122. පුප්ඵථූපිය ථේර අපදාන වර්ණනාව
හිමවන්තස්සා විදුරෙ යනාදි වශයෙන් ආයුෂ්මත් පුප්ඵථූපිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස්කරන්නේ විපස්සි භාග්යවත් බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි බමුණු කුලයෙහි ඉපිද දැනමිති බවට පැමිණ ස්වකීය ශිල්පයෙහි නිෂ්පත්තියට පැමිණියේ එහි හරයක් නොදක්නේ ගිහිගෙය අත්හැර හිමවතට පිවිස තමා සමග වූ පන්දහසක් ශිෂ්යයන් සමග පංචඅභිඥා අෂ්ට සමාපත්ති උපදවා කුක්කුර නම් පර්වතය සමීපයෙහි පන්සලක් කරවා වාසය කරයි. එකල බුදුන් උපන් බව අසා ශිෂ්යයන් සමග බුදුරජාණන් වහන්සේ සමීපයට යනු කැමැත්තේ කිසියම් ව්යාධියකින් පෙළුණේ පන්සලට පිවිස ශිෂ්යයන් හමුවෙන් බුද්ධානුභාව ලක්ෂණ අසා පහන් සිතැත්තේ හිමවතින් සපු අසෝක දුම්මැල්ල තණ වැටකේ ආදි නොයෙක් මල් ගෙන්වාගෙන ස්තූපයක් කොට බුදුන්ට මෙන් පූජාකොට කලුරියකොට බ්රහ්මලෝකයට පැමිණියේ විය. ඉක්බිති ඔහුගේ ශිෂ්යයෝ ඔහුගේ ආදාහනය සිදුකොට බුදුරජාණන් වහන්සේ සමීපයට ගොස් ඒ පුවත ශාස්තෲන් වහන්සේට දැන්වූහ. ඉක්බිති භාග්යවතුන් වහන්සේ බුදුඇසින් බලා අනාගත සංජානනයෙන් ප්රකට කිරීමක් කළසේක. හේ පසුකලක මේ බුද්ධෝත්පාද කාලයෙහි සැවැත්නුවර කුලගෙයක ඉපිද දැනමිති බවට පත්වූයේ පූර්ව වාසනා බලයෙන් ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැදුණේ පැවිදි ව නොබෝ කලකින්ම රහත් විය.
ඉක්බිති තමාගේ පූර්ව කුශලය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්රකාශ කරන්නේ ‘හිමවන්තස්සාවිදූරෙ’ යනාදිය කීහ. එය යටකියන ලද අර්ථ ඇත්තේ ම ය. කුක්කුරොනාම පබ්බතො යනු පර්වතයෙහි ශිඛරය කුක්කුරාකාරෙන බල්ලකුගේ ආකාරයෙන් පිහිටි බැවින් කුක්කුර පර්වතයයි ප්රසිද්ධියට ගියේ, ඒ සමීපයෙහි පන්සලක් කොට තවුසන් පන්දහසක් සමග වාසය කරන්නේ යන අර්ථයි. සෙස්ස සියලු තන්හි නොගැඹුරුය.
