6. මහා ගෝවින්ද සූත්‍ර වර්ණනාව
එවම්මෙ සුතං මහා ගෝවින්ද සූත්‍රය මා විසින් මෙසේ අසන ලදී. මේ එහි ගැඹුරු පද වර්ණනාවය. පංචසිඛො සිළු පසක් ඇත්තේ. කුණ්ඩල පහක් ඇත්තේ, හේ වනාහි මිනිස් පියසේ පින්කම් කරන කාලයෙහි පන්සිළු දහර කාලයෙහි වසු පැටවුන් බලාගන්නා නායකයෙක්ව සිව් මංසලවල සාලා කරන්නේ, පොකුණු කරන්නේ, ඒ දඬු බඳින්නේ, මාර්ගවල විසම තැන් සමකරන්නේ, යානාවල අකුර නසන ගස් ඉවත් කරන්නේ, මෙබඳු පින්කරමින් හැසිර තරුණ කාලයෙහිම කලුරිය කෙළේය. ඔහුගේ ඒ ආත්මභාවය ඉෂ්ඨ කාන්ත මනාප විය. හේ කලුරිය කොට චාතුම්මහාරාජික දේවලෝකයෙහි වර්ෂ අනූ ලක්ෂයක් පමණ ආයුෂ ගෙන ඉපදුනේය. ඔහුගේ තුන්ගවු පමණ රන්කඳක් හා සමාන ආත්මභාවය විය. හේ ගැල්දහසක පමණ ආභරණ පැළඳගෙන කළ නවයක් පමණ සුවඳ විලවුන් ගල්වා දිව්‍ය රතු වස්ත්‍ර ධරා රතු මැණික් කරාබු පැළඳ කොණ්ඩ පහක් පිට දිගට වැටෙන සේ පන්සිළු දාරක පරිහාරයෙන් ම හැසිරේ. එයින් හේ පංචසිඛ යයි හැඳින් වේ.
ඉක්මගිය, ක්ෂීණ වූ රාත්‍රියේ, එක් කොටසක් ඉකුත් වී ගිය යන අර්ථයයි. අභික්කන්ත වණ්ණා අති ඉෂ්ට කාන්ත මනාප වූ වර්ණය. ස්වභාවයෙන් ම හේ කාන්ත වර්ණ ඇත්තේය. අලංකාර කොට ආ බැවින් අභික්කන්ත විය. කෙවල කප්පං ඉතිරි නැතිව, හාත්පසින්, අනවසේ සාර්ථයයි. මෙහි කේවල ශබ්දය, කෙවලකප්පං ජෙතවනං ආදියෙහි මෙනි. ඔභාසෙත්වා ආලෝකය පතුරුවා, සඳ මෙන් හිරු මෙන් ඒකාලෝක කොට යන අර්ථයයි.
සුධම්මාය සභායං සුධම්මා නම් කාන්තාවගේ වහළ මුදුනේ සවිකරන ලද රියනක් පමණ උස් වූ දණ්ඩක් ඇති රැස්වීම් ශාලාවේ. එහි වනාහි පලිඟුමය බිම ය. මිණිමුවා ඇණය. රුවන්මුවා මැටිය. රිදීමුවා ටැමිගැටි සහ එකාට බැඳීම්ය. පබලුමය ව්‍යාල රූපය. සත්රුවන් මුවා ගෝපාන සීස (කැණිමඬල මුදුන) පැතිපාසක මුවවිටිය. නිල්මැණික් ගඩොල් පියසිය. රුවන්මුවා පියසි පටය. රිදීමුවා කොත්ය. දිග පළලින් යොදුන් තුන්සියයක්. වටේට යොදුන් නවසියයකි. මෙබඳු වූ සුධම්මා සභාවෙහි.
ධතරට්ඨො ආදියෙහි ධතරට්ඨ නම් ගාන්ධර්ව රජ කෝටි ලක්ෂයක් ගාන්ධර්ව දේවතාවන් විසින් පිරිවරන ලදී. කෝටි ලක්ෂයක් රන්මුවා පලක ද රන් සැත් ද ගන්වාගෙන පෙරදිසායෙහි බටහිර බලා දෙ දෙව්ලොව දෙවියන් පෙරටු කොට හුන්නේ ය.
විරූළහක කුම්භණ්ඩ රජ, කෝටි ලක්ෂයක් කුම්භණ්ඩ දෙවියන් පිරිවරා කෝටි ලක්ෂයක් මිණිමුවා පලක සහ රන් සැත් ගන්වාගෙන දකුණු දිසාවෙහි උතුරු දෙස බලා දෙ දෙව්ලොව දෙවියන් පෙරටු කොට හුන්නේ ය.
විරූපක්ඛො නාගයින්ගේ නාරජ, කෝටි ලක්ෂයක් නාගයින් පිරිවරා කෝටි ලක්ෂයක් මිණිමුවා පලකද රන් සැත් ද ගන්වාගෙන පැසුළු දෙසෙහි පෙරදිග බලා දෙ දෙව්ලොව දෙවියන් පෙරටු කොට හුන්නේ ය.
වෙස්සවණො යක් රජු කෝටි ලක්ෂයක් යකුන් පිරිවරා කෝටි ලක්ෂයක් පබළු පලක ද රන්සැත් ද ගෙන්වාගෙන උතුරු දිසායෙහි දකුණ බලා දෙදෙව්ලොව දෙවියන් පෙරටු කොට හුන්නේ යයි දත යුතුය.
අථ පච්ඡා අම්හාකං ආසනං හොති ඔවුන්ට පිටුපසින් අපට හිඳගැනීමට ඉඩ ලැබුනේය. එයින් පසු පිවිසීමට හෝ බැලීමට නොහැකි විය. මෙහි රැස්වුණු කරුණ පෙර කියන ලදී. එය සතරාකාරය. වස් එළඹීම් සංග්‍රහයෙහි විස්තර වශයෙන් සඳහන් වේ. වස් එළඹෙන දිනයෙහි මෙන් මහා පවාරණ පොහොය දිනයෙහි ද රැස්ව අද කොහාට ගොස් කාගේ සමීපයෙහි පවරන්නෙමුදැයි සාකච්ඡා කරති. එහි දෙව් රජ වූ සක්‍රයා පුවඟු දිවයිනේ මහා විහාරයෙහි ම බොහෝ සෙයින් පවාරණය කරයි. සෙසු දෙවිවරු පරසතු ආදි දිවමල් ද දිව සඳුන් සුණු ද ගෙන තම තමා මනාප මනාප තැන්වලට ගොස් පවාරණය කරති. මෙසේ පවාරණ සංග්‍රහය පිණිස රැස්වෙති.
දෙව්ලොව වනාහි ආසාවතී නම් වැලක් ඇත. එය පිපෙන්නේයයි දෙවිවරු වර්ෂ දහසක් උපස්ථානයට යති. පරසතු පිපෙන කල්හි එක් වසරක් උපස්ථානයට යති. ඔවුහු එහි පඬුපලස පැහැගත් තැන් සිට සතුටු වෙති. යම්සේ කීහ.