මේ ක්‍ෂේත්‍ර තුණෙහි මේ සක්වල හැර අන්‍ය සක්වල බුදුවරු උපදිති යයි සුත්‍රයක් නැත. නො උපදිති යයි ඇත. පිටක තුණකි. විනය සුත්තන්ත අභිධම්ම. සංගීති තුනකි. මහා කස්සප සංගීති, යසත්ථෙර සංගීති සහ මොග්ගලීපුත්ත තිස්සථෙර සංගීති. මේ සංගීති තුනෙහි ආරූඪ කළ ත්‍රිපිටක බුද්ධ වචනයෙහි මේ සක්වල හැර අන් තැන්වල බුදුවරු උපදිතියයි සූත්‍රයක් නැත. නො ඉපදිති යයි ඇත.
අපුබ්බං අචරිමං - පෙර පසු නොවී. එකට නො උපදිති. පෙර හෝ පසු හෝ උපදිතියි කියන ලද්දේ වේ. බෝ පලඟෙහි බුදු නොවී නො නැගිටින්නෙමියි හුන් කාලයෙහි සිට මව්කුස පිළිසිඳ ගන්නා කාලය දක්වා පෙර යයි නොදත යුතුය. ධාතු තිබෙනතුරු බුදුහු වැඩ සිටිති. එහෙයින් මේ අතර අන්‍ය බුදු කෙනෙකුගේ උපත නිවාරිතය. ධාතු පිරිනිවි කල්හි අන්‍ය බුදුවරයෙකුගේ උපත නිවාරිත නොවේ.
අතුරුදහන් තුනකි. පරියත්ති අන්තරධානං පටිවෙධ අන්තරධානං පටිපත්ති අන්තරධානං - එහි පරියත්ති යනු තුන්පිටකයයි. පටිවෙධ - සත්‍ය ප්‍රතිවේධයයි. පටිපත්ති - ප්‍රතිපදාවයි. එහි පටිවේධය ද පටිපත්ති ද තිබුනත් නැතත් එක් කලෙක ප්‍රතිවේධකර භික්ෂු බොහෝ වෙති. මේ භික්ෂුව පෘථග්ජන යයි ඇඟිල්ල දික්කර දැක්විය යුතුවේ. මේ ද්වීපයෙහි ම එක්වරක පෘථග්ජන භික්ෂුවක් නම් නොවීය. ප්‍රතිපදාව පුරන්නේ සමහර කාලෙක බොහෝ වෙති. සමහර කාලෙක අල්ප වෙති. මෙසේ පටිවේධය ද පටිපත්තිය ද තිබුණත් නැතත් සාසන පැවැත්මට පරියත්තිය ප්‍රමාණවත්ය. පණ්ඩිතයා ත්‍රිපිටකය අසා ඒ දෙක පුරති.
අපේ බෝසතාණන් මෙන් ආළාර සමීපයේ පස් අභිඥා සත් සමාපත්ති උපදවා නේවසඤඤා නාසඤ්ඤා සමාපත්තියට පරිකර්ම විචාළේය. හේ නොදනිමියි කීය. ඉක්බිති උද්‍රක සමීපයේ අවබෝධ කළ විශේෂය සසඳා නේවසඤ්ඤා නාසඤ්ඤායතනයට පරිකර්ම විචාළේය. හේ කීවේය. ඒ වචනය අතරතුරම මහසත් තෙම එය ඉපද වීය. එසේම ප්‍රඥාවත් භික්ෂුව පරියත්තිය අසා ඒ දෙකම පුරයි, එහෙයින් පරියත්තිය පැවති විට සාසනය පැවතියේ වේ. යම් කලෙක එය අතුරුදහන් වේද? පළමුව අභිධම්ම පිටකය නැතිවෙයි. එහි සියල්ලට පළමුව පට්ඨානය අතුරුදහන් වෙයි. අනුක්‍රමයෙන් පසුව ධර්ම සංගනී එය අතුරුදහන් වූ කල ඉතිරි පිටක දෙක පවතින තුරු සාසනය පවතී.
සූත්‍ර පිටකය අතුරුදහන් වන කල පළමුව අංගුත්තර නිකායේ ඒකාදසක නිපාතය පටන් ඒකක නිපාතය අතුරුදහන් වෙයි. අනතුරුව සංයුත්ත නිකාය, චක්ක පෙය්‍යාලයෙහි පටන් ඔඝතරණය දක්වා අතුරුදහන් වෙයි. ඉන් අනතුරුව මජ්ඣිම නිකාය ඉන්ද්‍රියභවන සූත්‍රයේ පටන් මූලපරියාය සූත්‍රය දක්වා අතුරුදහන් වෙයි. ඉන් අනතුරුව දීඝනිකායේ දසුත්තර සූත්‍රයේ සිට බ්‍රහ්මජාල සූත්‍රය දක්වා අතුරුදහන් වෙයි. කෙනෙක් ගාථා දෙකක් අසා මාර්ගයට යයි. සාසනය දැරීමට නොහැකි වෙයි. සභිය පුච්ඡා ආලවක පුච්ඡා මෙන් ද ඒවා වනාහි කාශ්‍යප බුදුන්ගේ කාලයේ අතරය. සාසනය දැරීමට නොහැකි වූහ.