ඉඳින් මෙසේ කුමක් හෙයින් සතිපට්ඨානා යයි බහු වචනය වේද? ආරම්මන භේදයෙන් බොහෝ තිබෙන නිසා, මග්ගො යයි කුමක් හෙයින් ඒක වචන වීද? මාර්ග අර්ථයෙන් එකක් නිසා, මේ සිහිය සතරාකාර වූවද මාර්ග අර්ථයෙන් එකක් ම වේ. මෙය කියන ලදි. කුමන අර්ථයකින් මාර්ගවේද? නිවන් ගමන අර්ථයෙන් නිවන් කැමැත්තවුන් විසින් මාර්ග නියම අර්ථයෙන් හෝ චේතනා සතර පසුව කායාදි කෘත්‍ය සිදුකරමින් නිවනට යයි. මුල සිටම නිවන කැමත්තවුන් විසින් මාර්ගයේ යනු ලැබෙයි. එහෙයින් හතරම එකම මාර්ග යයි කියනු ලැබේ. මෙසේ ඇති කල්හි ද වචනයෙන් සම්බන්ධ කිරීමෙන් සම්බන්ධය සහිත වූ දේශනා වේ. “මහණෙනි, ඔබලාට මාරසේනාව මර්දනය කළ මාර්ගය දේශනා කරන්නෙමි. එය අසන්න... මහණෙනි, මාරසේනාව මර්දනය කළ මාර්ගය කුමක්ද? එය මේ සප්ත බොජ්ඣංගය” යි ආදියෙහි මෙන් මාරසේනා මර්දනය ද සත්ත බොජ්ඣංගය ද අර්ථ වශයෙන් එකය. මෙහි වචන පමණක් වෙනස් වේ. මෙසේ ඒකායන මාර්ගය ද සතර සතිපට්ඨානය ද අර්ථ වශයෙන් එකය. වචන පමණක් වෙනස් වේ. එහෙයින් මාර්ග අර්ථයෙන් එකක් නිසා ඒක වචනය, අරමුණු භේදය ඇති කල්හි බොහෝ වන බැවින් බහු වචන වේ යයි ද දත යුතුයි.
භාග්‍යවතුන් වහන්සේ විසින් අඩු වැඩි නැතිව සතිපට්ඨාන හතරක් දේශනා කරන ලද්දේ කුමක් නිසාද? විනේය (හික්මවිය යුතු) ජනයන් අනුව දෙසන ලද බැවිනි. තණ්හා චරිත, දිට්ඨි චරිත, සමථයානික, විපස්සනායානිකයන් කෙරෙහි මඳ හා තියුණු වශයෙන් දෙවිධියක් සිටින විනේය ජනයන්, මඳ නුවණැති තෘෂ්ණා චරිතය ඇත්තාට ඕලාරික වූ කායානුපස්සනා සතිපට්ඨාන පිරිසිදුවීමට මාර්ගය වේ. තියුණු නුවණ ඇත්තාට සියුම් වූ වෙදනානු පස්සනා සතිපට්ඨානය ද මන්ද දිට්ඨි චරිතයට ප්‍රභේද නැති චිත්තානු පස්සනා සතිපට්ඨානය ද තියුණු නුවණ ඇත්තාට අති ප්‍රභේද වූ ධම්මානු පස්සනා සතිපට්ඨානය ද පිරිසිදුවීමට මාර්ගය වේ. මන්ද සමථයානිකයාට අපහසුවකින් අවබෝධ වීමට හේතුවන පළමු සතිපට්ඨානය වන කායානුපස්සනාවද තියුණු සමථයානිකයාට ඕලාරික අරමුණෙහි නොපිහිටන නිසා දෙවන සතිපට්ඨානය වන වේදනානු පස්සනාව ද පිරිසිදු වීමට මාර්ගය වේ. මන්ද විපස්සනායානිකයාට ප්‍රභේද රහිත තුන්වන සතිපට්ඨානය වූ චිත්තානුපස්සනාවද තියුණු විපස්සනායානිකයාට අති ප්‍රභේදගත සතරවන සතිපට්ඨානය වූ ධම්මානුපස්සනාව ද පිරිසිදුවීමට මාර්ගය වේ. මෙසේ සතරක්ව කියන ලදී. අඩු වැඩි නැතිව එය කියන ලදී.
තවද සුභ සුඛ නිච්ච අත්තභාව යන විපර්යාසව ගැනීම දුරු කිරිම සඳහා ද සතිපට්ඨාන සතරක් දේශනා කරන ලදී. කය යනු අසුභයකි. එහි ද සත්වයෝ සුභ ය යන විපර්යාස අර්ථය ගත්තාහු වෙති. ඔවුන්ට එහි අසුභභාවය දැකීමෙන් ඔවුන්ගේ විපර්යාස දැකීම දුරු කිරීම සඳහා පළමු සතිපට්ඨානය කියන ලදී. සැප, නිත්‍ය, ආත්ම වශයෙන් විපර්යාශව ගත් සත්වයින්ගේ ඒ විපර්යාශ දෘෂ්ඨිය ප්‍රහාණය කිරීම සඳහා වේදනාව දුකයි, සිත අනිත්‍යයයි, ධර්මය අනාත්මයයි අවබෝධ කරවීමට ඉතිරි සතිපට්ඨාන තුන දේශනා කරන ලදී. මෙසේ සුභ සුඛ නිච්ච අත්තභව යන විපර්යාශ ප්‍රහානය සඳහා ද අඩුවැඩි නැතිව සතිපට්ඨාන සතරක් දේශනා කරන ලදී. විපර්යාශ දෘෂ්ඨි ප්‍රහානය කිරීම සඳහාම පමණක් සතිපට්ඨාන සතරක් දේශනා කරන ලද්දේ නොවේ. තවද සතර ඕග, සතර යෝග, ආසව, ග්‍රන්ථ, උපාදාන, අගති ප්‍රහාණය සඳහා ද සතරාකාර අවබෝධය සඳහා ද සතරක් කියන ලදැයි දත යුතුය. ප්‍රකරණවල එන නය ක්‍රමය මෙසේය.
අටුවාවල වනාහි සරණ වශයෙන් ද එකක්ව එකතු කිරීම් වශයෙන් ද සතිපට්ඨාන එකක් ම වේ. අරමුණ වශයෙන් සතරක් යයි මෙය කියන ලදී. යම්සේ දොරටු සතරක් ඇති නගරයෙහි නැගෙනහිරින් එන්නේ නැගෙනහිර උපදවන භාණ්ඩ රැගෙන නැගෙනහිර දොරටුවෙන් නගරයට පිවිසෙති, දකුණු දිසාවෙන් බටහිර දිසාවෙන් උතුරු දිසාවෙන් එන්නෝ ඒ ඒ දිසාවේ උපදවන භාණ්ඩ රැගෙන ඒ ඒ දිසාවේ දොරටුවලින් නගරයට පිවිසෙති. නිවන නගරය මෙනි. කායාදි සතිපට්ඨායාන සතර, සතර දිසාවේ දොරටු මෙනි. අරි අටැඟි මග, ලෝකෝත්තර මාර්ගය දොරවල් මෙනි.