සන්තිකෙනිදානකථා
සන්තිකෙ නිදානං වනාහි “එක් සමයක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවනයේ අනාථපිණ්ඩික සිටුගේ ආරාමයේ වැඩවාසය කරන කල්හිද, විශාලාවේ මහවනයේ කූටාගාර ශාලාවේ වැඩවාසය කරන කල්හිද, යනුවෙන් මෙසේ ඒ ඒ ස්ථානයේම ලබයි යනුවෙන් කියන ලදි. කුමක් නිසා මෙසේ කියන ලදද? ඉක්බිති එය මුල පටන් මෙසේ දතයුතුය. උදානයෙන් උදම් වී ජය පල්ලංකයෙහි වැඩසිටින්නා වූ බුදුරදුන්ට මෙබඳු අදහසක් පහළවිය. “මම සාරාසංඛ්ය කල්ප ලක්ෂයක් මුළුල්ලේ මෙම පල්ලංකයට අදාළ කාරණා සෙව්වෙමි. මම මෙපමණ කලක් මේ බෝධි පලඟින් වැඩසිටීමේ කාරණය දක්වා, අලංකාර වූ හිස, ග්රීවයෙන් වෙන්කොට දෙන ලද්දෙමි. මනාසේ සිතුවම් කළ ඇස් හෘදය මාංශද, උදුරා දෙන ලදි. ජාලිය කුමරු හා සමාන පුත්රයින් ද ක්රිෂ්ණජිනා කුමාරිය හා සමාන දූවරුන්ද මද්රි දේවිය හා සමාන භාර්යාවන්ද අනුන්ට දාස පිණිස දෙන ලදි. මගේ මේ පල්ලංකය ජය පල්ලංකයකි. උතුම් පල්ලංකයකි. මෙහි මා හුන්නා වූ අවස්ථාවේ ඇතිවූ සංකල්පනාව නම් “එය පරිපූර්ණ කොට මිස මෙතනින් නොනැගිටින්නෙමි” යනුවෙනි. නොයෙක් කෝටි සියදහස් ගණන් සමාපත්ති සමාදන් වෙන්නේ, සත්දිනක් එතැනම වැඩ හුන්නේය. යමක් සඳහා කියන ලදද? “ඉක්බිති භාග්යවතුන් වහන්සේ විමුක්ති සුවය මෙනෙහි කරමින් සත්දිනක් එකම පළඟක් මත වැඩසිටි සේක.”
තව ද ඇතැම් දෙවිවරුන්ට අදද ඒකාන්තයෙන් සිද්ධාර්ථ හට කළයුතු කිස ඇත. පළඟෙහි ආලය අත් නොහරියි යනුවෙන් තර්ක විතර්ක හටගත්තේය. ශාස්තෲන් වහන්සේ දේවතාවන්ගේ තර්ක විතර්ක දැන ඔවුන්ගේ තර්ක විතර්ක සංසිඳුවීම පිණිස අහසට පැන නැග, යමක ප්රාතිහාර්ය පෑ සේක. මහාබෝධි මණ්ඩපයේදී කරන ලද ප්රාතිහාර්ය ද, ඤාති සමූහයා මැද කරන ලද ප්රාතිහාර්යද පාටික පුත්ර සමූහයා ඉදිරියේදී කරන ලද ප්රාතිහාර්ය සියල්ලද ගණ්ඩම්බ රුක්මුලදී (අඹගස මුලදී) කරන ලද ප්රාතිහාර්ය හා සමාන විය.
