101. භික්ඛාදායක ථේර අපදාන වර්ණනාව
‘සුවණ්ණ වණ්ණං සම්බුද්ධං’ යනාදි වශයෙන් ආයුෂ්මත් භික්ඛාදායක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස්කරන්නේ සිද්ධත්‍ථ භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි එක් කුලගෙයක ඉපිද වැඩිවිය පත්ව ධන සම්පත් ඇත්තේ හටගත් සැදැහැ ඇත්තේ විහාරයෙන් නික්ම පිඬු පිණිස හැසිරෙන සිද්ධත්‍ථ භාග්‍යවතුන් වහන්සේ‌ දැක පහන් සිතැත්තේ ආහාර දුන්නේ ය. ඒ භාග්‍යවතුන් වහන්සේ එය පිළිගෙන අනුමෝදනා කියා වැඩි සේක. හේ එම කුසලයෙන්ම දිවි ඇතිතෙක් සිට ආයුෂ කෙළවර දෙව්ලොව උපන්නේ ස කාමාවචර සම්පත් අනුභවකොට මිනිසුන් අතරද මිනිස් සම්පත් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි කුලගෙයක ඉපිද වැඩිවිය පත්ව හටගත් සැදැහැ ඇත්තේ පැවිදිවූයේ නොබෝ කලකින්ම රහත් විය.
උන්වහන්සේ පසුකලෙක තමාගේ පූර්වකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නාහු ‘සුවණ්ණ වණ්ණං’ යනාදිය කීහ. ඒ සියල්ල යටකී පරිදිමය. ‘පවරා අභිනික්ඛමන්තං’ යනු මනාසේ උතුම් දෙය ප්‍රාර්ථනා කළයුතුනුයි පවර නමි. රම්‍ය වූයෙන්ද, විවේක වූයෙන්ද ස්වකීය විහාරයෙන් විශ්වාසයෙන් යුතුව නික්මෙන යන අර්ථයි. වානා නිබ්බානමාගතං යනු වානං යනු තෘෂ්ණා යයි කියනු ලැබේ. එයින් නික්මුණු බැවින් වාන නම් වූ තෘෂ්ණාව නිබ්බනං කත්‍වා සියලු කෙලෙස් හැර නිර්වාණයට පැමිණියේ යන අර්ථයි.
කටච්ඡුභික්ඛං දත්‍වාන යනු අත්ලෙන් ගතයුතු හැන්ද කටච්ඡු නමි. පිඬු සිඟනු ලබන්නේනුයි ආයාචනය කෙරේනුයි භික්ඛා නමි. විශ්වාසයෙන් කෑයුතු භක්‍ෂණය භික්ඛා නමි. හැන්දෙන් බත් දී යන අර්ථයි. සෙස්ස සියලු තන්හි නොගැඹුරු අර්ථ ඇත්තේ ම ය.
භික්ඛාදායක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
102. ඤාණසඤ්ඤක ථේර අපදාන වර්ණනාව
සුවණ්ණ වණ්ණං සම්බුද්ධං යනාදි වශයෙන් ආයුෂ්මත් ඤාණසඤ්ඤික තෙරුන් වහන්සේගේ අපදානයයි. කුමක්ද උත්පත්තිය? මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස්කරන්නේ සිද්ධත්‍ථ භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක ඉපිද වැඩිවිය පත්ව හටගත් සැදැහැ ඇත්තේ සද්ධර්මය ඇසීමෙහි ආදර ඇත්තේ ආලය ඇත්තේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මදේශනා අනුසාරයෙන් ඥානය යවා ඝෝෂප්‍රමාණ බැවින් භාග්‍යවතුන් වහන්සේගේ ඥානයෙහි පැහැදුණේ පසඟ අටඟ නමස්කාර වශයෙන් ප්‍රණාමකොට ගියේය. හේ එයින් චුතව දේවලෝකවල ඉපදී එහි සදිව්‍යලෝක සම්පත් අනුභව කරන්නේ එයින් චුතව මිනිස් ලොව ඉපිද එහි අග්‍ර වූ චක්‍රවර්ති සම්පත් ආදිය අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි ධන සම්පත් ඇති එක්තරා කුලගෙයක ඉපිද වැඩිවිය පත්ව ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැද පැවිදිව නොබෝ කලකින්ම රහත් විය.
