134. පුප්ඵඡදන ථේර අපදාන වර්ණනාව
සුනන්‍දොනාම නාමෙන යනාදි වශයෙන් ආයුෂ්මත් පුප්ඵඡදනිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ නොයෙක් භවයන්හි පින් රැස් කරන්නේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි බමුණු කුලයෙහි ඉපිද දැනමිති බවට පත්ව ස්වකීය ශිල්පයන්හි නිෂ්පත්තියට පැමිණියේ මහාභෝග ඇත්තේ මහා යසස් ඇත්තේ දන්දීමෙහි ඇලුණේ විය. එක් දවසක් සියලු දඹදිව මේ යාචකයෝ නම් මම දානය නොලබන ලද්දේ වෙමි කියන්නට නොලබත්වා යි! මහා දානයක් පිළියෙල කළේය. එකල්හි පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ පිරිවර සහිතව අහසින් වඩනා සේක. බමුණා උන්වහන්සේ දැක පහන් සිතැත්තේ සිය සිසුන් කැඳවා මල් ගෙන්වාගෙන අහසෙහි උඩට දමා පූජා කළේය. ඒවා මුළුනුවර වසා සත් දවසක් සිටියේය.
හේ ඒ පින්කමින් දෙවි මිනිසුන් අතර සැප අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි සැවැත්නුවර එක් කුලගෙයක ඉපිද සැදැහැ ඇත්තේ පැවිදිව හිසකෙස් මුඩුකරනවිට රහත්බවට පත්ව තමාගේ පූර්ව කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ සුනන්‍දොනාම නාමෙන යනාදිය කීය. එය යට කියන ලද පරිද්දෙන් පහසුවෙන් දත හැක්කේමය.
පුප්ඵඡදනිය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
135. රහෝසඤ්ඤක ථේර අපදාන වර්ණනාව
හිමවන්තස්සාවිදූරෙ යනාදි වශයෙන් ආයුෂ්මත් රහො සඤ්ඤක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස් කරන්නේ එක් බුදු කෙනකුන් නැති කලක මධ්‍යම දේශයෙහි බමුණු කුලයක ඉපිද වැඩිවිය පත්ව ස්වකීය ශිල්පයන්හි නිෂ්පත්තියට පැමිණ එහි හරයක් නොදක්නේ හුදෙක් බඩම පුරවාගෙන ක්‍රෝධය මානය ආදිය අකුසලයෙහි ම ඵල සේ දැක ගෘහවාසය අත්හැර හිමවතට පිවිස සෘෂි පැවිද්දෙන් පැවිදි ව නොයෙක් සියගණන් තවුසන් පිරිවරකොට ඇත්තේ වසභ පර්වත සමීපයෙහි ආශ්‍රමයක් මවා වර්ෂ තුන්දහසක් හිමවතෙහිම වසමින් මම මෙපමණක් සිසුන්ට ගුරුවරයා යයි සම්මත වූ ගුරුතන්හි තැබිය යුතු ගරු කටයුතු වන්දනීය වූ ගුරුවරයෙක් මට නැතැයි දොම්නසට පත්වූයේ ඒ සියලු ශිෂ්‍යයන් රැස්කරවා බුදුවරුන් නැතිකල්හි නිර්වාණ අධිගමයක් නැති බව ප්‍රකාශකොට, තමා හුදෙකලාව රහසින් විවේකස්ථානයෙහි ම හුන්නේ බුදුන් හමුවෙහි හුන්නාක් මෙන් බුද්ධ සංඥාව සිතෙහි තබා බුදුන් අරමුණු කොට ගත් ප්‍රීතිය උපදවාගෙන ශාලාවෙහි පර්යංකයක් බැඳගෙන හුන්නේ කලුරිය කොට බඹලොව උපන්නේ ය.
එහි ධ්‍යාන සුඛයෙන් බොහෝකල් වැස මේ බුද්ධෝත්පාද කාලයෙහි කුලගෙයක ඉපිද කාමයන්හි නොඇලුණේ සත්වස් ඇත්තේ පැවිදිව හිසකෙස් මුඩුකරද්දී ම රහත්බවට පැමිණ ෂට් අභිඥා ඇත්තෙක් ව පෙරවිසූ කඳ පිළිවෙල දන්නා නුවණින් තමාගේ පූර්ව කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ ‘හිමවන්තස්සාවිදුරෙ’ ආදිය කීය. වසභො නාම පබ්බතො යනු හිමවත් පව්ව හැර සෙසු පර්වතවල වඩා උස්බව නිසා ශ්‍රේෂ්ඨතර බව නිසා වසභයයි. ප්‍රසිද්ධියට ගිය පර්වතය යන අර්ථයි. සෙස්ස සියලු තන්හි නොගැඹුරු ම ය.
