7. මහා සමය සූත්‍රය
එවං මෙසුතං යනු මහා සමය සුත්‍රයයි. මෙය පෙර විස්තර නොකළ පද වර්ණනාවයි. සක්කෙසු - අම්බට්ඨ සූත්‍රයෙහි කියන ලද උත්පත්ති පිළිවෙළින් “සක්‍ය මත භො කුමාරො” යන උදානය නිසා සක්‍ය යයි ලැබූ නම් ඇති කුමරුන්ගේ නිවස වූ එක් ජනපදයකට ද රූඪි වශයෙන් සක්කාය කියනු ලැබේ. එහෙයින් ශාක්‍ය ජනදයෙහි. මහාවනෙ - රෝපනය නොකළ ස්වයං ජාතම හටගෙන හිමවත සමග ඒකාබද්ධ වූ මහා වනයෙහි. සබ්බෙහෙව අරහන්තෙහි මේ සූත්‍ර දේශනා කළ දිනයෙහිම රහත් බවට පැමිණ
එහි පිළිවෙළ කථාව මෙසේය:- ශාක්‍ය හා කෝලියෝ වනාහි ශාක්‍ය හා කෝලිය ජනපද අතර වූ රෝහිණි නදියේ එක අමුණක් බැඳ ජලය ගෙන ගොවිතැන් කරති. ඉක්බිති කාලයක පොසොන් මාසයෙහි සස්‍ය මැලවෙන කල්හි නගර දෙකේම ගොවියෝ රැස්වූහ. එහි දී කෝලිය නගරවාසීහු මෙසේ කීහ. මේ ජලය දෙගොල්ලම ගත්තොත් එක ගොල්ලකගේවත් කුඹුරුවලට ප්‍රමාණවත් නොවේ. අපේ කුඹුරු එක දියවරකින් පැසේ. ඒ නිසා මේ ජලය අපට දෙන්න. කපිලවත්ථු නගරවාසීහු මෙසේ කීහ. ඔබලාගේ අටුකොටු පුරවාගෙන සිටින විට රත්රන්, නිල්මැණික, කහවණු ගෙන පැසි, පසුම්බි ගත් අත් ඇතිව ඔබලාගේ ගෙවල් ගානේ යන්ට අපට බැහැ. අපගේ ගොයම් ද එක දියවරකින් පැසේ. මේ ජලය අපට දෙන්න. අපි නොදෙමු අපි නොදෙමු යයි මෙසේ කථා ඇතිවී එකෙක් නැගිට එකෙකුට පහරක් ගැසීය. හේද අනෙකෙකුට යයි ඔවුනොවුන් පහර දී රාජකුලවල ජාති ආදියෙන් ගම් කෝලාහල කළහ.
කෝලිය කම්කරුවෝ මෙසේ කියති. ඔබලාගේ කපිලවත්ථු වාසීන් අරගෙන ගර්ජනා කෙරේද? ඔව්හු බලු හිවල් ආදින් මෙන් තමන්ගේ සහෝදරයින් සමග සංවාස කළහ. ඔවුන්ගේ මේ ඇත් අස් ඵලක ආවුද වලින් අපට මොනව කරන්නද? ශාක්‍ය කම්කරුවෝ ද මෙසේ කියති. ඔබලා දැන් කුෂ්ඨ දරුවන් අරගෙන ගර්ජන කරවුද? අනාථව යන තැනක් නැතිව තිරිසනුන් මෙන් කොලොම් ගසක විසූහ. ඔවුන්ගේ ඇතුන් අසුන් ඵලකායුධවලින් අපට මොනව කරන්නද? ඔවුහු මෙසේ ඒ කටයුතුවල නිරත ඇමතිවරුන්ට කීහ. ඇමතිවරු රාජකුලයන්ට කීහ. එයින් සහෝදරියන් සමග සංවාසය කළ ශාක්‍යයන්ගේ ශක්තිය ද බලය ද පෙන්වන්නෙමු යයි යුද්ධය සඳහා නික්මුණාහ. කෝලියෝ ද කොලොම්ගස්වාසීන්ගේ ශක්තිය ද බලය ද පෙන්වමු යයි යුද්ධයට නික්මුණාහ.