පුප්ඵථූපිය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
123. පායාසදායක ථේර අපදාන වර්ණනාව
සුවණ්ණවණ්ණං සම්බුද්ධං යනාදි වශයෙන් ආයුෂ්මත් පායාසදායක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස්කරන්නේ විපස්සි භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි එක් විභව සම්පත් ඇති කුලගෙයක ඉපිද දැනමිති බවට පත්ව ගිහිගෙයි වසන්නේ ඇත් අස් ධන ධාන්ය සත්රුවන් ආදී විභව සම්පත් ඇත්තේ සැදැහැ ඇත්තේ කම්පල අදහා දහසක් පමණ රන් පාත්ර කරවා එහි කිරිබත් දහසක් පුරවා ඒ සියල්ල ගෙන්වාගෙන හිඹුල් වනයට ගියේය. එසමයෙහි විපස්සි භාග්යවතුන් වහන්සේ අහසෙහි සක්මනක් මවා සවණක් රැස් විහිදුවා එහි සක්මන් කරන සේක. ඒ සිටුවරයා ඒ අසිරිය දැක අතිශයින් පැහැදුණේ පාත්ර තබා වැඳ පිළිගන්නා ලෙස ආරාධනා කළේය. ඉක්බිති භාග්යවතුන් වහන්සේ අනුකම්පා උපදවා පිළිගත් සේක. පිළිගෙන ද වනාහි ඔහුට සොම්නස් උපදවනු පිණිස දහසක් පමණ භික්ෂූන් සමග වැළඳූ සේක. ඊට අමතරව නොයෙක් දහස් ගණන් භික්ෂූන් වහන්සේ වැළඳූ සේක. හේ ඒ පිනින් සුගතීන්හිම සැරිසරන්නේ මේ බුද්ධෝත්පාද කාලයෙහි කුලගෙයක ඉපදී දැනමිති බවට පත්වූයේ සැදැහැ ඇත්තේ පැවිදි ව නොබෝ කලකින් ම රහත්විය.
උන්වහන්සේ පසුකලක තමාගේ කුසලය නැවත බලන සේක් එය සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්රකාශ කරන්නාහු ‘සුවණ්ණ වණ්ණං සම්බුද්ධං’ යනාදිය කීහ එය යට කියන ලද්දේ ම ය.
චඞ්කමං සුසමාරුළ්හො යනු චදිනන්තො පියවර තබමින් කම යේනුයි චඞ්කම නමි. චඞ්කමස්ස පියවර තැබීමට ආධාරභූත වූ පොළෝ පෙදෙස සක්මන යන අර්ථයි. ඒ සක්මනට සුවිශේෂයෙන් නැගුණේ යනු සම්බන්ධයි. අම්බරෙ අනිලායනෙ යනු වරීයති අන්තය වසනු ලැබේනුයි අම්බර නමි. සුදු රෙද්දක් වැනි අහස යන අර්ථයි. සැඟවීමක් රැකීමක් මෙහි නැත්තේනුයි අනිල නමි. හාත්පසින් යන්ති මෙයින් යානුයි ආයන නමි. අනිලද එම ආයනද අනිලායන නමි. සෘද්ධි ඇත්තේ ඒ අහසෙහි අනිලායනයෙහි සක්මනක් මැවුයෙමි යන අර්ථයි. සෙස්ස සියලු තන්හි නො ගැඹුරු ම ය.
පායාසදායක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
124. ගන්ධොදකිය ථේර අපදාන වර්ණනාව
නිසජ්ජ පාසාදවරෙ යනාදි වශයෙන් ආයුෂ්මත් ගන්ධොදකිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස්කරන්නේ විපස්සි භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි සිටුකුලයෙහි ඉපිද දැනමිති බවට පත්වූයේ මහත්ධන ඇත්තේ මහාභෝග ඇත්තේ දිවසැප බඳු මිනිස් සුව අනුභව කරන්නේ එක් දවසක් උතුම් ප්රාසාදයෙහි සිටියේ වෙයි. එකල්හි භාග්යවතුන් වහන්සේ ස්වර්ණ මේරුව මෙන් වීදියෙහි වඩනා සේක. ඒ වඩනා භාග්යවතුන් වහන්සේ දැක පහන් සිතැත්තේ ගොස් වැඳ සුවඳ ජලයෙන් භාග්යවතුන් වහන්සේ ඉසිමින් පූජා කළේය. හේ එම පිනින් දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ මේ බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලගෙයක ඉපිද දැනමිති බවට පත්වූයේ ගෘහවාසයෙහි නො ඇලුණේ ශාස්තෲන් වහන්සේ සමීපයෙහි පැවිදි ව කමටහන් ගෙන විදසුන් වඩා නොබෝ කලකින්ම රහත්විය.