ගොතමො බුද්ධො
එහිදී අපගේ බෝධිසත්ත්වයෝ දීපංකර ආදි සිව්විසි බුදුවරුන්ගේ සමීපයේ ප්රාර්ථනා කරන්නේ සාරාසංඛ්ය කල්ප ලක්ෂයක සිට පැමිණි සේක. කාශ්යප බුදුරජාණන් වහන්සේගෙන් පසුභාගයෙහි මේ සම්යක් සම්බුද්ධයන් වහන්සේ හැර, වෙනත් බුදුකෙනෙක් නම් නැත්තාහ. මෙසේ දීපංකරාදී සූවිසි බුදුවරුන්ගෙන් ලබන ලද විවරණ ඇති බෝසතාණෝ,
“මිනිසත් භාවයද, ලිංග සම්පත්තියද, ශාස්තෲ කෙනෙකු දැකීමේ වාසනාවද, පැවිදිවීමද, මහත් ගුණ සමූහයද බුදුවීමේ දැඩි කැමැත්තද, මේ අෂ්ට ධර්ම ගැලපීමෙන් ප්රාර්ථනාව සමෘද්ධ වේ.”
යන මේ අෂ්ට ධර්ම සමාදන් වී, දීපංකර පාමුල කරන ලද අභිනීහාර ඇත්තේ, ඒකාන්තයෙන් සැමතැන බුද්ධකාරක ධර්මයේ සොයමියි සොයන්නේ පළමු දාන පාරමිතාව දුටුවෙමි. දානපාරමිතා ආදී බුද්ධකාරක ධර්මයෝ දක්නා ලදි. ඒවා පුරමින් වෙස්සන්තර ආත්මභාවය දක්වා පැමිණියේය. එසේ පැමිණෙන්නේද පැමිණෙන්නාහු කරන ලද යම් ඒ අභිනීහාරයන්හි ආනිශංස වර්ණනා කරන ලදි.
මෙසේ සියළු අංගවලින් යුක්ත වූ, සම්පූර්ණ බුදුබවට නියත පුද්ගලයෝ කල්ප කෝටි සියගණන් දිග සසර සැරිසරන්නාහු නමුදු,
අවීචියෙහි නූපදිති. එසේම ලෝකන්තරිකවලද නූපදිති. නිජ්ඣාම තණ්හික ඛුප්පිපාස කාලකඤ්ජක නොවෙති.
දුගතියෙහි ඉපදුන ද, ක්ෂුත්ර ප්රාණීහු නොවෙති. මිනිසුන් අතර උපදනා ඔවුහු ජාත්යන්ධයෝ නොවෙති.
කර්ණ විකලතා නොවෙති. ගොළු නොවෙති. ස්ත්රීත්වයට නොයති. උභතො බ්යඤ්ජක පණ්ඩක නොවෙති.
බෝධියට නියත උතුමෝ පරියාපන්න නොවෙති. ආනන්තරිකයන්ගෙන් වෙන් වූවාහු හැමතන්හි පිරිසිදු චරියා ඇත්තෝ,
කර්මවාදී කිරියවාදී දර්ශන ඇත්තාහු මිථ්යාදෘෂ්ටිය ඇසුරු නොකරති. ස්වර්ගයෙහි සිටියත් අසංඥ සත්තයෙහි නූපදිති.
සුදවැසි දෙවියන් අතර ඉපදීමට හේතුවක් නොවෙයි. නෛෂ්ක්රම්යයට නැමුණු සත්පුරුෂයෝ සසර නොඇලී සියලු පාරමී පුරන්නාහු ලෝකාර්ථ චරියාවෙහි හැසිරෙති.
මේ ආනිශංස ලබා පැමිණියෝය. පාරමීදම් පුරන්නා වූ මගේ අකිත්ති බ්රාහ්මණ කාලයේද, සංඛ බ්රාහ්මණ කාලයේද, ධනංජය රාජ සමයේද මහා සුදර්ශන රාජ්ය කාලයේද, මහාගෝවින්ද කාලයේද, නිමි මහරජුගේ කාලයේද, චන්දකුමාර කාලයේද, විසය්හ සෙට්ඨි කාලයේද, සිවි රජුගේ කාලයේද වෙස්සන්තර රාජ කාලයේදැයි, දාන පාරමිතාව පුරණ ලද ආකාරයේ ප්රමාණයක් නම් නැත. ඒකාන්තයෙන්ම වන්න. සස පණ්ඩිත ජාතකයේ :-
“ආහාර පිණිස පැමිණියේ දැක - සිය ආත්මය පරිත්යාග කළෙමි
දානය හා සමාන දෙයක් මට නැත - මේ මගේ දාන පාරමිතාවයි.
