අවිදූරෙනිදානකථා
මෙසේ මහපොළොව කම්පාකොට, මහා පින්කොට ආයුෂයාගේ කෙළවර වෙසතුරු ආත්මභාවයෙන් චුතව තුසිත දෙව්ලොව උපන්නේය. මෙසේ දීපංකර පාද මූලයෙහි පටන්, යම් දවසක තුසිත දෙව්ලොව උපන්නේද, ඒ දක්වා වූ කථා පුවත දූරෙ නිදාන නම් වන්නේය. බෝසතුන් තුසිත පුරයෙහි වසන්නා වූ කාලයෙහිම බුද්ධ කෝලාහලය හටගත්තේය. ලෝකයෙහි මහත් කෝලාහල තුනක් උපදී. කල්ප කෝළාහල, බුද්ධ කෝළාහල සහ චක්රවර්ති කෝළාහල යනුවෙනි. එහි වර්ෂ සියදහස් ගණනක් ඇවෑමෙන් කල්පය හටගැනීම වන්නේ යයි ලෝකව්යවහාරයයි. කාමාවචර දෙවිවරු හිස පහත්කරගෙන කෙස් විසුරුවාගෙන කඳුළුපිරි මුහුණින් ගැලූ කඳුළු අත්වලින් පිසදමමින් රතු වස්ත්ර හැඳ අතිශය විරූපවේශධාරීව, මනුෂ්ය ලෝකයේ හැසිරෙන්නෝ මෙසේ දැනුම් දෙති. මෙයින් වර්ෂ සියදහස් ගණනක් ඇවෑමෙන් කල්පය හටගැනීම වන්නේය. මේ ලෝකය විනාශ වන්නාහ. මහා සමුද්රයද වියළෙයි. මේ මහපොළොව සිනේරු පර්වතරාජයාද දැවෙන්නේය. විනාශ වන්නේය. බ්රහ්මලෝකය දක්වා ලෝක විනාශ වන්නේය. මෛත්රිය වඩව්! කරුණා මුදිතා උපේක්ෂා වඩව්! මවට උපස්ථාන කරවු! පියාට උපස්ථාන කරවු! කුලයේ වැඩිහිටියන්ට වතාවත් කරවු! යනුවෙනි. මෙය කල්ප කෝළාහල නම් වේ. වර්ෂ දහසක් ඇවෑමෙන් ලෝකයෙහි සර්වඥ බුදුරජාණන් වහන්සේ උපදින්නේ යයි, ලෝකපාලක දෙවිවරු, මෙතැන්සිට වර්ෂ දහසක් ඇවෑමෙන් ලොව බුදුකෙනෙකු උපදින්නේය යයි ඝෝෂා කරමින් ඇවිදිති. මෙය බුද්ධ කෝළාහල නම් වේ. වර්ෂ සීයක් ඇවෑමෙන් චක්රවර්ති රජු උපදින්නේ යයි උද්ඝෝෂණය කරමින් ඇවිදිති. මෙය චක්රවර්ති කෝළහල නම් වේ. මේ කෝළාහල තුනම මහා කෝළාහල වෙති.
මේවා අතර බුද්ධ කෝළාහල ශබ්දය අසා මුළු දසදහසක් සක්වළ දේවතාවෝ එකට රැස්වී, අසවල් නම් සත්ත්වයා බුදුවන්නේ යයි දැන ඔහු වෙත එලඹ ආයාචනා කරයි. ආයාචනා කරනු කැමැත්තේ, පූර්ව නිමිති පහළවූ කල්හි ආයාචනා කරති. එකල වනාහි ඒ සියල්ලෝම එක එක චක්රවාටයේ හුන් අයද, චාතුම්මහාරාජිකයේ ශක්රයාද, සුයාම, සන්තුසිත, පරනිර්මිත වසවර්ති මහා බ්රහ්මාදීන් සමග එක සක්වළෙහි රැස්වී තුසිත භවනයේ වසන්නා වූ, බෝසතුන්ගේ සමීපයට ගොස් නිදුකාණනි, නුඹ විසින් දස පාරමිතා පුරණ ලද්දේ, ශක්ර සම්පත් නිසා නොව, බ්රහ්ම සම්පත් නිසා නොව, චක්රවර්ති සම්පත් නිසා නොව, පාරමිතා පුරණ ලද්දේ, ලෝකයෙන් එතෙරවීම පිණිස, සර්වඥතා ඥානය ප්රාර්ථනා කිරීම් වශයෙන්ම පුරණ ලද්දීය. නිදුකාණනි, ඒ ඔබට දැන් බුදුවීම පිණිස කාලයයි. බුදුබව පිණිස සුදුසු කාලයයි. ආයාචනා කළහ.
