කොණ්ඩඤ්ඤො බුද්ධො
දීපංකර භාග්යවතුන් වහන්සේට පසුව කාලයේ එක් අසංඛ්යෙයක් ඉක්මවා, කොණ්ඩඤ්ඤ නම් ශාස්තෲන් වහන්සේ ලොව පහළ විය. උන්වහන්සේට ද ශ්රාවකයෝ තුන් අයුරකින් රැස්වූහ. පළමු රැස්වීමේදී කෝටි සියක් දහසක්ද, දෙවැන්නෙහි කෝටි දහසක්ද, තෙවැන්නේ අනූ කෝටියක්ද වූහ. එකල බෝධිසත්වයෝ විජිතාවි නම් සක්විති රජව ඉපිද, කෝටි දසදහසක් අපමණ වූ බුදුන් ප්රමුඛ සංඝයාට මහදන් දුන්හ. ශාස්තෲන් වහන්සේ බෝසතුන් බුදුවන්නේ යයි, විවරණ දී දහම් දෙසූ සේක. හෙතෙම බුදුරදුන්ගේ බණ අසා, රාජ්යය පවරා දී පැවිදි විය. හෙතෙම තුන්පිටකය උගෙන අෂ්ට සමාපත්ති, පංච අභිඥා උපදවා නොපිරිහුණු ධ්යානයෙන් බ්රහ්මලෝකයේ උපන්නේය. රම්යවතී නගරයේ සුනන්ද නම් ක්ෂත්රිය රජු කොණ්ඩඤ්ඤ බුදුරදුන්ගේ පියා විය. සුජාතා නම් දේවිය මවයි. භද්දා, සුභද්දා යනුවෙන් අග්රශ්රාවකයෝ දෙනමක් වූහ. උපස්ථායකයා අනුරුද්ධ නම් විය. අග්රශ්රාවිකාවෝ තිස්සා උපතිස්සා නම් වූවෝය. සල් කළණ ගස බෝධියයි. ශරීරය අසූඅටරියක් උසවිය. වර්ෂ ලක්ෂයක් ආයුෂ වින්දහ.
එයින් මතුව අසංඛෙය්යක් ඉක්මවා, එක් කල්පයක බුදුවරු සතර නමක් උපන්නාහුයි. මංගල, සුමන, රේවත සහ සෝභිත යනුවෙනි.
මංගල බුදුරදුන්ට ශ්රාවක සන්නිපාත තුනක් විය. ඒ අතර පළමුවන සන්නිපාතයේ කෝටි සියදහසක් භික්ෂූහු වූහ. දෙවැන්නේ කෝටි ලක්ෂයක්ද, තුන්වැන්නේ අනූකෝටියක්ද විය. ඔහුගේ ඥාති සොයුරු ආනන්ද කුමරු අනූකෝටියක් පමණ පිරිස සමග ධර්මශ්රවණය පිණිස ශාස්තෲන් සමීපයට පැමිණියහ. ශාස්තෲන් වහන්සේ ඔහුට අනුපිළිවෙල කථාව වදාළ සේක. හෙතෙම පිරිස සමග පිළිසිඹියා පත් රහත්බවට පැමිණියහ. ශාස්තෲන් වහන්සේ ඒ කුලපුත්රයන්ගේ පූර්ව චරිත බලන්නේ සෘද්ධිමය පාත්රසිවුරු ලැබෙන වාසනාව දැක, දකුණු අත දිගුකොට, මහණෙනි; මෙහි එවු! යයි වදාළ සේක. එකෙණෙහි සියල්ලෝම සෘද්ධිමය පාත්ර සිවුරු ඇතිව, හැටවස් පිරුණු තෙරණුන් ලෙසින් ආකල්ප සම්පන්නව වී ශාස්තෲන් වහන්සේ වැඳ පිරිවරා ගත්හ. මේ උන්වහන්සේගේ තෙවෙනි ශ්රාවක සන්නිපාතය විය.