දානය හා සමාන දෙයක් මට නැත - මේ මගේ දාන පාරමිතාවයි.
මෙසේ ආත්මභාවය පරිත්යාග කරන්නාවුගේ දාන පාරමිතාව, පරමත්ථ පාරමිතා නම් විය. එසේ සීලව රාජකාලයේ, එම්පෙය්ය නාරජු සමයේ. භූරිදත්ත නාරජු සමයේ. ඡද්දන්ත හස්තිරාජ කුලයේ ජයද්දිස රාජ පුත්ර වූ අලීනසත්තු කුමාර කාලයේ සීල පාරමිතාව පිරියයුතු අවස්ථාවන්ගේ ප්රමාණයක් නැත. මෙම අර්ථය වනාහි සංඛපාල ජාතකයේ:-
“හුල්වලින් විදිනු ලබන කල්හිද, සැත්වලින් කොටනු ලබන කල්හිද, භෝජ පුත්රයා කෙරෙහි නොකිපියෙමි. මේ මගේ සීල පාරමිතාවයි.”
මෙසේ ආත්මය පරිත්යාග කරන්නහුගේ සීල පාරමිතාව පරමත්ථ පාරමිතා නම් වේ. එපරිදි සෝමනස්සකුමාර කාලයේද හත්ථිපාල කුමාර කාලයේද, අයෝඝර පණ්ඩිත කාලයේද, මහාරාජ්යය හැරදමා නෛෂ්ක්රම්ය පාරමිතාව පුරණ ලද ආත්මවල ප්රමාණයක් නම් නැත. මේ අර්ථය වනාහි චූලසුතසෝම ජාතකයේ,
“අතට පත් මහාරාජ්යය, කෙළපිඬක් මෙන් ඉවත දැමුවෙමි. බිඳකුදු ඇලීමක් නැතිව පරිත්යාග කළෙමි. මේ මාගේ නෛෂ්ක්රම්ය පාරමිතාවයි.”
මෙසේ සැකයෙන් ඇල්මෙන් තොරව රාජ්යය හැරදමා නික්ම ගියහුගේ නෙක්ඛම්ම පාරමිතාව, පරමාර්ථ පාරමිතා නම් වේ. එපරිදි විධුර පණ්ඩිත කාලයෙහි, මහාගෝවින්ද පණ්ඩිත කාලයේ, කුද්දාල පණ්ඩිත කාලයෙහි, අරකපණ්ඩිත කාලයේ, බෝධි පරිබ්රාජක කාලයේ, මහෞෂධ පණ්ඩිත කාලයෙහි ද ප්රඥා පාරමිතාව පුරණ ලද ප්රමාණයන්ගෙන් ප්රමාණයක් නම් නැත. එකම අවස්ථාවක් දක්වන්නේ නම් සත්තභත්ත ජාතකයේ සේනක පණ්ඩිත කාලයෙහි;
ප්රඥාවෙන් සොයා බලා විසඳූ මම බ්රාහ්මණයා දුකෙන් මුදාලීමි. ප්රඥාවෙන් මා හා සමානයෙක් නැත. (ප්රඥාව හා සමාන දෙයක් මට නැත.) මේ මාගේ ප්රඥා පාරමිතාවයි.
පසුම්බිය ඇතුළට ගියා වූ සර්පයා දක්වමින් බමුණා දුකින් මිදූ ප්රඥා පාරමිතාව පරමාර්ථ පාරමිතා නම් වේ. එපරිදිම විරිය පාරමිතාදියද, පුරන ලද ගණනේ ආත්ම ගණනේ සීමාවක් නම් නැත. එකම අවස්ථාවක් දක්වන්නේ නම් මහාජනක ජාතකයේ, ඒ සම්බන්ධ තොරතුරු මහාජනක ජාතකයේ දැක්වේ :-
“තෙරක් නොපෙනෙන මහමුහුද මැද සියලු මිනිසුන් නැසෙද්දී චිත්ත ධෛර්යය උපදවා වීර්යය වඩා මුහුදින් එතරවීම, මගේ වීර්ය පාරමිතාවයි.”