ඉක්බිති බෝසත්හු, දේවතාවන්ට ප්රතිඥා නොදී කාලය, දීපය, දේශය, කුලය, මවගේ ආයුෂ කෙළවරවීම් වශයෙන් පංචමහා විලෝකන බැලුවේය. එහිදී කාලයද අකාලයදැයි පළමුව සුදුසු කාලය බැලුවේය. එහි වර්ෂ සියදහස් ගණනක් උඩට වැඩෙන ආයුෂ කාලය කාලය නම් නොවෙයි. කුමක් හෙයින්ද? එකල සත්ත්වයන්ට ජාති ජරා මරණ ආදිය ප්රකට නොවෙත්. බුදුවරුන්ගේ ධර්මදේශනාද ත්රිලක්ෂණයෙන් මිදීමක් නම් නැත. ඒවායේ අනිත්ය, දුක්ඛ, අනාත්ම යයි කියන්නන්ට මේ කුමක් කියන්නේදැයි නොඇසිය යුතුය. නොඇදහිය යුතුයයි සිතති. ඒ නිසා සුදුසු කාලය නොවේ. එසේ නොමැතිකල්හි අනෛර්යාණික ශාසනයක් වෙයි. එහෙයින් එය අකාලයයි වර්ෂ සියයකට වඩා අඩු ආයුකාලයද අකාල නම් වෙයි. කුමක් හෙයින්ද? එකල සත්ත්වයෝ උඩට නැගුණු කෙලෙස් බහුලව වසති. කෙළෙස් උත්සන්න වූ කල්හි, දෙන ලද අවවාදද අවවාද තැන නොපිහිටයි. ජලයේ දණ්ඩක් මෙන් වහාම ඉවත්ව යයි. එහෙයින් එයද අකාලය. වර්ෂ සියදහසේ පටන් යටට වර්ෂ සියයේ උඩට ඇති ආයුකාලය කාලය නම් වේ. එකලද වර්ෂ සියයේ ආයු කාලයයි. ඉක්බිති බෝසත්හු ඉපදීමට සුදුසු කාලයදැයි බැලුවේය.
ඉක්බිති දිවයින බලන්නේ පිරිවර සහිත සතර මහද්වීප බලා දිවයින් තුනක බුදුවරු නූපදිති. ජම්බුද්වීපයේම උපදිති. එයින් දීපයද බැලුවේය.
අනතුරුව ජම්බුද්වීප නම් මහා දස දහසක් යොදුන් ප්රමාණ ඇති කවරනම් ප්රදේශයක බුදුවරු උපදින්නාහුද? ඉඩකඩද බලන්නේ මජ්ඣිම දෝෂය දුටුවේය. මජ්ඣිම දිශාව නම් පෙරදිගින් කජංගල නාම නියම්ගමයි. ඉන් පසුපස මහාසාලයයි අනතුරුව පසුපසම ජනපදයෝ වලක්වා මැද පූර්ව දක්ෂ දිශාවෙහි, සල්ලවතී නම් නදියයි. ඉන් අනතුරුව පසුපස ජනපදයෙන් මෙතෙර මැද දකුණු දිශාවෙන් සේතකණ්ණිකා නම් නියම්ගමයි. ඉන් අනතුරුව ප්රත්යන්ත ජනපදයෙන් මෙතෙර මැද පශ්චිම දිශාවෙහි ථූන නම් බ්රාහ්මණ ගමෙකි. ඉන් අනතුරුව ප්රත්යන්ත ජනපදයකි. උතුරු දිශාවෙන් උසීරද්ධවජ නම් පර්වතයයි. ඉන් අනතුරුව ප්රත්යන්ත ජනපද වේ. මෙසේ විනයෙහි කියන ලද ප්රදේශය දිගින් යොදුන් තුන්සියයක්, පළලින් ඉන් අඩකි. වටප්රමාණය යොදුන් නවසීයකි. මේ ප්රදේශයේ බුදු, පසේබුදු, අග්රශ්රාවක, අසූමහා ශ්රාවක, චක්රවර්ති රජවරු වෙනත් මහේශාක්ය ක්ෂත්රිය බ්රාහ්මණ ගෘහපති මහසාළ (සිටු) කුලවල අයද උපදිති. දැන් මෙහි කපිලවස්තු නම් නගරයක් ඇත. එහි මා විසින් ඉපදිය යුත්තේ කොහේද නිශ්චයකට පැමිණියේය.