උන්වහන්සේටද අනෙක් බුදුවරුන් මෙන් අත් උස අසූරියනක් පමණ වූ ශරීර ප්රභාවක් විය. ඒ භාග්යවතුනට පමණක් එසේ නොවේ. ඒ භාග්යවතුන් වහන්සේගේ ශරීර ප්රභාවය නිතරම දසදහසක් ලෝකධාතුවල පැතිරී පැවතිණි. ගස්පොළොව පර්වත සමුද්ර යටත් පිරිසෙයින් සැළි ආදිය හටගෙන රන් පටියකින් වෙළන ලද්දේ මෙන් විය. ආයුෂ ප්රමාණය අවුරුදු අනූදහසක් පමණ විය. මෙපමණ කලක් සඳ-හිරු ආදියද තමන්ගේ පැහැය බැබළීමට නොහැකි වූහ. දිවා රාත්රී දෙක නොපෙණුනාහ. දවල් සූර්යාලෝකයෙන් මෙන් සත්ත්වයෝ නිතර බුද්ධාලෝකයෙන්ම හැසිරුණහ. සවස පිපුණු මල් ආදියෙන්ද, උදේ කුරුල්ලන්ගේ ගීත නාදයෙන්ද වශයෙන් ලෝකය දිවා-රාත්රී කාල පරිච්ඡේද වශයෙන් සැලකීය.
කිමෙක්ද අනෙක් බුදුවරුන් හා සසඳනවිට මෙය අසමානුභාවයක් නොවන්නේද, එසේ නොවේ. (ඔවුහු සලකමින් දසදහසක් ලෝකධාතුහුද, බෙහෙවින් ආලෝකය පැතුරුණාහ.) මංගල භාග්යවතුන් වහන්සේගේ පෙර ප්රාර්ථනා වශයෙන් අනෙක් ව්යාම ප්රභාව මෙන් ශරීර ආලෝකය නිතරම දසදහසක් ලෝකධාතුවේ පැතිරී තිබුණේය. හෙතෙම බෝධිසත්ත්ව චර්යාව හැසිරෙන කාලයේ වෙස්සන්තර සමාන ආත්මභාවයක සිටියේ, අඹුදරුවන් සමග වංකගිරිය හා සමාන පර්වතයක වාසය කළේය. ඉක්බිති එක් ඛරදාඨික නම් යක්ෂයකු මහබෝසතුන්ගේ දානාධ්යාශය ගැන අසා බමුණු වේශයකින් පැමිණ බෝසතුන්ගෙන් දරුවන් දෙදෙනා ඉල්ලීය. බ්රාහ්මණය, පුතුන් දෙමියි පවසා සතුටු වූයේ මහ මුහුදු තෙක් මහපොළොව කම්පා කරවමින් දරුවන් දෙදෙනා දුන්නේය. යක්ෂයා සක්මන කෙළවර එල්ලෙන පුවරුව ඇසුරු කොටගෙන සිට, බෝසතුන් බලා සිටිද්දීම නෙලුම් අලයක් මෙන් දරුවන් කෑවේය. මහාපුරුෂයා යක්ෂයා දෙස බලා, මුඛයෙහි ඇතුළත ගිනිජාලාවක් මෙන් වූ ලේ ධාරාවක් වැගිරෙන ඔහුගේ මුඛය දැකද කෙස්අගක් පමණකුදු දොම්නසක් නො හටගත්තේය. මගේ දානය මැනවින් දෙන ලද්දී යයි සිතමින් ඔහුගේ ශරීරයේ මහත් ප්රීතිසොම්නසක් හටගත්තේය. ඔහු, මගේ මේ දානය නිසා අනාගතයේ මේ ආකාරයෙන් රැස් විහිදෙත්වායි ප්රාර්ථනා කළේය. උන්වහන්සේගේ ඒ ප්රාර්ථනාව නිසා බුදුබවට පත් ශරීරයෙන් රැස් විහිදී, මෙපමණ තැනක පැතුරුණාහ.