145. උම්මාපුප්ඵිය ථේර අපදාන වර්ණනාව
නිබ්බුතෙ ලොක නාථම්හි යනාදි වශයෙන් ආයුෂ්මත් උම්මාපුප්ඵිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස්කරන්නේ සිද්ධත්ථ භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක ඉපිද වැඩිවිය පත්වූයේ ගෘහවාසය තබා වසන්නේ පිරිනිවි භාග්යවතුන් වහන්සේගේ චෛත්ය උත්සවය පවත්නා කල්හි ඉන්ද්රනීල මාණික්යයක වර්ණය ඇති දියබෙරලිය මලක් ගෙන පූජා කළේය. හේ ඒ පිනින් සුගතීන්හි පමණක් සැරිසරන්නේ දිව්ය මනුෂ්ය සම්පත් අනුභවකොට උපනුපන් භවයෙහි බෙහෙවින් නීලවර්ණ වූයේ ජාතිසම්පන්න වූයේ විභව සම්පන්න වූයේ විය. මේ බුද්ධෝත්පාද කාලයෙහි විභව සම්පත් ඇති එක් කුලයක ඉපිද දැනමිති බවට පත්ව හටගත් සැදැහැ ඇත්තේ පැවිදිව නොබෝ කලකින්ම රහත්බවට පත්විය.
උන්වහන්සේ පසුකලක පූර්ව කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්රකාශ කරන්නාහු ‘නිබ්බුතෙ ලොක මහිතෙ’ යනාදිය කීහ. එහි ලොක මහිතෙ යනු ලෝකයා විසින් මහිතො යනු ලෝකයා විසින් ගරුකරනු ලැබීය. පූජා කරනු ලැබීයයි ලොකමහිතො නමි. ඒ ලෝකමහිත වූ සිද්ධාර්ථ භාග්යවතුන් වහන්සේ පිරිනිවි කල්හි යනු සම්බන්ධයි. ආහුතීනං පටිග්ගහෙ යනු ආහුතිනො යනු ප්රජාසත්කාර යයි කියනු ලැබේ. ඒ පූජා සත්කාරයන් පිළිගැනීමට සුදුසු වේනුයි ආහුතීනං පටිග්ගහො නමි. අලුප්න කෘදන්ත සමාසයයි. ඒ පූජාසත්කාර පිළිගන්නා භාග්යවතුන් වහන්සේ පිරිනිවි කල්හි යන අර්ථයි.
උම්මාපුප්ඵං යනු උද්ධං මුදුන නිල්පැහැ මුදමින් පුප්ඵති පිපේනුයි උම්මාපුප්ඵං. එය ගෙන චෛත්යයෙහි පූජා කළේය යන අර්ථයි. සෙස්ස නොගැඹුරු අර්ථ ඇත්තේමය.
උම්මාපුප්ඵිය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
146. අනුලේපදායක ථේර අපදාන වර්ණනාව
අනොමදස්සි මුනිනො යනාදි වශයෙන් ආයුෂ්මත් අනුලෙපදායක තෙරුන්වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස් කරන්නේ අනොමදස්සි භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක ඉපිද මහාධන ඇත්තේ මහාභෝග ඇත්තේ, ඒ භාග්යවතුන් වහන්සේගේ බෝරුකට වේදිකා වළල්ලක් කරවා සුණුපිරියම් ද කරවා වැලි අතුරා දිදුලන රජත විමානයක් මෙන් කරවීය. උන්වහන්සේ ඒ පිනින් සැමතන්හි සැපයට පැමිණියාහු උපනුපන් භවයෙහි රජත විමානවල රජත ප්රාසාද ආදියෙහි සැප අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි කුලගෙයක උපන්නාහු දැනමිති බවට පත්වූවාහු ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැදී පැවිදිව විදසුන්හි යෙදී නොබෝ කලකින්ම රහත් වූහ.
උන්වහන්සේ පසුකලෙක කුමක්නම් කුසලයක් කොට මා විසින් මේ විශේෂය අධිගමනය කරන ලද්දේදැයි පූර්වේනිවාසානුස්මෘති ඥානයෙන් පිළිවෙලින් සිහිකොට පෙර කරන ලද කුසලය දැන හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්රකාශ කරන්නාහු අනොමදස්සි මුනිනො යනාදිය කීහ. අනොමකං අලාමක වූ දස්සනං දර්ශනීය වූ ශරීරය යමකුට වේද හේ අනොමදස්සි නමි. දෙතිස් වර මහා පුරුෂ ලක්ෂණ අසු අනුව්යංජන ව්යාම ප්රභාවෙන් දිලිසෙන ශරීර ඇති බැවින් සොඳුරු දසුන් ඇත්තේ යන අර්ථයි. සුධාය පිණ්ඩං දත්වාන යනු බෝධිඝරයෙහි වේදිකා වළල්ලක් කරවා මුළු බෝධිඝරයෙහි සුණුපිරියම් කොට යන අර්ථයි. ඵාතිකම්ම මකාසහං යනු ලී අරටුවෙන් පාත්ර තනා ඒවා අතින් මට්ටම් කෙළෙමි යන අර්ථයි. සෙස්ස පහසුවෙන් දතහැක්කේ ම ය.
අනුලෙපදායක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
147. මග්ගදායක ථේර අපදාන වර්ණනාව
උත්තරිත්වාන නදිකං යනාදි වශයෙන් ආයුෂ්මත් මග්ගදායක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ නොයෙක් භවයන්හි නිවන් අවබෝධය පිණිස පින් රැස්කරන්නේ සිද්ධත්ථ භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි ලෝකසම්මත කුලගෙයක ඉපිද වැඩිවිය පත්ව ගෘහවාසයෙහි වසන්නේ එක් දවසක් භාග්යවතුන් වහන්සේ එක් නදියකින් එගොඩ වී වනාන්තරයට වඩිනු දැක පහන් සිතැත්තේ දැන් මා විසින් භාග්යවතුන් වහන්සේගේ මාර්ගය සම කිරීමට වටනේ යයි සිතා උදැල්ලක්ද කූඩයක්ද ගෙන භාග්යවතුන් වහන්සේ වඩිනාමග සමකොට වැලි විසුරුවා භාග්යවතුන් වහන්සේගේ පා වැඳ ස්වාමීනි, මේ මාර්ග අලංකරණයෙන් උපනුපන් තැන පිදිය යුත්තෙක් වන්නෙමි නිවනටද පැමිණෙන්නෙමි යි ප්රාර්ථනාවක් කළේය. භාග්යවතුන් වහන්සේ අදහස් කළ කරුණ ඉටුවේවායි අනුමෝදනා කියා වදාරා වැඩි සේක.