93. අඩ්ඪචෙළක ථේර අපදාන වර්ණනාව
තිස්සස්සාහං භගවතො යනාදී වශයෙන් ආයුෂ්මත් අඩ්ඪචෙලක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස් කරන්නේ තිස්ස භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි එක් අකුසල කර්මයකින් දුප්පත් කුලගෙයක ඉපිද වැඩිවිය පත්ව සද්ධර්ම දේශනාව අසා පහන් සිතැත්තේ සිවුරු පිණිස රෙද්දකින් අඩක් දුන්නේය. හේ ඒ සොම්නසින්ම කලුරිය කොට ස්වර්ගයෙහි උපන්නේ ස කාමාවචර සම්පත් අනුභවකොට එයින් චුතව මිනිසුන් අතර මිනිස් සම්පත්තීන්හි අග්රවූ චක්රවර්ති සැප අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලගෙයක ඉපිද වැඩිවිය පත්වූයේ ශාස්තෲන් වහන්සේගේ ධර්මදේශනාව අසා පහන් සිතැත්තේ පැවිදිව නොබෝ කලකින්ම රහත් විය.
පසුකලෙක තමාගේ පූර්ව කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්රකාශ කරන්නේ ‘තිස්සස්සානං භගවතො’ යනාදිය කීය.
අඩ්ඪචෙලක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
94. සූචිදායක ථේර අපදාන වර්ණනාව
කම්මාරොහං පුරෙ ආසිං යනාදි වශයෙන් ආයුෂ්මත් සුචිදායක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ අතරතුර කුසල්බිජු පුරන්නේ විපස්සී භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි අතරතුර කරන ලද එක් වැරදි ක්රියාවකින් කඹුරු කුලයෙහි ඉපිද වැඩිවිය පත්ව ස්වකීය ශිල්පයෙහි නිෂ්පත්තියට පැමිණියේ ශාස්තෲන් වහන්සේගේ ධර්මදේශනය අසා පහන් සිතැත්තේ සිවුර මැසීම පිණිස ඉඳිකටු දානයක් දුන්නේ ය. හේ ඒ පිනින් දිව්ය මනුෂ්ය සම්පත් අනුභවකොට පසුකලෙක මිනිසුන් අතර ඉපිද චක්රවර්ති ආදී සම්පත්ද අනුභව කරන්නේ උපනුපන් භවයෙහි තියුණු නුවණ ඇත්තේ වජ්රප්රඥා ඇත්තේ විය. හේ ක්රමයෙන් මේ බුද්ධෝත්පාද කාලයෙහි ඉපිද වැඩිවිය පත්ව හටගත් ශ්රද්ධා ඇත්තේ මහා ධන ඇත්තේ තියුණු නුවණ ඇත්තේ විය. එක් දවසක් ශාස්තෲන් වහන්සේගේ ධර්මදේශනය අසා ධර්මානුසාරයෙන් ඥානය යවා හුන් අසුනෙහිම රහත් විය.
හේ රහත් වූයේම පූර්ව කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්රකාශ කරන්නේ ‘සිද්ධත්ථස්ස භගවතො’ යනාදිය කීය. එහි කම්මාරො යනු යකඩ වැඩ ලෝහ වැඩ ආදී කර්මයකින් ජීවත්වේනුයි, රුහති දියුණුවට වැඩි දියුණුවට පැමිණේනුයි කම්මාර නමි. පෙර පින් කරන කල්හි කඹුරෙක්. ආසිං වීමි යන අර්ථයි. සෙස්ස සියලු තන්හි නොගැඹුරු අරුත් ඇත්තේ ම ය.
සුචිදායක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
95. ගන්ධමාලිය ථේර අපදාන වර්ණනාව
සිද්ධත්ථස්ස භගවතො යනාදි වශයෙන් ගන්ධමාලිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද පින් රැස්කිරීම් ඇත්තේ සිද්ධත්ථ භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක ඉපිද මහාධන ඇත්තේ මහාභෝග විය. හේ ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැදී සඳුන් අගිල් කපුරු කස්තුරි ආදී වූ නොයෙක් සුවඳ වඩා ශාස්තෲන් වහන්සේට ස්තූපයක් කරවීය. එහි මුදුන සමන්මලින් වැසීය. බුදුන්වැඳ ප්රාර්ථනාවක් ද කළේය. ඒ පිනින් දෙව්මිනිස් සම්පත් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි ධනසම්පත් ඇති එක් කුලගෙයක ඉපිද වැඩිවියට පත්වූයේ ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැදී පැවිදිවූයේ නොබෝ කලකින්ම රහත් විය.
උන්වහන්සේ පසුකලක තමාගේ පූර්වකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්රකාශ කරන්නේ ‘සිද්ධත්ථස්ස භගවතො’ යනාදිය කීය. ඒ සියල්ල නොගැඹුරු අර්ථ ඇත්තේමය.