භාග්‍යවතුන් වහන්සේ ද රාත්‍රියෙහි අලුයම් වෙලෙහි මහා කරුණා සමාපත්තියෙන් නැගිට ලොව බලන්නේ මෙසේ මොවුන් යුද්ධයට නික්මෙනවා දුටහ. එසේ දැක මා ගිය කල්හි යුද්ධය සංසිඳෙන්නේ ද නැද්දැයි පරික්ෂා කරන්නේ. මම එහි ගොස් කලහය සංසිඳවීම සඳහා ජාතක තුනක් දේශනා කරන්නෙමි. එයින් කලහය සංසිඳෙන්නේය. ඉක්බිතිව සමගිය දැක්වීම සඳහා ජාතක දෙකක් දේශනා කොට අත්තදණ්ඩ සූත්‍රාන්තය දේශනා කරන්නෙමි. දේශනාව අසා උභය නගරවාසීහු දෙසිය පනහ බැගින් කුමාරවරුන් පන්සියයක් දෙන්නාහ. මම ඔවුන් පැවිදි කරවන්නෙමි. මහා සමාගමක් වන්නේයයි සනිටුහන් කළහ. එහෙයින් මේ යුදපෙරමුණට වඩින්නේ කිසිවෙකුට නොදන්වා තමන් වහන්සේම පාසිවුරු ගෙන වැඩමවා දෙසෙනග අතරෙහි අහසෙහි පලක්බැඳ සවණක් රස් විහිදුවා වැඩ උන්හ.
කපිලවත්ථුවාසීහු භාග්‍යවතුන් වහන්සේ දැක අපගේ ඤාති ශ්‍රේෂ්ඨයා වූ භාග්‍යවතුන් වහන්සේ වැඩියහ. අප කලහ කරන බව උන්වහන්සේ දකින ලදැයි සිතා භාග්‍යවතුන් වහන්සේ පැමිණි කල්හි අනුන් ශරිර ආයුධවලින් විනාශ කිරීමට නොහැකිය. කෝලිය නගරවාසින් අප විනාශ කළත් කමක් නැතැයි ආවුධ විසිකොට බුදුන් වැඳ සිටියහ.
බුදුන් වහන්සේ දැනගෙනම මහරජ කුමක් නිසා පැමිණියේදැයි ඇසූහ. භාග්‍යවතුන් වහන්ස ජලක්‍රීඩා පිණිස නොවේ. පර්වත ක්‍රීඩා පිණිස නොවේ. ගංඟා කෙළි සඳහා නොවේ. ගිරිදසුන් සඳහා නොවේ. මහරජ කලහය කුමක් නිසාද? ස්වාමීනි, ජලය නිසා. මහරජ ජලය කොපමණ වටීද? ස්වාමීනි වටිනාකමක් නැත. පොළොව කොතෙක් වටීද? නොවටී ස්වාමීනි, ක්‍ෂත්‍රියා කොපමණ වටීද? ස්වාමීනි ක්ෂත්‍රියා මිල කළ නොහැකිය. නොවටිනා ජලය නිසා වටිනා ක්ෂත්‍රියන් විනාශ කරවුද? කලහයෙන් ආශ්වාදයක් නැත. කලහ වශයෙන් මහරජ, අස්ථානයෙහි වෛර කොට එක් රුක් දේවතාවෙක් කලු සිංහයකු සමග බඳින ලද වෛර ඇත්තේ, මේ මුළු කප පුරාම පැවතියේ යයි වදාරා ඵන්දන ජාතකය වදාළේය. මහරජ අනුන් කෙරෙහි විශ්වාසය තැබිය යුතු නොවේ. අනුන් කෙරෙහි විශ්වාසයෙන් එක් සාවකුගේ කථාව අසා යොදුන් තුන්දහසක් පළල හිමවතෙහි සිව්පා ගණයා මහසමුදුර කරා දිව්වාහ. එනිසා අනුන්ගේ කියමන් නොඇසිය යුතුයි කියා පඨවිඋද්‍රියන ජාතකය වදාළේය.