91. සුධාපිණ්ඩිය ථේර අපදාන වර්ණනාව
පුජාරහෙ පූජයතො යනාදි වශයෙන් ආයුෂ්මත් සුධාපිණ්ඩිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස් කරන්නේ සිද්ධත්‍ථ භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි භාග්‍යවතුන් වහන්සේ ජීවත්ව සිටියදී පිනක් කරන්නට නොහැකි වූයේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවි කල්හි උන්වහන්සේගේ ධාතු නිධන්කොට චෛත්‍ය කරනු ලබන කල්හි හුණු පිඬු දුන්නේය. හේ එම පිනින් අනූහතර වැනි කල්පයෙහි පටන් මේ අතරතුර සතර අපාය නො දැක දෙව්මිනිස් සම්පත් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලගෙයක ඉපිද දැනමිති බවට පත්වූයේ ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැද පැවිදිව නොබෝ කලකින්ම රහත් විය.
පසුකලෙක තමාගේ පූර්ව කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ තමාගේ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ ‘පූජාරහෙ’ යනාදිය කීය. එහි පූජාරහ නම් බුදු පසේබුදු ශ්‍රාවක ආචාර්ය උපාධ්‍යාය මව්පිය ගුරු ආදීහුය. ඒ පූජාවට සුදුස්සන් කෙරෙහි මල්දම් පහන් සුවඳදුම් වස්ත්‍රාභරණ ආදී සිව්පසයෙන් පූජයතො පුදන්නාවූ පුද්ගලයාගේ පින් කොටස දහස සියදහස ආදි වශයෙන් ගණන් කිරීමට කිසිදු මහානුභාව ඇත්තකු විසින්වත් නොහැක්කේය යන අර්ථයි. හුදෙක් ජීවත්වන්නා වූ බුද්ධාදී උත්තමයන්ට පුදන්නහුට පමණක් නොව, පිරිනිවි භාග්‍යවතුන් වහන්සේගේ චෛත්‍ය ප්‍රතිමා බෝධි ආදිය කෙරෙහිද මෙම ක්‍රමයමය.
එය පැහැදිලි කිරීමට ‘චතුන්තම්පි දීපානං’ ආදිය කීය. එහි චතුන්නං දීපානං යනු ජම්බුද්වීපය. අපරගෝයනය, උත්තරකුරු, පූර්වවිදේහ සංඛ්‍යාත වූ සතර ද්වීපයන් හා එයට ඇතුළත් දෙහසක් කුඩා දිවයින්ද එකතුකොට සියලු සක්වළ ගැබට ප්‍රධාන වූ සක්විති රජය කරන්නේය යන අර්ථයි. එකිස්සා පූජානායෙතං යනු චෛත්‍යයෙහි ධාතු ගර්භයෙහි කරන ලද එක් පූජාවකින්, පිදුමකින් එකක්, සියලු දඹදිව සප්තරත්න ආදි වූ සියල්ල. කලං නාග්ඝති සොළසිං යනු චෛත්‍යයෙහි කළ පූජාව දහසයවරක් බෙදූ දහසයවැනි කොටස තරම් නො අගී යන අර්ථයි.
‘සිද්ධත්‍ථස්ස නරග්ගස්ස චෙතියෙ එලිතන්තරෙ’ යනු නරයන්ට අග්‍ර වූ ශ්‍රේෂ්ඨ වූ භාග්‍යවතුන් වහන්සේගේ චෛත්‍යයෙහි ධාතු ගර්භයෙහි සුණු පිරියම් කෙරෙන කල්හි පිරිසිඳීම් අතරෙහි මැද, නැතහොත් මල් තබන තැන් අතරෙහි. යං යනු යමෙක් මා විසින් හුණුපිඩ දින්නො තබන ලද්දේද යන සම්බන්ධයි. සෙස්ස සියලු තන්හි ප්‍රකට ම ය.
සුධාපිණ්ඩිය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
92. සුචින්තිත ථේර අපදාන වර්ණනාව
තිස්සස්ස ලොකනාථස්ස යනාදි වශයෙන් ආයුෂ්මත් සුචින්තිත තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ නොයෙක් ජාතිවල නිර්වාණය අවබෝධ කරනු පිණිස පින් රැස්කොට තිස්ස භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි එක් කුලගෙයක ඉපිද වැඩිවිය පත්ව ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැද ශාස්තෲන් වහන්සේට වැඩහිඳීම පිණිස පිරිසිදු සිනිඳු දැවමුවා මාහැඟි පුටුවක් දුන්නේ ය. හේ එම පින්කමින් සුගතියෙහි සැප අනුභව කරමින් ඒ ඒ තැන සැරිසරන්නේ මේ බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලගෙයක උපන්නේ වැඩිවිය පත්ව ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැදී පැවිදි වූයේ නොබෝ කලකින්ම රහත් විය.
පැමිණි රහත්ඵල ඇත්තේ පූර්ව කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ ‘තිස්සස්ස ලොකනාථස්ස’ යනාදිය කීය. ඒ සියල්ල නොගැඹුරු අර්ථ ඇත්තේ ම ය.
සුචින්තිත තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
93. අඩ්ඪචෙළක ථේර අපදාන වර්ණනාව
තිස්සස්සාහං භගවතො යනාදී වශයෙන් ආයුෂ්මත් අඩ්ඪචෙලක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස් කරන්නේ තිස්ස භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි එක් අකුසල කර්මයකින් දුප්පත් කුලගෙයක ඉපිද වැඩිවිය පත්ව සද්ධර්ම දේශනාව අසා පහන් සිතැත්තේ සිවුරු පිණිස රෙද්දකින් අඩක් දුන්නේය. හේ ඒ සොම්නසින්ම කලුරිය කොට ස්වර්ගයෙහි උපන්නේ ස කාමාවචර සම්පත් අනුභවකොට එයින් චුතව මිනිසුන් අතර මිනිස් සම්පත්තීන්හි අග්‍රවූ චක්‍රවර්ති සැප අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලගෙයක ඉපිද වැඩිවිය පත්වූයේ ශාස්තෲන් වහන්සේගේ ධර්මදේශනාව අසා පහන් සිතැත්තේ පැවිදිව නොබෝ කලකින්ම රහත් විය.