මෙසේ ආශ්වාස ප්‍රශ්වාස වශයෙන් කායානුපස්සනාව බෙදා දැන් ඉරියවු වශයෙන් බෙදීමට “පුන චපරං” යනාදිය කීහ. එහි බලු සිවල් ආදි සත්තු ද යන්නේ යන්නෙමුයි දනිති. මෙය වනාහි එබඳු වූ දැනීමක් සඳහා නො කියන ලදී. එබඳු වූ දැනීම වනාහි සතා යන දැනුම අත් නොහරියි. ආත්ම සංඥාව ගලවා නොදමයි. කමටහන් හෝ සතිපට්ඨාන භාවනා හෝ නොවේ. මෙහි වනාහි භික්ෂුවගේ දැනීම සත්ව හැඟීම දුරු කරයි. ආත්ම සංඥාව ගලවා දමයි. කමටහන ද සතිපට්ඨාන භාවනාව ද වේ. මෙය වනාහි කවරෙක් යේ ද? කාගේ ගමනක්ද? කුමන කරුණක් නිසා දැයි මේවා දැනීම සඳහා කියන ලදී. ස්ථානාදියෙහි ද මෙම නයමැයි.
එහි කවරක් ගමන් කෙරේද? සත්වයෙක් හෝ පුද්ගලයෙක් හෝ කිසිවෙක් නො යයි. කාගේ ගමනක් ද සත්වයෙකුගේ හෝ පුද්ගලයෙකුගේ හෝ කිසිවෙකුගේ ගමනක් නොවේ. කුමන කරුණක් නිසා යන්නේ ද චිත්ත කිරිය වායෝ ධාතු පැතිරීමෙන් යයි. එහෙයින් මෙතෙම මෙසේ දනී. යමි යයි සිතක් උපදී. එය මෙතෙම දනී. වායුව විඤ්ඤත්තිය උපදවයි. චිත්ත කිරිය වායෝ ධාතුව පැතිරීමෙන් සියළු කයේ ඉදිරියෙන් ඉදිරියට ගෙන ඒම ගමන යයි කියනු ලැබේ. ස්ථානාදියෙහි ද මෙම න්‍යායමයි.
එහිද සිටිමි යයි සිතක් උපදී. එය ද මෙතෙම දනී. වායුව විඤ්ඤත්තිය උපදවයි. චිත්තකිරිය වායෝ ධාතුව පැතිරීමෙන් සියළු ශරීරයේ කෙළවරෙහි සිට ඔසවන ලද බව ස්ථානයයි කියන ලදී. හිඳිමියි සිතක් උපදී. එය ද මෙතෙම දනී. වායුව විඤ්ඤත්තිය උපදවයි. චිත්ත කිරිය වායෝ ධාතුව පැතිරීමෙන් යටිකයේ හැකිලීම උඩු කයේ නැගී සිටි බව හිඳීම යයි කියනු ලැබේ. නිදමි යයි සිතක් උපදී. එය ද මෙතෙම දනී. වායුව විඤ්ඤාත්තිය උපදවයි. චිත්තකිරිය වායෝ ධාතුව පැතිරීමෙන් සියළු ශරිරයේ හරහට ප්‍රසාරණය නිදීම යයි කියනු ලැබේ.
ඔහුට මෙසේ දැනීමෙන් මෙසේ වේ. සතා යයි සත්වයා සිටියි. යයි කියයි. කිසි සත්වයෙක් යන්නේ හෝ සිටින්නේ හෝ නැත. යම් සේ වනාහි කරත්තය යයි, කරත්තය සිටියයි කියයි. යන හෝ සිටින කරත්තයක් නැත. ගොනුන් සතර දෙනෙකු යොදා දක්ෂ රියදුරකු පදවන කරත්තය සිටී යයි වවහාර මාත්‍රයක් වේ. එසේම නොදැනීම් අර්ථයෙන් කරත්තය මෙන් ශරිරය. සිතින් උපන් වාතය ගොනුන් මෙනි. සිත රියැදුරා මෙනි. යමි යි සිටිමියි සිත උපන් කල්හි වායෝ ධාතුව විඤ්ඤත්තිය උපදවන්නේ උපදී. චිත්තකිරිය වායෝ ධාතුව පැතිරීමෙන් ගමනාදිය පවත්වයි. එයින් සත්වයා යයි. සත්වයා සිටියි. මම යමි මම සිටිමි යයි ව්‍යවහාර මාත්‍රයක් වේ.
