124. ගන්‍ධොදකිය ථේර අපදාන වර්ණනාව
නිසජ්ජ පාසාදවරෙ යනාදි වශයෙන් ආයුෂ්මත් ගන්‍ධොදකිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස්කරන්නේ විපස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි සිටුකුලයෙහි ඉපිද දැනමිති බවට පත්වූයේ මහත්ධන ඇත්තේ මහාභෝග ඇත්තේ දිවසැප බඳු මිනිස් සුව අනුභව කරන්නේ එක් දවසක් උතුම් ප්‍රාසාදයෙහි සිටියේ වෙයි. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ස්වර්ණ මේරුව මෙන් වීදියෙහි වඩනා සේක. ඒ වඩනා භාග්‍යවතුන් වහන්සේ දැක පහන් සිතැත්තේ ගොස් වැඳ සුවඳ ජලයෙන් භාග්‍යවතුන් වහන්සේ ඉසිමින් පූජා කළේය. හේ එම පිනින් දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ මේ බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලගෙයක ඉපිද දැනමිති බවට පත්වූයේ ගෘහවාසයෙහි නො ඇලුණේ ශාස්තෲන් වහන්සේ සමීපයෙහි පැවිදි ව කමටහන් ගෙන විදසුන් වඩා නොබෝ කලකින්ම රහත්විය.
පසුකලක තමාගේ පූර්ව කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ ‘නිසජ්ජ පාසාදවරෙ’ යනාදිය කීය. එහි පාසාදො යනු පසාදං සොම්නස ජනෙති උපදවානුයි පාසාද නමි. මල්කම් සිත්කම් රන්කම් ආදියෙන් එහි පිවිසි ජනයාට සොම්නස දනවයි යන අර්ථයි. ගන්‍ධොදකිය එම ප්‍රාර්ථනා කළයුතු අර්ථයෙන් වර වූයේද පාසාදවර නමි. ඒ ප්‍රාසාද වරයෙහි නිසජ්ජ හිඳ විපස්සි බුදුරජාණන් වහන්සේ දුටුවෙමියි සම්බන්ධයි. සෙස්ස සියලු තන්හි නොගැඹුරු ම ය.
ගන්‍ධොදකිය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
125. සම්මුඛාත්‍ථවික ථේර අපදාන වර්ණනාව
ජායමානෙ විපස්සිම්හි යනාදි වශයෙන් ආයුෂ්මත් සම්මුඛාථවික තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස් කරන්නේ විපස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි බමුණු කුලයෙහි උපන්නේ සත්හැවිරිදි වයස් කල්හිම ස්වකීය ශිල්පයෙහි නිෂ්පත්තියට පත්වූයේ ගෘහවාසය පිහිටුවා වසන්නේ, විපස්සි බෝධිසත්ත්වයන් උපන්කල්හි පහළවූ ලකුණු දැක වේදත්‍රයෙහි දිස්වන අයුරින් ඒ ලකුණු සියලු ජනකායට විස්තර කරන්නේ නිසැකයෙන්ම මොහු ලෝකයේ බුදුවන්නේ යයි ප්‍රකාශකොට ජනයන්ගේ සිතෙහි බෝසතුන් කෙරෙහි ප්‍රසාදය දැනවීය. හේ එම කුසල කර්මයෙන් ස කාමාවචර සම්පත් අනුභවකොට මිනිසුන් අතර ද චක්‍රවර්ති සම්පත් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි කුලගෙයක ඉපිද දැනමිති බවට පත්වූයේ සැදැහැ ඇත්තේ පැවිදි ව නොබෝ කලකින් ම රහත් විය. කරන ලද කුසලයේ නමින් සම්මුඛාථවික තෙරුන් වහන්සේ යයි ප්‍රකට වූහ.
උන්වහන්සේ තමාගේ පූර්වකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නාහු ජායමානෙ විපස්සිම්හි යනාදිය කීහ. විපස්සි සම්බුදු රජාණන් වහන්සේ ජායමානෙ මව්කුසින් නික්මෙන කල්හි පහළවූ නිමිත්තං කාරණය බුදුබවට හේතුවෙතියි බ්‍යාකරිං කීවෙමි. නොයෙක් ආශ්චර්ය ප්‍රකට කෙළෙමි යන අර්ථයි. සෙස්ස කියන ලද පරිද්දෙන් පහසුවෙන් දත හැක්කේ ම ය.
සම්මුඛාථවික තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
126. කුසුමාසනිය ථේර අපදාන වර්ණනාව
නගරෙ ධඤ්ඤවතියා යනාදි වශයෙන් ආයුෂ්මත් කුසුමාසනිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස්කරන්නේ විපස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි බමුණු කුලයෙහි ඉපිද දැනමිති බවට පත්වූයේ මහත්ධන ඇත්තේ මහාභෝග ඇත්තේ තුන්වේදයෙහි පරතෙරට පැමිණියේ බ්‍රාහ්මණ ශිල්පයන්හි කෙළ පැමිණියේ ස්වකීය හා පර සමයෙහි දක්‍ෂ වූයේ මවුපියන් පුදනු කැමැත්තේ උපුල්මල් කලප් පහක් තමාගේ සමීපයෙහි තබා හුන්නේය. එකල්හි භික්‍ෂු සංඝයා පිරිවරාගත් විපස්සි භාග්‍යවතුන් වහන්සේ වඩිනු දැක නීල පීත ආදී ඝන බුදුරැස් දැක පහන් සිතැත්තේ අසුන් පනවා එහි ඒ මල් අතුරා භාග්‍යවතුන් වහන්සේ එහි හිඳුවා ස්වකීය ගෘහයෙහි මව පිණිස පිළියෙල කරන ලද සියලු කෑයුතු දෑද බිය යුතු දෑද ගෙන සපිරිවර භාග්‍යවතුන් වහන්සේ තම අතින් සන්තර්පණය කරන්නේ වැළඳවීය. වළඳා අවසන්හි එක් උපුල්මල් අතක් දුන්නේය. එයින් හටගත් සොම්නස් ඇත්තේ ප්‍රාර්ථනයක් කළේය. භාග්‍යවතුන් වහන්සේද අනුමෝදනාව කොට වැඩි සේක. හේ ඒ පිනින් දෙව්මිනිස් සම්පත් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි සැවැත්නුවර විභව සම්පත් ඇත් එක් කුලයක ඉපිද දැනමිති බවට පත්වූයේ භෝගයෙන්ද යසසින්ද වැඩුණේ කාමයන්හි ආදීනව දැක ගෘහවාසය අත්හැර පැවිදිවූයේ නොබෝ කලකින්ම රහත් විය.