100. බුද්ධුපට්ඨාක ථේර අපදාන වර්ණනාව
විපස්සිනො භගවතො යනාදි වශයෙන් ආයුෂ්මත් බුද්ධුපට්ඨාක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස් කරන්නේ විපස්සි භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි සක්පිඹින කුලයක ඉපිද වැඩිවිය පත්ව තමා සියලු සක්පිඹීමෙහි දක්ෂ වූයේ විය. හේ නිතරම භාග්යවතුන් වහන්සේට සක පිඹීය. සක් හඬින්ම පූජා කළේය. හේ එම පිනින්ම දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ සැමතැන ප්රකට වූයේ මහා ප්රතිරාව දෙන හඬ ඇත්තේ මිහිරිහඬ ඇත්තේ විය. මේ බුද්ධෝත්පාද කාලයෙහි ප්රසිද්ධ කුලයක ඉපිද වැඩිවිය පත්වූයේ මධුරස්සර යයි ප්රකට වූයේ ශාස්තෲන් වහන්සෙ කෙරෙහි පැහැද පැවිදිව නොබෝ කලකින්ම රහත්විය.
එක් දවසක් තමාගේ පූර්ව කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්රකාශ කරන්නේ විපස්සිස්ස භගවතො යනාදිය කීය. එය යට කියන ලද්දේ ම ය. ‘අහොසිං සඞ්ඛධම්මකො’ යනු සක් පිඹීනුයි ඝෝෂා කරානුයි සඞ්ඛධම්ම නමි. ඒ මම සඞ්ඛධම්මක වීමි යන අර්ථයි. සෙස්ස සියලු තන්හි නොගැඹුරු අර්ථ ඇත්තේ ම ය.
බුද්ධුපට්ඨාක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
දසවැනි වර්ග වර්ණනාව සමාප්තයි.
11. භික්ඛදායි වර්ගය
101. භික්ඛාදායක ථේර අපදාන වර්ණනාව
‘සුවණ්ණ වණ්ණං සම්බුද්ධං’ යනාදි වශයෙන් ආයුෂ්මත් භික්ඛාදායක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස්කරන්නේ සිද්ධත්ථ භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි එක් කුලගෙයක ඉපිද වැඩිවිය පත්ව ධන සම්පත් ඇත්තේ හටගත් සැදැහැ ඇත්තේ විහාරයෙන් නික්ම පිඬු පිණිස හැසිරෙන සිද්ධත්ථ භාග්යවතුන් වහන්සේ දැක පහන් සිතැත්තේ ආහාර දුන්නේ ය. ඒ භාග්යවතුන් වහන්සේ එය පිළිගෙන අනුමෝදනා කියා වැඩි සේක. හේ එම කුසලයෙන්ම දිවි ඇතිතෙක් සිට ආයුෂ කෙළවර දෙව්ලොව උපන්නේ ස කාමාවචර සම්පත් අනුභවකොට මිනිසුන් අතරද මිනිස් සම්පත් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි කුලගෙයක ඉපිද වැඩිවිය පත්ව හටගත් සැදැහැ ඇත්තේ පැවිදිවූයේ නොබෝ කලකින්ම රහත් විය.
උන්වහන්සේ පසුකලෙක තමාගේ පූර්වකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්රකාශ කරන්නාහු ‘සුවණ්ණ වණ්ණං’ යනාදිය කීහ. ඒ සියල්ල යටකී පරිදිමය. ‘පවරා අභිනික්ඛමන්තං’ යනු මනාසේ උතුම් දෙය ප්රාර්ථනා කළයුතුනුයි පවර නමි. රම්ය වූයෙන්ද, විවේක වූයෙන්ද ස්වකීය විහාරයෙන් විශ්වාසයෙන් යුතුව නික්මෙන යන අර්ථයි. වානා නිබ්බානමාගතං යනු වානං යනු තෘෂ්ණා යයි කියනු ලැබේ. එයින් නික්මුණු බැවින් වාන නම් වූ තෘෂ්ණාව නිබ්බනං කත්වා සියලු කෙලෙස් හැර නිර්වාණයට පැමිණියේ යන අර්ථයි.
කටච්ඡුභික්ඛං දත්වාන යනු අත්ලෙන් ගතයුතු හැන්ද කටච්ඡු නමි. පිඬු සිඟනු ලබන්නේනුයි ආයාචනය කෙරේනුයි භික්ඛා නමි. විශ්වාසයෙන් කෑයුතු භක්ෂණය භික්ඛා නමි. හැන්දෙන් බත් දී යන අර්ථයි. සෙස්ස සියලු තන්හි නොගැඹුරු අර්ථ ඇත්තේ ම ය.
භික්ඛාදායක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
102. ඤාණසඤ්ඤක ථේර අපදාන වර්ණනාව
සුවණ්ණ වණ්ණං සම්බුද්ධං යනාදි වශයෙන් ආයුෂ්මත් ඤාණසඤ්ඤික තෙරුන් වහන්සේගේ අපදානයයි. කුමක්ද උත්පත්තිය? මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස්කරන්නේ සිද්ධත්ථ භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක ඉපිද වැඩිවිය පත්ව හටගත් සැදැහැ ඇත්තේ සද්ධර්මය ඇසීමෙහි ආදර ඇත්තේ ආලය ඇත්තේ භාග්යවතුන් වහන්සේගේ ධර්මදේශනා අනුසාරයෙන් ඥානය යවා ඝෝෂප්රමාණ බැවින් භාග්යවතුන් වහන්සේගේ ඥානයෙහි පැහැදුණේ පසඟ අටඟ නමස්කාර වශයෙන් ප්රණාමකොට ගියේය. හේ එයින් චුතව දේවලෝකවල ඉපදී එහි සදිව්යලෝක සම්පත් අනුභව කරන්නේ එයින් චුතව මිනිස් ලොව ඉපිද එහි අග්ර වූ චක්රවර්ති සම්පත් ආදිය අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි ධන සම්පත් ඇති එක්තරා කුලගෙයක ඉපිද වැඩිවිය පත්ව ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැද පැවිදිව නොබෝ කලකින්ම රහත් විය.