දීපඞ්කරො බුද්ධො
මෙසේ අභිඥා බලයට පැමිණ, සුමේධ තාපසයෝ සමවත් සුවයෙන් කල් ගත කරන කල්හි දීපංකර නම් ශාස්තෲන් වහන්සේ ලොව පහළ වූ සේක. උන්වහන්සේගේ පිළිසිඳගැනීම, උපත, බුදුවීම, ධම්මචක්ක දේශනාව පැවැත්වීම ආදී අවස්ථාවල දී සියළුම දස දහසක් ලොකධාතු කම්පා විය. විශේෂයෙන් කම්පා විය. වෙව්ලමින් කම්පා විය. මහහඬින් නාද විය. දෙතිස් පෙරනිමිති පහළ වුහ. සුමේධ තාපසයන් සමාපත්ති සුවයෙන් කල් ගෙවන්නේ (ඔහුට) ඒ ශබ්දය නොඇසුණේය. එම නිමිතිද නොදුටුවේය. එබැවින් කියන ලදි.
“මෙසේ මට අභිලාෂ සිද්ධවන කල්හි ශාසනයේ ඇල්ම ඇතිවන කල්හි ලෝකනායක වූ දීපංකර නම් බුදුරදුන් උපන් සේක.”
“ඉපදුන කල්හිද, පහළ වූ කල්හිද, බුදුවීමේදි හා ධර්ම දේශනාවේදී ධ්‍යානරතියෙන් යුක්ත වූයේ එම නිමිති සතර නොදුටුවෙමි.”
එකෙණෙහි දීපංකර දසබලයන් වහන්සේ හතළිස් දහසක් මහරහතුන් පිරිවරණ ලදුව, පිළිවෙළින් චාරිකා කරන්නේ රම්ම නම් නගරයට පැමිණ සුදර්ශන මහා විහාරයේ වැඩවාසය කරන සේක. රම්‍ය නගරවාසීහු දීපංකර නම් ශ්‍රේෂ්ඨ ශ්‍රමණයා, පරම අභිසම්බෝධියට පැමිණ, පවත්වන ලද උතුම් ධර්මචක්‍රය ඇත්තේ අනුපිළිවෙළින් චාරිකාවේ හැසිරෙන්නේ රම්ම නගරයට පැමිණ සුදර්ශන මහා විහාරයේ වැඩවාසය කරතියි අසා, ගිතෙල්, වෙඬරු ආදියද, බෙහෙත්ද, වස්ත්‍රපිළි ආදියද ගෙන්වාගෙන සුවඳමල් ආදී ගත් අත් ඇතිව බුදුරදුන් යම්තැනකද, ධර්මය යම්තැනකද, සංඝයා යම්තැනකද, එතැන ගොඩබිමක්ද, සිත් අලවන තැනක්ද, පර්වතයක්ද, යන්න නොසළකා එතැන ශාස්තෲන් වහන්සේ වෙත එළඹ බුදුරදුන්ට සුවඳමල් ආදියෙන් පුදා වැඳ එකත්පසක හුන්නේ ධර්මදේශනාව අසා හෙට දවස සඳහා ආරාධනා කොට අසුනින් නැගිට පිටත්ව ගියහ.
ඔවුහු දෙවන දිනයේ මහාදානයක් පිළියෙළ කරවා, නගරය අලංකාරකොට, දසබලයන් වහන්සේ වඩිනා මාර්ගය අලංකාර කරන්නෝ ජලය වැටුණු තැන්වල පස් ඉවත්කොට භූමිය සමතලා කොට රිදීපාට වැලි විසුරුවති. ලදපස්මල්ද විසුරුවති. නොයෙක් වර්ණ වූ වස්ත්‍රවලින්ද, ධජ පතාකද ඔසවති. කෙසෙල්ද, පුන්කලස් පේළිද, පිහිටුවති. එකල්හි සුමේධ තවුසා තමන්ගේ අසපුවෙන් පිටත්ව, ඒ මිනිසුන්ට ඉහළින් අහස්තලයේ යන්නේ ඒ තුටු පහටු වූ මිනිසුන් දැක කවර හේතුවක් නිසාදැයි අහසින් බැස එක්තැනක සිට මිනිසුන්ගෙන් විචාළේය. පින්වන්ති, තෙපි කවරෙකුට මෙම මාර්ගය සරසන්නහුද? එහෙයින් කියන ලදී –
“ප්‍රත්‍යන්ත දේශසීමාවේදී - තථාගතයන්ට ඇරැයුම්කොට උන්වහන්සේ පැමිණෙන මාර්ගය - සතුටු සිතින් පිරිසිදු කරත්”
“මම එසමයෙහි සිය අසපුවෙන් නික්මී රළුසිවුර දරමින් එකල අහසෙන් යමි.”
“ප්‍රීතිමත් වූ මිනිසුන් දැක ප්‍රමෝදිතව සතුටු සිතින් අහසින් බැස එකෙණෙහි මිනිසුන්ගෙන් විචාළේය.”
