10. පායාසී සූත්‍ර වර්ණනාව
පායාසි මවිසින් මෙසේ අසන ලදී. මේ එහි අපූර්වපද වර්ණනාවයි. ආයස්මා - මෙය ආමන්ත්‍රණයේ ප්‍රිය වචනයකි. කුමාර කස්සපො - උන්වහන්සේගේ නාමය. කුමාර කාලයෙහි පැවිදි වූ බැවින් භාග්‍යවතුන් වහන්සේ විසින් “කාශ්‍යප කැඳවන්න” මේ පලතුරු හෝ කෑ යුතු දේ කාශ්‍යපට දෙන්නැයි කී කල්හි, මොන කාශ්‍යපටද? කුමාර කාශ්‍යපට යයි මෙසේ ගන්නා ලද නාම මාත්‍රයෙන් එතැන් සිට වයසට පැමිණි කල්හි ද කුමාර කස්සප යයි කියනු ලැබේ. තව ද රජ විසින් පෝෂණය කළ පුත් බැවින් උන්වහන්සේ කුමාර කස්සප යයි හැඳින් වුහ.
උන්වහන්සේ වනාහි පූර්ව යෝගයේ පටන් ප්‍රකට කථා ඇත්තේය. තෙරුන් වහන්සේ වනාහි පියමතුරා බුදුන් කාලයෙහි සිටු පුතෙක් විය. ඉක්බිති එක් දිනක භාග්‍යවතුන් වහන්සේ තමාගේ ශ්‍රාවකයකු චිත්‍රකථිකථික භික්ෂූන්ගෙන් අග්‍රස්ථානයෙහි තබනවා දැක භාග්‍යවතුන් වහන්සේට සතියක් දන් දී භාග්‍යවතුන් වහන්ස, මම ද මේ චිත්‍රකථික ස්වාමින් වහන්සේ මෙන් අනාගතේ බුදු කෙනෙකුන්ට ශ්‍රාවකයෙක් වන්නෙමියි ප්‍රාර්ථනා කොට පින් කරන්නේ කාශ්‍යප බුදුන්ගේ ශාසනයෙහි පැවිදිව විශේෂයක් උපදවා ගැනිමට නොහැකි විය. එකල වනාහි භාග්‍යවතුන් වහන්සේ පිරිනිවි කල්හි සාසනය පිරිහෙන කල්හි භික්ෂූන් වහන්සේ පස්නමක් ඉණිමගක් බැඳ පර්වතයට නැගී මහණදම් පිරූහ. නායක තෙර තුන්වන දිනයෙහි රහත් වී අනුතෙර සතරවන දිනයෙහි අනාගාමි විය. ඉතිරි තිදෙනා විශේෂයක් ඉපදවීමට නොහැකිව දෙව්ලොව උපන්හ.
එක්කෙනෙක් එක් බුද්ධාන්තරයක් දෙව්ලොව ද මිනිස් ලොව ද සම්පත් අනුභව කරන්නේ එක්කෙනෙක්, තක්ෂිලාවේ රාජ කුලයෙහි ඉපදී පුක්කුස නම් රජ වී භාග්‍යවතුන් උදෙසා පැවිදි වී රජගහ නුවරට එන්නේ කුඹල්හලක භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම දේශනාව අසා අනාගාමි ඵලයට පැමිණියේය. එකෙනෙක් එක් මුහුදු පටුනක කුලගෙයක ඉපදී නැවට නැගී දරහැව හැඳ ලාභ සම්පත්තියට පැමිණ මම රහත්මි සිත් උපදවා, ඔබ රහත් වී නැත. ශාස්තෲන් සමීපයට ගොස් ප්‍රශ්න අසන්නැයි. අර්ථ කැමති දෙවියෙකු විසින් මෙහෙයවන ලද්දේ එසේ කොට රහත් ඵලයට පැමිණියේය.
