8. සක්ක පඤ්හ සූත්‍ර වර්ණනාව
සක්ක පඤ්හ සූත්‍රය මවිසින් මෙසේ අසන ලදි. එහි ගැඹුරු පද වර්ණනාව මෙසේය. අම්බසණ්ඩා නාම බ්‍රහ්මණ ගාමො ඒ ගම වනාහි අම්බසණ්ඩය ලඟ ඊට ඇතුළත් විය. එහෙයින් අම්බසණ්ඩ යයි කියනු ලැබේ. වෙදියකෙ පබ්බතෙ - ඒ පර්වතය වනාහි පර්වත පාදයෙහි හටගත් මිණි වේදිකාවක් මෙන් නිල් වන රාජීයෙන් හාත්පසින් වටවී ඇත. එහෙයින් වෙදිය පර්වතය යයි හැඳින්වේ. ඉන්දසාල ගුහායං - පෙර පර්වත දෙකක් අතරෙහි ඒ ගුහාව විය. ඉඳුසල් ගසක් එය ඉදිරියෙහි විය. ඒ නිසා ඒ ගුහාව ද ඉන්දසාල ගුහා යයි ව්‍යවහාර විය. ඉක්බිතිව බිත්තිවලින් වටකොට දොර ජනෙල් යොදා මනාව සකස්කොට හුනු පිරියම් කොට ලතා කර්ම මාලා කර්මවලින් අලංකාර කොට භාග්‍යවතුන් වහන්සේට පූජා කළහ. පෙර ව්‍යවහාරය වශයෙන් ම ඉන්දසාල ගුහා විය.
උස්සුක්කං උදපාදි ධාර්මික උත්සාහයක් ඇතිවිය. මොහු නිතරම භාග්‍යවතුන් වහන්සේ දකින්නේ ද නැත. දේව රැස්වීමක් ද නැත. එහි ඔහු නොපැමිණි වීරිය. සක්‍රයා මෙන් අප්‍රමාදව වාසය කරන දිව්‍ය පුත්‍රයෙක් නැත. කුමක් හෙයින් බුදුන් දැකීම සඳහා උත්සාහයක් ඇතිවීද? මරණ බියෙන් තර්ජිතව. එවිට ඔහුගේ ආයු පිරිහී තිබිණ. හේ පස් පෙර නිමිති දැක මගේ ආයු පිරිහී ඇතැයි දැනගත්තේය. යම් දිව්‍ය පුත්‍රයන්ගේ මරණ නිමිති පහළ වූ විට ඔවුන් අතරෙහි සුළු පිනක් කොට දෙව්ලොව උපන් අය දැන් කොහේ උපදීදැයි බියට සන්ත්‍රාසයට පැමිණෙති. යමෙක් බොහෝ පින්කොට දෙව්ලොව උපන්නේ ඔව්හු දුන් දන්වල රැකි සීල වැඩූ භාවනා නිසා ඉහළ ඉහළ දෙව්ලොව සම්පත් අනුභව කරන්නෙමියි බිය නොවෙති.
සක්‍ර දිව්‍ය රාජයා පෙර නිමිති දැක දස දහසක් යොදුන් දේව නගරය යොදුන් දහසක් උස විජයොත්පාය, තුන් යොදුනක් වූ සුධර්මා දේවසභාව සත් යොදුනක් උස පරසතු රුක, සැට යොදුන් වූ පඬු ඇඹුල දෙසිය පනසක් නෘත්‍ය පර්ෂදය, දෙව්ලෝ දෙකෙහි දෙව්පිරිස නන්දන චිත්තලතා වන, මිස්සක ඵාරුසක වන මේ සියළු සම්පත් බලා මගේ මේ සම්පත් නැසේ යයි බියට පත්වූයේ විය.
ඉන් පසු මගේ හෘදය නිශ්‍රිත සෝ උල උදුරා මේ සම්පත් ස්ථිර කරන්නා වූ කිසියම් ශ්‍රමණයෙක් හෝ බ්‍රහ්මණයෙක් හෝ ලෝක පිතෘ මහා බ්‍රහ්මයා හෝ ඇද්දැයි බලන්නේ කිසිවකු නොදැක, නැවත මා වැනි ලක්ෂයකගේ උපන් සෝ උල්ද ගලවා දැමීමට සමර්ථ බුදුන් වහන්සේ සිටිනවා දැක, භාග්‍යවතුන් වහන්සේ දැකීමට සක්දෙව් රජුට මහත් උද්යෝගයක් ඇතිවිය.
කහං නු ඛො භගවා එතරහි විහරති - කුමන ජනපදයෙහි, කවර නගරයක් ඇසුරුකර කාගේ ප්‍රත්‍ය වළඳමින් අමාදම් කවරෙකුට දේශනා කරමින් වාසය කෙරෙත්ද? අද්දසා ඛො - දැක්කේය. අවබෝධ කළේය. මාරිස - මෙය ප්‍රිය වචනයකි. දෙවියන්ට වෙනම ව්‍යවහාර කෙරේ. නිදුක් වේවා යයිද කියන ලද්දේ වේ. කුමක් හෙයින් මේ දෙවියන්ට ආමන්ත්‍රණය කෙළේද? සහාය පිණිස. පෙර මොහු භාග්‍යවතුන් වහන්සේ සලලඝරයෙහි වාසය කරන කල්හි දැකීම සඳහා හුදකලාවම ආවේය. ශාස්තෲන් වහන්සේ ඔහුගේ නුවණ මෝරා නැතැයි සලකා, දින කීපයක් ඉක්මවා, මා ඉඳුසල් ගුහාවේ වසන කල්හි පස් පෙරනිමිති දැක මරණභයින් බියපත්ව දෙදෙව්ලොව දෙවියන් සමග එළඹ තුදුස් පැනක් විචාරා උපේක්ෂාව පැන විසඳුම් අවසානයෙහි අසූ දහසක් දෙවියන් සමග සෝවාන් පලයෙහි පිහිටන්නේ යයි සිතා අවකාස නුදුන්හ. හේ මම තනිව ගොස් බුදුන් අවකාස නොදෙන ලදී. මට මාර්ග පලවල උපනිශ්‍රය ඒකාන්තයෙන් නැත. එක්කෙනෙකුට හෝ උපනිශ්‍රය ඇත්නම් භාග්‍යවතුන් වහන්සේ සක්වල කෙලවර පිරිසට ද දහම් දෙසන්නේමය. දෙදෙව්ලොව කිසිවකුට හෝ උපනිශ්‍රය ඇත්නම් බුදුහු දහම් දෙසති. ඒ අසා මම ද මාගේ දොම්නස සමනය කරගන්නෙමියි සිතා සහාය පිණිස දෙවියන් ඇමතීය.
එවං භද්දන්තවාති ඛො තාවතිංසා - මෙසේ වේවා. මහරජ භාග්‍යවතුන් වහන්සේ දැකීමට යමු. බුද්ධෝත්පාද දුර්ලභය. පර්වත ක්‍රීඩා දිය කෙළි සඳහා යමුයි නොකියා මෙය ඉතා යහපත්ය. මෙබඳු ස්ථානයක අප නියෝජනය කරවීම කදිමය. පච්චස්සොසුං - ඔහුගේ වචනය හිස් මුදුනින් පිළිගත්හ.