103. උප්පලහත්‍ථිය ථේර අපදාන වර්ණනාව
තීවරායං නිවාසීහං යනාදි වශයෙන් ආයුෂ්මත් උප්පලහත්‍ථක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද කුසල් ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස් කරන්නේ සිද්ධත්‍ථ භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි මාලාකාර කුලයෙහි ඉපිද වැඩිවිය පත්ව මාලාකාරයෙක්ව නොයෙක් මල් විකුණන්නේ ජීවත් වෙයි. ඉක්බිති එක් දවසක් මල් ගෙන හැසිරෙන්නේ භාග්‍යවතුන් වහන්සේ රුවන් ඇගෑයක් මෙන් දිලිසෙනු දැක එත් උපුල්මල් කලඹකින් පූජා කළේය. හේ එයින් චුතවූයේ ඒ පිනින්ම සුගතීන්හි පින් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි කුලගෙයක ඉපිද වැඩිවිය පත්ව හටගත් සැදැහැ ඇත්තේ පැවිදිව නොබෝ කලකින්ම රහත් විය.
පසුකලක තමාගේ පූර්වකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ ‘තීවරායං නිවාසීහං’ යනාදිය කීය. එහි තීවරා යනු ඌරන් තිදෙනකු විසින් කරවන ලද සැඟවුණු නගරයි. ඒ නගරයෙහි නිවාසී වසනසුලු වූයේ නිවසන අර්ථයෙන් ගෙහි හෝ වසන මම යන අර්ථයි. අහොසිං මාලිකො තදා යනු නිවන් පිණිස පින් රැස් කරන කල්හි මාලිකො මල්කරුවෙක්ව මල් විකුණන්නේ ජීවත් වන්නේ වීමි යන අර්ථයි.
පුප්ඵහත්‍ථ මදාසහං යනු සිද්ධත්‍ථ භාග්‍යවතුන් වහන්සේ දැක උපුල්මල් කලඹ අදාසිං පිදුවෙමි යන අර්ථයි. සේසස සියලු තන්හි නොගැඹුරු අරුත් ඇත්තේ ම ය.
උප්පලහත්‍ථක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
104. පදපූජක ථේර අපදාන වර්ණනාව
සිද්ධත්‍ථ භගවතො යනාදි වශයෙන් ආයුෂ්මත් පදපූජක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ සිද්ධත්‍ථ භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි කුල ගෙයක ඉපිද වැඩිවිය පත්ව ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැද සමන්මලින් පාමුල පිදුවේය. හේ ඒ පිනින් දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ ශක්‍රසම්පත් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලගෙයක උපන්නේ වැඩිවිය පත්ව ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැද පැවිදිව විදසුන් වඩා රහත්ඵලයෙහි පිහිටියේය.
උන්වහන්සේ පසුකලක තමාගේ පූර්වකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නාහු ‘සිද්ධත්‍ථස්ස භගවතො’ යනාදිය කීහ. ජාතිපුප්ඵමදාසහං යනු දෑසමන් මලක් මම පිදුවෙමියි කියයුතු කල්හි ගාථා බන්ධන පහසුව පිණිස සුමන ශබ්දය ලොප්කොට කියන ලදි. එහි ජාතියෙන් උපන්නේ පිපෙනවිටම ජනයාගේ සුමනං සොම්නස ඇති කරවානුයි සුමන නමි. පුප්ඵනට්ඨෙන පිපෙන අරුතින් පුප්ඵ නමි. සුමන වූයේද හෙම මල වූයේද සුමනපුප්ඵ නමි. ඒ සමන්මල් සිද්ධත්‍ථ භාග්‍යවතුන් වහන්සේට මම පූජා කෙළෙමි යන අර්ථයි. සෙස්ස සියලු තන්හි නොගැඹුරු අර්ථ ඇත්තේ ම ය.
පදපූජක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
105. මූට්ඨිපූප්ඵිය ථේර අපදාන වර්ණනාව
සුදස්සනො යනාදි වශයෙන් ආයුෂ්මත් මුට්ඨිපුප්ඵිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස්කරන්නේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි මාලාකාර කුලයෙහි ඉපිද වැඩිවිය පත්ව ස්වකීය ශිල්පයෙහි නිෂ්පත්තියට පත්වූයේ එක් දවසක් භාග්‍යවතුන් වහන්සේ දැක පහන් සිතැත්තේ දෑසමන්මල් දෑතින් ගෙන භාග්‍යවතුන් වහන්සේගේ පාමුල විසුරුවා පූජා කළේය. හේ එම කුසල සම්භාරයෙන් දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ උභය සම්පත් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි කුලගෙයක ඉපිද වැඩිවිය පත්වූයේ පූර්ව වාසනා වශයෙන් ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැද පැවිදිව නොබෝ කලකින්ම රහත්විය.
උන්වහන්සේ පසුකලෙක තමාගේ පූර්වකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නාහු ‘සුදස්සනොති නාමෙන’ යනාදිය කීහ. එහි සුදස්සනො යනු ආරෝහ පරිණාහ රූපයෙන් රූප ලක්‍ෂණයෙන් යෞවනයෙන් සොඳුරු දසුන් ඇත්තේනුයි සුදස්සන නමි. නමින් සුදස්සන නම් මල්කරුවෙක්ව දෑසමන් මලින් පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ පිදුවෙමි යන අර්ථයි. සෙස්ස සියලු තන්හි නොගැඹුරු වේ ම ය.
මුට්ඨිපුප්ඵිය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
106. උදකපූජක ථේර අපදාන වර්ණනාව
සුවණ්ණ වණ්ණං සම්බුද්ධං යනාදි වශයෙන් ආයුෂ්මත් උදකපූජක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි පුරන ලද කුශල සමූහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් පුරන්නේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි එක් කුලගෙයක ඉපිද, වැඩිවිය පත්ව කුසල් අකුසල් දන්නේ, පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ අහසින් වඩනාකල්හි නික්මුණු සවණක් බුදුරැස් කෙරෙහි පහන්වූයේ, දෑතින් ජලය ගෙන පූජා කළේය. ඔහු විසින් පුදන ලද ජලය රිදී බුබුළක් මෙන් අහසෙහි සිටියේය. හේ අතිශයින් පැහැදුණේ ඒ සොම්නසින්ම තුසිත දෙව්ලෝ ආදියෙහි උපන්නේ දිව්‍ය සම්පත් අනුභවකොට පසුකලක මිනිස් සම්පත් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි කුලගෙයක ඉපිද පැවිදිවූයේ නොබෝ කලකින්ම රහත් විය.