එක්කෙනෙක් රජගහනුවර කුලදැරියකගේ කුස උපන්නේය. ඕ තොමෝ ද පළමුව මාපියන් යැද පැවිද්ද නොලබන්නේ ස්වාමි කුලයකට ගොස් ගැබ පිහිටි බව නොදන්නී ස්වාමියා සතුටු කොට ඔහුගේ අනුදැනුමෙන් භික්ෂූණීන් කෙරෙහි පැවිදි විය. ඇගේ ගැබිනි බව දැක භික්ෂුණීහු දෙව්දත් තෙරුන් විචාළහ. හේ අස්සමණී යයි කීය. දසබල ශාස්තෲන් විචාළහ. ශාස්තෲන් වහන්සේ උපාලි තෙරුන්ට භාරදුන්හ. තෙර සැවැත්නුවර වැසි කුලවත් විසාඛා උපාසිකාව කැඳවා පිරිසිදු කරන්නේ ගැබ පෙර ලබන ලදැයි පැවිද්දට හානි නැතැයි කීය. ශාස්තෲන් වහන්සේ නඩුව හොඳින් විනිසන ලදැයි තෙරුන්ට සාධුකාර දුන්හ. ඒ භික්ෂූණිය රන් පිළිමයක් සේ පුතකු වැදුවාය. පසේනදී කොසොල් රජ ඔහු ගෙන වැඩුවේය. ඔහුට කස්සප යයි නම් කොට පසු කාලයේ අලංකාර කොට ශාස්තෲන් සමීපයට පමුණුවා පැවිදි කරවීය. මෙසේ ඔහු රජු විසින් පෝෂණය කරන ලද බැවින් කුමාර කස්සප යයි හැඳින්වූහ. එක් දිනක් ඔහු අන්ධ වනයෙහි මහණදම් පුරන්නේ අරුත් කැමති දෙවියෙක් ප්‍රශ්න උගන්වා මේ ප්‍රශ්න භාග්‍යවතුන් වහන්සේගෙන් අසන්නැයි කීය. තෙරුන් වහන්සේ ප්‍රශ්න අසා පැණ විසඳුම් අවසානයෙහි රහත් බවට පැමිණියහ. භාග්‍යවතුන් වහන්සේ ද උන්වහන්සේ චිත්‍රකථික භික්ෂූන් අතරෙහි අග්‍රස්ථානයේ තැබූහ.
“සෙතව්‍යා” ඒ නගරයේ නමය. උත්තරෙන සෙතව්‍ය - සෙතව්‍ය නගරයෙන් උතුරෙහි රාජඤ්ඤො - අභිෂේක නොලත් රජ. දිට්ඨිගතං - දෘෂ්ටියම. දිට්ඨියෙව දිට්ඨි ගතං. ඉතිපි නත්ථි - ඒ ඒ කරුණු පෙන්වා මෙසේ ද නැතැයි කියයි. පුරා.....සඤ්ඤාපෙති සංඥාවක් නොකරන තුරු.
ඉමෙ භො කස්සප චන්දිම සුරියා - හේ වනාහි තෙරුන් විසින් විචාරන ලද්දේ සිතීය. මේ ශ්‍රමණයා පළමුව සඳහිරු දැක්වීය. සඳහිරු සමාන වන්නේය. ප්‍රඥාවෙන් අන්‍යයන් අභිබවනීය වේ. ඉදින් මම වනාහි සඳහිරු මේ ලෝකයේ යයි කියන්නෙමි. ඔවුන් කුමක් නිශ්‍රිතද ප්‍රමාණය කොපමණ කෙතරම් උඩද ආදියෙන් වෙළන්නේය. මම වනාහි වෙළුම් හැරීමට නොහැකි වෙමි. පරලොව්හි මෙසේ කතා කරන්නෙමි. එහෙයින් මෙසේ කීය.
භාග්‍යවතුන් වහන්සේ ඊට පෙර සුධාභොජන ජාතකය වදාළහ. එහි සඳෙහි සඳ දෙව්පුත්ය. හිරුගේ හිරු දෙව්පුත් යයි ආවේය. භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද ජාතකයක් හෝ සූත්‍රාන්තයක් හෝ සියළු දඹදිව ප්‍රකටය. එහෙයින් හේ මෙහි වාසය කරන දෙවියෝ නැතැයි කිව නොහැකි යයි සිතා ඔව්හු දෙවියෝ, මිනිසුන් නොවෙතියි කීය.
අත්ථි පන රාජඤ්ඤ පරියායො - කරුණක් ඇද්දැයි විචාරති. ආබාධිත - විෂභාග වේදනා සංඛ්‍යාත ආබාධයෙන් යුක්ත වූ. දුක්ඛිතා - දුකට පත්. බාළහගිලානා - අධික සේ ගිලන් වූ. සද්ධායිකා - මම ඔබ අදහමි. ඔබ මා විශ්වාස කරන්න. පච්චයිකා - මම ඔබ විශ්වාස කරමි. ඔබ මා විශ්වාස කරන්න.
උද්දසෙසත්වා - ඔවුන්ගේ අස්කොට තැබූ භාණ්ඩයක් දක්වා. පිළිගන්වාගෙන යන අර්ථය වේ. විප්පලපන්තස්ස - මගේ පුතා මගේ දුව මගේ ධනය යයි විවිධ විලාප නගන්නට. නිරය පාලෙසු - නිරයෙහි වැඩකරන සතුන් කෙරෙහි. කර්මයම කම්ම කරණ වේ. කිරීම නැත. නිරය පාලයෝ යයි කියති. ඔව්හු “මහණෙනි, මේ නිරය පාලයෝ” යයි දේවදූත සූත්‍රය පිළිවහති. මිනිස් ලොවේ රජකුලවල කරවන මිනිසුන් මෙන් නිරයෙහි නිරයපාලයෝ වෙති.