132. සුදස්සන ථේර අපදාන වර්ණනාව
විත්ථතාය නදීතීරෙ යනාදි වශයෙන් ආයුෂ්මත් සුදස්සන තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන කරන ලද පින් රැස්කිරීම් ඇත්තේ සිඛී භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක ඉපිද වැඩිවිය පත්වූයේ ගෘහවාසය පිහිටුවා වසන්නේ විත්ථතා නම් ගංගාව සමීපයෙහි (පිලක්ඛුඵලිතං) පලදරන පුලිල ගසක් සොයන්නේ ඒ ඒ ගංගා කීරයෙහි දැල්වෙන ගින්නක් මෙන් වැඩහුන් සිඛී සම්බුදුරජාණන් වහන්සේ දැක පහන් සිතැත්තේ වැටකේ මලක් නටුව සමගම කඩා පුදමින් මෙසේ කීය. ස්වාමීනි, යම් ඥානයකින් ඔබවහන්සේ මෙසේ මහානුභාව සම්පන්නව, සර්වඥ බුදුවරයෙක් වූ සේක්ද ඒ ඥානය මම පුදමි යි. ඉක්බිති භාග්යවතුන් වහන්සේ අනුමෝදනාව කළ සේක. හේ ඒ පිනින් දෙවි මිනිසුන් අතර ඉපිද උභය සම්පත්තීන් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලගෙයක ඉපිද ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැදී පැවිදි ව නොබෝ කලකින්ම රහත් විය.
උන්වහන්සේ තමා කරන කුසල සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්රකාශ කරන්නාහු ‘විත්ථතාය නදීතීරෙ’ යනාදිය කීහ. එහි විත්ථතාය යනු විත්ථරති පැතිරේ, විස්තීර්ණ වේනුයි විත්ථතා නමි. නදන්ති ශබ්ද කෙරෙත්නුයි ඉතා ගියාහු පැවතියාහුය නදී නමි. එයට පැමිණ තරණය කළාහු තීරං නමි. ඒ නදියෙහි තීරය සමීපයෙහි යන අර්ථයි. කෙතකං පුප්ඵිතං දිස්වා පහත් අයුරින් ගන්නවුන්ගේ අත කටු ඇනේනුයි කෙත නමි. කේතගේ මෙයනුයි කෙතකංපුප්ඵං. එය දැක නටුව කඩා යනු සම්බන්ධයි.
සිඛිනො ලොකබන්ධුනො යනු සිඛී යනු ගින්නයි. ගිනි හා සමාන නීලපීත ආදී භේදයෙන් යුතු දිලෙන සවණක් රැස් යමකුට වේද හේ සිඛී නමි. ඒ ලොකස්ස සියලු තුන්ලෝකයෙහි බන්ධු ඥාතියා යනු ලොකබන්ධු නමි. ඒ ලෝකබන්ධු වූ සිඛී බුදුරජාණන් වහන්සේට වැටකේ මලක් නටුවෙන් කඩා පිදුවෙමි යනු සම්බන්ධයි. සෙස්ස නොගැඹුරු අර්ථ ඇත්තේ ම ය.
සුදස්සන තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
133. චන්දනපූජක ථේර අපදාන වර්ණනාව
චන්දභාගා නදී තීරෙ යනාදි වශයෙන් ආයුෂ්මත් චන්දනපූජක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේ ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස් කරන්නේ අත්ථදස්සි භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි හිමවත චන්දභාගා නදිය සමීපයෙහි කින්නර යෝනියෙහි ඉපිද මල් අනුභව කරන්නේ මල් හඳින්නේ සඳුන් අගිල් ආදියෙහි සුවඳින් විභූෂිත වූයේ හිමවතෙහි බූමාටු දෙවියකු මෙන් උයන් දියකෙළි ආදී නොයෙක් සැප අනුභව කරමින් වාසය කළේය. එකල්හි අත්ථදස්සි භාග්යවතුන් වහන්සේ ඔහුට අනුකම්පා පිණිස හිමවතට වැඩ අහසින් බැස සඟල සිවුර පනවා වැඩහුන් සේක. ඒ කිඳුරා ඒ භාග්යවතුන් වහන්සේ බබලමින් එහි වැඩහිඳිනු දැක පහන් සිතැත්තේ සුවඳ සඳුනින් පූජා කළේය. භාග්යවතුන් වහන්සේ ඔහුට අනුමෝදනා කළ සේක.