නැව සුළග වේගෙන් - දුනුදිය වෙයින් ඊය ද
යන ලෙස කය ද මේ - සුළගින් ගෙන යයි එසේ
නූලකින් යතුර සේ - මෙම සිත ද නුලක් සේ
යුතු සිරුර යතුර ද - යයි සිටියි හිඳ ගැනුම වේ
මෙහි කොද ඒ සතා - යම් හේතු ද පල විනා
තම තෙදින් වන එය - සිටී හෝ හැසිරේ වේ
එහෙයින් මෙසේ හේතු ප්‍රත්‍ය වශයෙන්ම පවත්වන ගමනාදිය සලකන්නේ මෙතෙමේ යන්නේ හෝ යන්නෙමියි දනී. සිටින්නේ හෝ හිඳින්නේ හෝ - නිදන්නේ හෝ නිදන්නෙමියි දනී යයි දත යුතුය.
යථා යථා වා පනස්ස කායො පණිහිතො හොති තථා තථා නං පජානාති - මෙය සර්ව සංග්‍රාහික වචන වේ. මෙය කියන ලද්දේ වේ. යම් යම් ආකාරයෙන් ඔහුගේ කය සිටියේ වේද? ඒ ඒ ආකාරයෙන් එය දැනගනී. ගමනාකාරයෙන් සිටියේ යයි යයි දැනගනී. සිටින හිඳින-නිදන ආකාරයෙන් සිටියේ නිදන්නේ යයි දැනගනී.
ඉති අජ්ඣත්තං වා - මෙසේ තමාගේ හෝ සිව් ඉරියව් පිරික්සීමෙන් කයෙහි කය අනුව බලමින් වාසය කරයි. බහිද්ධා වා - අනුන්ගේ හෝ සිව් ඉරියව් පිරික්සීමෙන් අජඣත්ත බහිද්ධා වා - කලකින් තමාගේ කලකින් අනුන්ගේ සිව් ඉරියව් පරික්ෂා කිරීමෙන් කයෙහි කය අනුව බලමින් වාසය කරයි. සමුදය ධම්මානුපස්සී - ආදියෙහි වනාහි අවිද්‍යා සමුදයෙන් රූප සමුදය වේ ආදි නයින් පස් ආකාරයකින් රූපස්කන්ධයේ හට ගැනීම ද විනාශය ද බැහැර කළයුතුය. ඒ සඳහා මෙහි “සමුදය ධම්මානුපස්සී” යනාදිය කියන ලදී. අත්ථිකායොති වා පනස්ස - ආදිය කියන ලද පරිදිම වේ.
මෙහි ද සිව් ඉරියව් පරික්සීම ඇති කල්හි දුක්ඛ සත්‍යය. එය හටගත් පෙර තෘෂ්ණාව වූ සමුදය සත්‍යය, දෙකම නොපැවතීම වූ නිරෝධ සත්‍යය, දුක දැන ගැනීම සමුදය ප්‍රහානය නිවන අරමුණුවීම වූ ආර්ය මාර්ග මාර්ග සත්‍යය වේ. මෙසේ චතුස්සත්‍යය වශයෙන් උත්සාහ කොට නිවනට පැමිණේ යයි මෙය සිව් ඉරියව් පරික්ෂාකරන එක් භික්ෂුවකගේ රහත් බව දක්වා නිවන් මග වේ.
ඉරියව් කොටස නිමි.
මෙසේ ඉරියව් වශයෙන් කායානුපස්සනාව වේද, දැන් සිව් විමසන නුවණ වශයෙන් බෙදීමට “පුන චපර” යනාදිය කීහ. එහි “අභික්කන්ත” ආදිය සාමඤ්ඤ පලයෙහි වර්ණනා කරන ලදී. ඉති අජඣත්තං වා - මෙසේ සිව් විමසන නුවණ පිරික්සීමෙන් තමාගේ හෝ කයෙහි අනුන්ගේ හෝ කයෙහි කලෙක තමාගේ හෝ කලෙක අනුන්ගේ හෝ කයෙහි කය අනුව බලමින් වාසය කරයි. මෙහි ද “සමුදය ධම්මානු පස්සී” යනාදියෙහි රූපස්කන්ධයේම සමුදය ද නිරෝධයද බැහැර කළ යුතුය. සෙස්ස කියන ලද පරිදිමය.