අටුවාවල වනාහි සරණ වශයෙන් ද එකක්ව එකතු කිරීම් වශයෙන් ද සතිපට්ඨාන එකක් ම වේ. අරමුණ වශයෙන් සතරක් යයි මෙය කියන ලදී. යම්සේ දොරටු සතරක් ඇති නගරයෙහි නැගෙනහිරින් එන්නේ නැගෙනහිර උපදවන භාණ්ඩ රැගෙන නැගෙනහිර දොරටුවෙන් නගරයට පිවිසෙති, දකුණු දිසාවෙන් බටහිර දිසාවෙන් උතුරු දිසාවෙන් එන්නෝ ඒ ඒ දිසාවේ උපදවන භාණ්ඩ රැගෙන ඒ ඒ දිසාවේ දොරටුවලින් නගරයට පිවිසෙති. නිවන නගරය මෙනි. කායාදි සතිපට්ඨායාන සතර, සතර දිසාවේ දොරටු මෙනි. අරි අටැඟි මග, ලෝකෝත්තර මාර්ගය දොරවල් මෙනි.
පෙරදිගින් එන්නෝ පෙරදිග උපයන භාණ්ඩ රැගෙන පෙරදිග දොරටුවෙන් නගරයට පිවිසෙන්නාක් මෙන් කායානුපස්සනාවෙන් එන්නා තුදුස් ආකාර කායානුපස්සනාව වඩා කායානුපස්සනා භාවනාවේ ආනුභාවයෙන් නිපදවන, ආර්ය මාර්ගයෙන් එකම නිවණට බැසගනී. යම්සේ දකුණු දිසාවෙන් එන්නා දකුණු දිසාවේ උපදවන භාණ්ඩ රැගෙන දකුණු දොරටුවෙන් නගරයට පිවිසෙයි. මෙසේ වේදනානු පස්සනාව අනුව පැමිණෙන්නා නවවිධ වේදනානුපස්සනාව වඩා වේදනානුපස්සනා ආනුභාවයෙන් නිපදවන ලද ආර්ය මර්ගයෙන් එකම නිවනට පිවිසේ. බටහිර දිසාවෙන් පැමිණෙන්නා බටහිර දිසාවේ උපදවන භාණ්ඩ රැගෙන බටහිර දොරටුවෙන් නගරයට පිවිසේ. එසේ චිත්තානුපස්සනාව අනුව එන්නා සොළොස් ආකාර චිත්තානුපස්සනාව වඩා චිත්තානුපස්සනා භාවනාවේ ආනුභාවයෙන් නිවන් ආර්ය මාර්ගයෙන් එකම නිවනට පිවිසේ. උතුරු දිසාවෙන් එන්නා උතුරු දිසාවේ නිපදවන භාණ්ඩ රැගෙන උතුරු දොරටුවෙන් නගරයට පිවිසේ. එසේ ධම්මානුපස්සනාව අනුව පැමිණෙනා පස් ආකාර ධම්මානුපස්සනාව වඩා ධම්මානුපස්සනා භාවනා ආනුභාවයෙන් නිවන් ආර්ය මාර්ගයෙන් එකම නිවනට පිවිසේ. මෙසේ සරණ වසයෙන් මෙන්ම එකට එකතු කිරීම් වශයෙන් ද එකම සතිපට්ඨානය අරමුණු වශයෙන් සතරක් ද කියන ලදැයි දත යුතුය.
කතමෙ චත්තාරො - කියනු කැමතිව විචාරයි. ඉධ - මේ සාසනයෙහි. භික්ඛවෙ - මෙය ධර්ම ප්‍රතිග්‍රාහක පුද්ගලයින් ඇමතීමකි. භික්ඛු - මෙය පිළිවෙත් සපුරන පුද්ගල දැක්වීමකි. සෙසු දෙවියෝ ද මිනිස්සු ද පිළිවෙත් පුරති. පිළිවෙතින් ශ්‍රේෂ්ඨ නිසා භික්ෂු බව දැක්වීම් වශයෙන් භික්ඛු යයි කීහ. භාග්‍යවතුන් වහන්සේගේ අනුසාසනා පිළිගන්නන් අතරෙහි සියළුම අනුසාසනාවල භාජනය වන්නා වූ භික්ෂූහු ශ්‍රේෂ්ඨයහ. උන්වහන්සේලා ගැනීමෙන් සෙස්සෝ ගත්තාහු වෙති. රජගමන්වල දී රජු ගැනීමෙන් සෙසු පිරිස වෙති. යමෙක් මේ ප්‍රතිපත්තිය පිළිපදී ද ඒ භික්ෂුව නම් වේ යයි ප්‍රතිපත්තියෙන් භික්ෂුභාවය දැක්වීමෙන් ද භික්ඛු - යයි කීහ. පිළිපන්නේ දෙවි හෝ මනුස්ස හෝ වේවා යන සංඛ්‍යාවට යති. යම්සේ කීහ.