උන්වහන්සේ පසුකලෙක තමාගේ පූර්වකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නාහු ‘සුවණ්ණවණ්ණං සම්බුද්ධං’ යනාදිය කීහ. එය කියන ල අර්ථ ඇත්තේ ම ය. නිසභාජානියං යථා ගවයන් සියදහසට ජ්‍යෙෂ්ඨයා නිසභ නමි. නිසභ වූයේ ද හෙම ආජානීය වූයේ ද උත්තම වූයේ ද ශ්‍රේෂ්ඨ වූයේ ද නිසභාජානීය නමි. භාග්‍යවතුන් වහන්සේද එසේමය යන අර්ථයි. ලෝකවිෂය සංඥාව. එය ප්‍රඥප්ති වශයෙන් මෙසේ කියන ලදි. භාග්‍යවතුන් වහන්සේ අනූපම වූ සේක. සෙස්ස සියලු තන්හි නොගැඹුරු අර්ථ ඇත්තේ ම ය.
ඤාණසඤ්ඤික තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
103. උප්පලහත්‍ථිය ථේර අපදාන වර්ණනාව
තීවරායං නිවාසීහං යනාදි වශයෙන් ආයුෂ්මත් උප්පලහත්‍ථක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද කුසල් ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස් කරන්නේ සිද්ධත්‍ථ භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි මාලාකාර කුලයෙහි ඉපිද වැඩිවිය පත්ව මාලාකාරයෙක්ව නොයෙක් මල් විකුණන්නේ ජීවත් වෙයි. ඉක්බිති එක් දවසක් මල් ගෙන හැසිරෙන්නේ භාග්‍යවතුන් වහන්සේ රුවන් ඇගෑයක් මෙන් දිලිසෙනු දැක එත් උපුල්මල් කලඹකින් පූජා කළේය. හේ එයින් චුතවූයේ ඒ පිනින්ම සුගතීන්හි පින් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි කුලගෙයක ඉපිද වැඩිවිය පත්ව හටගත් සැදැහැ ඇත්තේ පැවිදිව නොබෝ කලකින්ම රහත් විය.
පසුකලක තමාගේ පූර්වකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ ‘තීවරායං නිවාසීහං’ යනාදිය කීය. එහි තීවරා යනු ඌරන් තිදෙනකු විසින් කරවන ලද සැඟවුණු නගරයි. ඒ නගරයෙහි නිවාසී වසනසුලු වූයේ නිවසන අර්ථයෙන් ගෙහි හෝ වසන මම යන අර්ථයි. අහොසිං මාලිකො තදා යනු නිවන් පිණිස පින් රැස් කරන කල්හි මාලිකො මල්කරුවෙක්ව මල් විකුණන්නේ ජීවත් වන්නේ වීමි යන අර්ථයි.
පුප්ඵහත්‍ථ මදාසහං යනු සිද්ධත්‍ථ භාග්‍යවතුන් වහන්සේ දැක උපුල්මල් කලඹ අදාසිං පිදුවෙමි යන අර්ථයි. සේසස සියලු තන්හි නොගැඹුරු අරුත් ඇත්තේ ම ය.
උප්පලහත්‍ථක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
104. පදපූජක ථේර අපදාන වර්ණනාව
සිද්ධත්‍ථ භගවතො යනාදි වශයෙන් ආයුෂ්මත් පදපූජක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ සිද්ධත්‍ථ භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි කුල ගෙයක ඉපිද වැඩිවිය පත්ව ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැද සමන්මලින් පාමුල පිදුවේය. හේ ඒ පිනින් දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ ශක්‍රසම්පත් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලගෙයක උපන්නේ වැඩිවිය පත්ව ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැද පැවිදිව විදසුන් වඩා රහත්ඵලයෙහි පිහිටියේය.