්ධ වූ සේක. මෙහි පදුමුත්තර භාග්යවතුන් වහන්සේ අභිප්රේතය. ඒ භාග්යවතුන් වහන්සේ පවනා වසන විහාරයෙන් නික්ම වන මැදට පිවිස ධර්මය දේශනා කරන සේක යනු සම්බන්ධයි.
යක්ඛානං සමයො යනු දේව සමාගම ආසි විය යන අර්ථයි. අජ්ඣාපෙක්ඛිංසු තාවදෙ යනු ඒ දේශනාව අවස්ථාවෙහි අතිශයින් අපේක්ෂා කළහ. විශේෂයෙන් දකිනසුලු වූහ යන අර්ථයි. සෙස්ස ප්රකට ම ය.