සීලවිසුද්ධි - විසුද්ධියට පැමිණවීමට සමත් චතුපාරිසුද්ධි සීලය. පාරිසුද්ධිපධානියංග - පාරිසුද්ධිභාවයට ප්‍රධාන අංග. චිත්ත විසුද්ධි - විපස්සනාව පදනම් වී ප්‍රගුණ වූ අෂ්ට සමාපත්ති. දිට්ඨි විසුද්ධි - ප්‍රත්‍ය සහිත නාමරූප දැකීම. කංඛාවිතරණ විසුද්ධි - ත්‍රි ප්‍රත්‍යකාර ඤාණය. අද්ධත්තයෙහි ද ප්‍රත්‍ය වශයෙන්ම ධර්ම පවතී යයි දකින්නේ සැක නැතිවෙයි. මහාමග්ග ඤාණදස්සන විසුද්ධි - ඔභාස (ආලෝක) ආදිය මාර්ගය නොවේ. වීථියට පිළිපන් උදයව්‍යය ඤාණය මාර්ගය වේ. මෙසේ මාර්ග අමාර්ගයේ ඤාණය. පටිපදාඤාණ දස්සනවිසුද්ධි - රථවිනීත සූත්‍රයෙහි වුට්ඨානගාමිනී විපස්සනා. මේ සත් විසුද්ධි විස්තර වශයෙන් විසුද්ධි මාර්ගයෙහි කියන ලදී. පඤ්ඤා - අරහත්තඵල ප්‍රඥාව. විමුත්ති - අරහත්තඵල විමුත්තියම.
ධාතු නානත්තං පටිච්ච උප්පජ්ජති ඵස්ස නානත්තං - චක්බු ආදි ධාතු නානත්වය නිසා චක්ඛු සමඵස්සජාදි ඵස්ස නානත්වය වේ. ඵස්ස නානත්තං පටිචච - චක්ඛු සම්ඵස්ස නාතත්වය නිසා වෙදනා නානත්තං - චක්ඛු සම්ඵස්සජාදි වෙදනා නානත්වය. සඤ්ඤා නානත්තං පටිච්ච - කාම සංඥා ආදි නානත්වය නිසා. සංකප්ප නානත්තං - කාම සංකල්පාදි නානත්වය. සංකප්ප නානත්තං පටිච්ච උපපජ්ජති ඡන්ද නානත්තං - සංකල්ප නානත්වය රූපයෙහි කැමැත්ත ශබ්දයෙහි කැමැත්ත යයි මෙසේ ඡන්ද නානත්වය ඇතිවේ. පරිළාහනානත්තං - ඡන්ද නානත්වය උපදී. පරියෙසනා නානත්තං - පරිළාහ නානත්වය රූප පරියේසනාදි නානත්වය උපදී. ලාභ නානත්තං - පරියෙසන නානත්වය රූප ප්‍රතිලාභාදි නානත්වය උපදී.
සංඥාවල මරණ සඤ්ඤා - මරණානුපස්සනා ඤාණයෙහි සංඥාව. ආහාරෙ පටික්කූල සඤ්ඤා - ආහාරය ගන්නාට උපන් සංඥාව. සබ්බලොකෙ අනභිරත සඤ්ඤා - සියළු සසරෙහි කලකිරුණු තැනත්තාට උපන සංඥාව. සෙස්ස යට කියන ලදී. මෙහි බහුකාර පදයෙහි මාර්ගය කියන ලදී. සෙස්ස පෙර පරිදිය.
නිජ්ජර වත්ථුනි - නිජ්ජර කරුණු. මිච්ඡා දිට්ඨි නිජ්ජිණ්ණා හොති - මෙය යට විපස්සනායෙන් ද නිජ්ජින්නා ම ප්‍රහීනය. කුමක් හෙයින් නැවත ගන්නා ලදද? සමුච්ඡින්න නොවූ නිසා. විපස්සනාවෙන් කිසිවක් ප්‍රහීනය. සමුච්ඡින්න නොවීය. මාර්ගය වනාහි ඉපදී එය සමුච්ඡේදනය කරයි. නැවත නැගිටීමට නොදෙයි. එහෙයින් නැවත ගන්නා ලදී. මෙසේ සියළු පදවල නය පැමිණවිය යුතුය.
මෙහිද සම්‍යක්දෘෂ්ටි ප්‍රත්‍යයෙන් සූසැට දහම් වැඩීම සම්පූර්ණ බවට යයි. සූසැට කවරේද? සෝවාන් මාර්ග ක්ෂණයෙහි අධිමොක්ඛ අර්ථයෙන් සද්ධා ඉන්ද්‍රිය සම්පූර්ණ කරයි. අවික්ෂෙප අර්ථයෙන් සමාධි ඉන්ද්‍රිය සම්පුර්ණ කරයි. පග්ගහ අර්ථයෙන් විරියින්ද්‍රිය සම්පුර්ණ කරයි. දර්ශන අර්ථයේ ප්‍රඥා ඉන්ද්‍රිය සම්පූර්ණ කරයි. විජානන (දැනීම්) අර්ථයෙන් මන ඉන්ද්‍රිය සම්පූර්ණ කරයි. අභිනන්ද අර්ථයෙන් සොමනස්ස ඉන්ද්‍රිය...සන්තතිය පවත්වන අධිපති අර්ථයෙන් ජීවිත ඉන්ද්‍රිය සම්පූර්ණ කරයි...අරහත්ත ඵල ලක්ෂණයෙහි අධිමොක්ඛ අර්ථයෙන් සද්ධා ඉන්ද්‍රිය සන්තතිය පවත්වන අධිපති අර්ථයෙන් ජීවිතේන්ද්‍රිය සම්පූර්ණ කරයි. මෙසේ සතර මාර්ගයෙහි සතර ඵලයෙහි අට අට වී සුසැට දහම් සම්පූර්ණත්වයට යයි. මෙහි අභිඤෙය්‍ය පදයෙහි මග්ග කියන ලදී. සෙස්ස පෙර පරිදිය.