“ප්‍රීතිමත් වූ මහජනයා ප්‍රමුදිත වූ සතුටු සිතින් කවරෙකුට මාර්ගය පිරිසිදු කරයිද, මාර්ගය පිළිසකර කරහුද?”
මිනිස්සු කීවාහුය. ස්වාමීනි; සුමේධයනි, ඔබ නොදනිහිද? දීපංකර බුදුන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පැමිණ පවත්වන ලද උතුම් ධර්මචක්‍රය ඇත්තේ, චාරිකාවේ හැසිරෙන්නේ අපගේ නුවරට පැමිණ සුදර්ශන මහා විහාරයේ වාසය කරති. අපි, ඒ භාග්‍යවතුන්ට ආරාධනාකොට, ඒ භාග්‍යවත් බුදුරදුන්ගේ පැමිණෙන මාර්ගය අලංකාර කරමු. ඉක්බිති සුමේධ තවුසා සිතුවේය. බුද්ධ යන හඬ පමණක් ලෝකයෙහි දුර්ලභය. බුද්ධෝත්පාදයද එසේමය. මා විසින්ද මේ මිනිසුන් සමග දසබලධාරීන් වහන්සේ වඩින මාර්ගය අලංකාර කිරීම වටී යයි, හෙතෙම ඒ මිනිසුන්ට කීවේය. ඉදින් පින්වත් නුඹලා මේ මාර්ගය බුදුරදුන්ට අලංකාර කරවු නම් මටද එක් ඉඩකඩක් දෙවු! මම ද නුඹලා සමග මාර්ගය අලංකාර කරන්නෙමියි. ඔවුහු යහපතැයි පිළිගෙන සුමේධ තාපසයන් සෘද්ධිමත් බව දන්නා නිසාවෙන් ජලයෙන් බිඳුණු ඉඩකඩ සළකා, නුඹ මේ ස්ථානය අලංකාර කරවයි දුන්හ. සුමේධ බුදුන් අරමුණු කරගත් සතුටින් යුතුව සිතීය. මම මේ ඉඩකඩ සෘද්ධි බලයෙන් අලංකාර කිරීමට සමත් වෙමි. එසේ සැරසීම මට සතුටක් නොවන්නේ ය. මෙහි මා විසින් කයින් වතාවත් කිරීම වටී යයි පස් ගෙනවුත් ඒ පෙදෙසෙහි දැමීය.
එවිට ඒ පෙදෙස නිම නොකරද්දීම දසබලවූ දීපංකර බුදුරජු මහානුභාව සම්පන්න, ෂට් අභිඥාලාභී හතළිස් දහසක් මහරහතුන් පිරිවරණ ලදුව, දේවතාවන් දිවමල් දිවසුවඳ ආදියෙන් පුදන කල්හි, දිව්‍ය සංගීතයෙන් පුදන කල්හි, මනිසුන් අතර මානුෂික වූ සුවඳ මල් ආදියෙන්ද තුර්ය නාදවලින්ද පුදනු ලබන කල්හි, උපමා රහිත බුද්ධ ලීලාවෙන් හිරියල් පර්වතයක වැජඹෙන සිංහයෙකු මෙන්, ඒ අලංකාරව පිළියෙළ කරන ලද මාර්ගයට පිළිපන් සේක. සුමේධ තාපසයන් ඇස් විවෘතකොට අලංකාර කරන ලද මාර්ගයෙන් වැඩම කරන්නා වු බුදුන් වහන්සේගේ දෙතිස් මහ පුරුෂ ලක්‍ෂණවලින් සමන්විත, අසූවක් අනුකුඩා ලක්‍ෂණවලින් මනරංජිත වූ බ්‍යාම ප්‍රභා මණ්ඩලයෙන් වටකරන ලද, නිල්මිණි වන් අහස්තළේ විහිදෙන්නා වු නොයෙක් ආකාර විදුලි යුගල යුගල මෙන් සවනක් බුදුරැස් විහිදුවන්නා වු මුදුන් මල්කඩක් බඳු වූද තථාගතයන් වහන්සේ, දෙස දෙඇස් විවෘතකර “අද මා වුසුන් දසබලධාරීන් වහන්සේට ජීවිත පරිත්‍යාග කිරීම වටී, භාග්‍යවතුන් වහන්සේ මඩගොඩ නොපාගාවා! මැණික් පුවරු ඒ දණ්ඩකින් එතෙර වන්නාක් මෙන්, හතළිස්දහසක් මහරහතුන් සමග මගේ පිට පාගමින් වඩීවා! එය මට දිගු කලක් හිත පිණිස සැප පිණිස වන්නේ යයි කෙස් මුදවා අඳුන් දිවිසම ජටාමඩුල්ල වැහැරි සිවුර, කලුපාටැති මඩෙහි අතුරා මැණික් පුවරුවකින් සෑදු පාලමක් මෙන් මඩ මත්තෙහි හොත්තේය. එබැවින් කියන ලදී –