රහොසඤ්ඤක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
136. චම්පකපුප්ඵිය ථේර අපදාන වර්ණනාව
කණිකාරංව ජොතන්තං යනාදි වශයෙන් ආයුෂ්මත් චම්පක පුප්ඵිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස් කරන්නේ වෙස්සභූ භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි බමුණු කුලයෙහි ඉපිද වැඩිවිය පත්වූයේ ස්වකීය ශිල්පයන්හි නිෂ්පත්තියට පත්ව එහි හරයක් නොදැක ගෘහවාසය අත්හැර තවුස් පැවිද්දෙන් පැවිදි ව වනාන්තරයෙහි වසන්නේ වෙස්සභූ භාග්‍යවතුන් වහන්සේ උදෙසා සිසුන් විසින් ගෙනඑනු ලැබූ සපුමල් පූජා කළේය. භාග්‍යවතුන් වහන්සේ අනුමෝදනාව කළ සේක. හේ ඒ කුසලයෙන් දෙව් මිනිසුන් අතර සැරිසරන්නේ උභය සම්පත් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි කුලගෙයක ඉපිද දැනමිති බවට පැමිණ පූර්ව වාසනා බලයෙන් ගෘහවාසයෙහි නොඇලුණේ පැවිදිව නොබෝ කලකින් රහත් විය.
හේ පසුකලෙක තමාගේ පූර්වකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ ‘කණිකාරංව ජොතන්තං’ යනාදිය කීය. එහි කණිකාරං යනු සියලු කොළ පරඬැල් අත්හැර මල් හටගන්නා කල්හි කැකුලක්ව මල්කෙමි හටගන්නා බැවින් කර්ණිකා කාරයෙන් උපන්නේ යයි කණිකාර නමි. කර්ණිකා කෙරේනුයි කියයුතු තන්හි නිරුක්ති නියමයෙන් අකුරු ලොප්කොට කණිකාරයයි කියන ලදැයි දතයුත්තේය. ඒ පිපුණු කිණිහිරි රුකක් මෙන් බබලන බුදුරජාණන් වහන්සේ දුටුවෙමි යන අර්ථයි. සෙස්ස නොගැඹුරු අර්ථ ඇත්තේ ම ය.
චම්පක පුප්ඵිය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
137. අත්‍ථසන්‍දස්සක ථේර අපදාන වර්ණනාව
විසාල මාලෙ ආසීනො යනාදි වශයෙන් ආයුෂ්මත් අත්‍ථසන්‍දස්සක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ නොයෙක් ආත්ම භාවයන්හි කරන ලද පින් රැස්කිරීම් ඇත්තේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි බමුණු කුලයෙහි ඉපිද වැඩිවිය පත්ව ස්වකීය ශිල්පයන්හි නිෂ්පත්තියට පත්වූයේ එහි හරයක් නැති බව දැන ගිහිගෙය අත්හැර හිමවතට ගොස් රමණීය ස්ථානයක පන්සලක් කොට වාසය කරයි. එකල්හි සත්වානුකම්පාවෙන් පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ හිමවතට වැඩි සේක. උන්වහන්සේ දැක පහන් සිතැත්තේ පසඟ පිහිටුවා වැඳ ස්තුති වචනයන්ගෙන් ප්‍රශංසා කළේය. හේ ඒ පිනින් දිවි ඇතිතෙක් සිට කලුරියකොට බ්‍රහ්ම ලෝකයට පැමිණියේ විය. හේ පසුකලෙක මේ බුද්ධෝත්පාද කාලයෙහි කුලගෙයක ඉපිද දැනමිති බවට පත්වූයේ ශාස්තෲන් වහන්සේ ධර්මදේශනාව අසා ලද සැදැහැ ඇත්තේ පැවිදිව රහත්බවට පත්විය.