මෙසේ ශාස්තෲන් වහන්සේ මේ ප්රාතිහාර්යයෙන් දේවතාවන්ගේ විතර්ක සංසිඳවා පළඟට ස්වල්පයක් නැගෙනහිර ඇසුරුකොට, උතුරුදිශා භාගයේ සිට “ඒකාන්තයෙන් මේ පල්ලංකයේදී මට සර්වඥතා ඥානය අවබෝධ වූයේ” යයි සාරාසංඛ්ය කල්ප ලක්ෂයක් මුළුල්ලේ පුරණ ලද පාරමිතාවන්ගේ අධිගම ඵලය පළඟේදී අනිමිස ලෝචනයෙන් බලමින් සත්දිනක් කල්ගත කළ සේක. ඒ ස්ථානය “අනිමිස චේතිය” යන නමින් හැඳින්වේ. ඉක්බිති ශාස්තෲන් වහන්සේ පලඟේ වැඩසිටි අතර සක්මනක් මවා ඉදිරියටද පසුපසටද රුවන් සක්මන දිගේ සක්මන් කරමින් සත්දිනක් කල්ගත කළසේක. ඒ ස්ථානය රුවන් සක්මන යනුවෙන් හැඳින්වේ.
සතරවෙනි සතියෙහි වනාහි බෝධියට පසු උතුරුදිශා භාගයේ දේවතාවෝ රුවන්ගෙයක් මැවූහ. එහි භාග්යවතුන් වහන්සේ පළඟින් වැඩහිඳ විශේෂයෙන් අභිධර්ම පිටකය මුලසිට අගට මෙනෙහි කරමින් සත්දිනක් කල්ගත කළ සේක. අභිධර්මිකයෝ කීවාහුය. රතනඝර යනු මැණික්මය ගෙයක් නොවේ. ප්රකරණ සජතකය මෙනෙහි කරන ලද බැවින් රතනඝර (රුවන්ගෙය) නම් වේ. යම්හෙයකින් මෙහි අර්ථ දෙකම පර්යාය වශයෙන් යොදනු ලැබෙත්. එබැවින් අර්ථ දෙකම ගත යුතුය. එතැන් පටන් එම ස්ථානය රතනඝර චේතිය නමින් හැඳින්විය. මෙසේ ශාස්තෲන් වහන්සේ බෝධිය සමීපයේම සතර සතියක් කල්ගත කොට පස්වෙන සතියෙහි බෝරුකමල සිට අජපාල නුගරුක මුල යම්තැනකද? එතනට වැඩම කළහ. එහිදී ද ධර්මය පරීක්ෂා කරන්නේ විමුක්ති සුවය පිළිබඳ මෙනෙහි කරමින් කල්ගත කළ සේක.
එසමයෙහිද පවිටු මාරයා, “මෙපමණ කලක් මොහුගේ සිදුරු සොයමින් ලුහුබැන්දේ වී නමුත් මොහුගේ කිසිම දෝෂයක් වනවා නුදුටුවෙමි. මොහු මගේ බලය ඉක්මවූයේ යයි සිතමින් දොම්නසට පැමිණියේ, මහා මාර්ගයේ හිඳ, කාරණා දහසයක් ගැන සිතන්නේ, බිම ඉරි දාසයක් ඇන්දේය. මම මෙතුමා මෙන් දාන පාරමිතාව නොපිරුවෙමි. එසේ හෙයින් මොහු හා සමාන නොවූයේ යයි එක ඉරක් (රේඛාවක්) ඇඳීය. එසේම මම මෙතුමා මෙන්, සීල පාරමිතාව, නෛෂ්ක්රම්ය පාරමිතාව, ප්රඥා පාරමිතාව, වීර්ය පාරමිතාව, ක්ෂාන්ති පාරමිතාව, සත්ය පාරමිතාව, අධිෂ්ඨාන පාරමිතාව, මෛත්රී පාරමිතාව, උපේක්ෂා පාරමිතාව නොපිරුවෙමි. එහෙයින් මම මොහු හා සමාන නුවූවෙමි. රේඛා දහයක් ඇන්දේය. එසේය. මම මොහුගෙන් අන්යයන්ට පොදු නොවූ ඉන්ද්රිය පරෝපරියත්ති ඤාණය, ආසයානුසය ඤාණය, මහා කරුණා සමාපත්ති ඤාණය, යමක පාටිහාරී ඤාණය, අනාවරණ ඤාණය, සබ්බඤ්ඤුත ඤාණය, ලැබීමට දස පාරමිතාවන් නොපිරීමි. එම නිසා මම ඔහු සමාන නොවීමි’යි පිළිවෙලින් දහසය වන රේඛාව ද අඳිමින් උන්නේය.