හේ ඒ පිනින් ඒ සොම්නසින් දිවි ඇති තෙක් සිට එයින් චුත වූයේ දෙව්ලොව ඉපිද වරින්වර ස කාමාවචර සම්පත් අනුභවකොට මිනිසුන් අතර චක්රවර්ති සම්පත් ප්රදේශ රාජ්ය සම්පත් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි කුලගෙයක ඉපිද දැනමිති බවට පත්වූයේ පැවිදිව නොබෝ කලකින්ම රහත් බවට පත්ව තමාගේ පූර්ව කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්රකාශ කරන්නේ ‘චන්දභාගා නදීතීරෙ’ යනාදිය කීය. එහි චන්දං සිත රුචිං අධ්යාශය දැන මෙන් උපන්නේනුයි චන්දො නමි. චන්ද්ර මණ්ඩලයෙන් ප්රසන්න නිර්මල ජලයෙන් දෙපැත්තේම මුතුදැල් හා සමාන සුදුවැලි තලයෙන්ද යුක්ත වූ බැවින් චන්ද්රයා හා සමාන පැති අයට ඇත්තේනුයි චන්දභාගා නමි. ඒ නදී තෙර සමීපයෙහි යන අර්ථයි. සෙසු සියල්ල යට කියන ලද පරිද්දෙන් පහසුවෙන් දත හැක්කේ ම ය.
චන්දනපූජක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
අටවැනි බණවර වර්ණනාව සමාප්තයි.
134. පුප්ඵඡදන ථේර අපදාන වර්ණනාව
සුනන්දොනාම නාමෙන යනාදි වශයෙන් ආයුෂ්මත් පුප්ඵඡදනිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ නොයෙක් භවයන්හි පින් රැස් කරන්නේ පදුමුත්තර භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි බමුණු කුලයෙහි ඉපිද දැනමිති බවට පත්ව ස්වකීය ශිල්පයන්හි නිෂ්පත්තියට පැමිණියේ මහාභෝග ඇත්තේ මහා යසස් ඇත්තේ දන්දීමෙහි ඇලුණේ විය. එක් දවසක් සියලු දඹදිව මේ යාචකයෝ නම් මම දානය නොලබන ලද්දේ වෙමි කියන්නට නොලබත්වා යි! මහා දානයක් පිළියෙල කළේය. එකල්හි පදුමුත්තර භාග්යවතුන් වහන්සේ පිරිවර සහිතව අහසින් වඩනා සේක. බමුණා උන්වහන්සේ දැක පහන් සිතැත්තේ සිය සිසුන් කැඳවා මල් ගෙන්වාගෙන අහසෙහි උඩට දමා පූජා කළේය. ඒවා මුළුනුවර වසා සත් දවසක් සිටියේය.
හේ ඒ පින්කමින් දෙවි මිනිසුන් අතර සැප අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි සැවැත්නුවර එක් කුලගෙයක ඉපිද සැදැහැ ඇත්තේ පැවිදිව හිසකෙස් මුඩුකරනවිට රහත්බවට පත්ව තමාගේ පූර්ව කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්රකාශ කරන්නේ සුනන්දොනාම නාමෙන යනාදිය කීය. එය යට කියන ලද පරිද්දෙන් පහසුවෙන් දත හැක්කේමය.
පුප්ඵඡදනිය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
135. රහෝසඤ්ඤක ථේර අපදාන වර්ණනාව
හිමවන්තස්සාවිදූරෙ යනාදි වශයෙන් ආයුෂ්මත් රහො සඤ්ඤක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස් කරන්නේ එක් බුදු කෙනකුන් නැති කලක මධ්යම දේශයෙහි බමුණු කුලයක ඉපිද වැඩිවිය පත්ව ස්වකීය ශිල්පයන්හි නිෂ්පත්තියට පැමිණ එහි හරයක් නොදක්නේ හුදෙක් බඩම පුරවාගෙන ක්රෝධය මානය ආදිය අකුසලයෙහි ම ඵල සේ දැක ගෘහවාසය අත්හැර හිමවතට පිවිස සෘෂි පැවිද්දෙන් පැවිදි ව නොයෙක් සියගණන් තවුසන් පිරිවරකොට ඇත්තේ වසභ පර්වත සමීපයෙහි ආශ්රමයක් මවා වර්ෂ තුන්දහසක් හිමවතෙහිම වසමින් මම මෙපමණක් සිසුන්ට ගුරුවරයා යයි සම්මත වූ ගුරුතන්හි තැබිය යුතු ගරු කටයුතු වන්දනීය වූ ගුරුවරයෙක් මට නැතැයි දොම්නසට පත්වූයේ ඒ සියලු ශිෂ්යයන් රැස්කරවා බුදුවරුන් නැතිකල්හි නිර්වාණ අධිගමයක් නැති බව ප්රකාශකොට, තමා හුදෙකලාව රහසින් විවේකස්ථානයෙහි ම හුන්නේ බුදුන් හමුවෙහි හුන්නාක් මෙන් බුද්ධ සංඥාව සිතෙහි තබා බුදුන් අරමුණු කොට ගත් ප්රීතිය උපදවාගෙන ශාලාවෙහි පර්යංකයක් බැඳගෙන හුන්නේ කලුරිය කොට බඹලොව උපන්නේ ය.