3. මහාපරිනිබ්බාන සූත්‍ර වර්ණනාව
එවං මෙ සුතං යනුවෙන් ආරම්භ වන මහා පරිනිබ්බාණ සූත්‍රයයි. මේ එහි අනුපිළිවෙල කරන පද වර්ණනාවයි. ගිජ්ඣකූටෙ යනු එහි මුදුන්වල ගිජුලිහිණියෝ වාසය කළහ. ගිජුළිහිණියන් බඳු ස්වරූප ඇති මුදුන් ඇත්තේනුයි ගිජ්ඣකූට නම් වේ. ඒ ගිජ්ඣකූටයෙහි අභියාතුකාමො යටත් කිරීම සඳහා යනු කැමැත්තේ වජ්ජි යනු වජ්ජි රජදරුවෝ එවං මහිද්ධිකො මෙසේ මහත් වූ රාජ සෘද්ධියෙන් සමන්විත වූ මෙයින් ඔවුන්ගේ සමගි බව කීවේය. එවං මහානුභාවෙ මෙසේ මහත් වූ ආනුභාවයෙන් යුක්ත වූ - මෙයින් හස්ති ශිල්ප ආදියේ ඔවුන් ලැබූ ශික්‍ෂණය පැවසීය. යමක් සඳහා කියන ලදද, යම්තැනක වනාහි සියුම් වූ තල් සිදුරකින් කී තලයේ අග නොවදින සේ ඉලක්කයට ඊතලය විදී ද එබඳු වූ ශිල්පයක මේ ලිච්ඡවී කුමාරවරු ශික්‍ෂණය ලදහ. මනාව ශික්‍ෂණය ලදහ. උච්ඡෙජ්ජාමි යනු සිඳ දමන්නෙමි. විනාසෙස්සාමි නසන්නෙමි. නොදකින්ට සලස්වමි. අනයව්‍යසනං මෙහි අයක් නැත්තේ අනය. වර්ධනයක් නැත යන්නට නමකි. හිතසුව නැතිකරයි. අවුල් කරයි යන අර්ථයෙන් ව්‍යසන නම් වේ. නෑදැයන් හා සම්පත් විනාශවීම යන්නට සමාන වචනයකි. ආපාදෙස්සාමි පමුණුවන්නෙමි.
මෙසේ වනාහි යානාවන්හි හිඳීම් ආදියෙහි මේ යුද්ධකථාවම කියයි. ගමනට සූදානම් වව්. මෙසේ බලකායට අණකළේය. කුමක් නිසාද? ගංගානම් ගඟ ආශ්‍රිත එක් පටුන් ගමකට අයත් අඩයොදුනක ප්‍රමාණයේ අජාසත් රජුගේ අණසකය. අඩයොදුනක් ලිච්ඡවී රජවරුන්ගේය. මෙහි වනාහි අණ පවතින තැනය යන අර්ථයි. එහිද පර්වත පාදයෙන් බොහෝ වටිනා සුවඳ බඩු මතුවෙයි. ඒ අසා අද යමි. හෙට යමියි අජාත සත්තගේ පිරිස සූදානම් වෙද්දී ලිච්ඡවී රජවරු සමගිව සතුටුව පළමුව ගොස් සියල්ල ගනිත්. අජාසත් පසුව අවුත් ඒ පුවත දැනගෙන කිපී යයි. ඔවුහු නැවතත් වර්ෂයක්ම එසේ කරත්. ඉක්බිති ඔහු බලවත් ලෙස කෝපයට පත්වූයේ එවිට මෙසේ කළේය.
ඉක්බිති මෙසේ සිතීය. කණ්ඩායමක් සමග යුද්ධකිරීම අපහසුය. එකද හිස් ප්‍රහාරයක් නො වන්නේ ය. පණ්ඩිතයකු සමග සාකච්ඡාකොට කරන්නේ නම් නිෂ්ඵල නො වන්නේ ය. ශාස්තෲන් වහන්සේට සමාන පණ්ඩිතයෙන් නම් නැත. ශාස්තෲන් වහන්සේ ද නුදුරු ධුර විහාරයෙහි වැඩවසයි. මම දැන් කෙනෙක් යවා විමසන්නෙමි. ඉදින් මගේ ගමනින් අර්ථයක් වන්නේ නම් ශාස්තෲන් වහන්සේ නිහඬ වන සේක. රජුගේ එහි යාමෙන් අනර්ථයක් වන්නේ නම් රජුගේ එහි යාමෙන් කවර ප්‍රයෝජනයක්දැයි අසයි. මෙසේ සිතා වස්සකාර බ්‍රාහ්මණයාව යැවීය. බ්‍රාහ්මණයා එහි ගොස් භාග්‍යවතුන් වහන්සේට ඒ බව සැළ කළේය. ඒ නිසා කියන ලදි. ඉක්බිති රජු -පෙ- වජ්ජීන් විනාශ කරන්නෙමි යි
භගවන්තං විජමානො ආනන්ද තෙරුන් වහන්සේ වතාවත් ලෙස භාග්‍යවතුන් වහන්සේට පවන්සලයි. භාග්‍යවතුන් වහන්සේට සීතක් හෝ උණුසුමක් නැත. භාග්‍යවතුන් වහන්සේ බ්‍රාහ්මණයාගේ වචන අසා ඔහු අමතා තෙරුන් සමග කථා කරනු කැමැත්තේ කින්ති තෙ ආනන්‍දසුතං යනාදිය කීය. අභිණ්හං සන්නිපාතා දවසට තුන්වරක් රැස්වන්නාහු අතරින් පතර රැස්වන්නාහුද නිතර රැස්වීම නම් වේ. සන්නිපාත බහුලා ඊයේ ද රැස්වූයෙමු. කලින් දවසේද රැස්වූයෙමු. නැවත කුමකට අද රැස්වෙමුදැයි අවසානයකට නොපැමිණෙන්නාහු සන්නිපාත බහුල නම් වෙති. යාවකීව ඤව යම්පමණ කාලයක්. ‘වුද්ධියෙව ආනන්‍ද වජ්ජිනං පාටිකංඛා’ නො පරිහානි නිතර රැස්නොවන්නාහු දිශා අනුදිශාවලින් ආවා වූ පණිවිඩ නොඅසත්. එයින් අසවල් ග්‍රාමසීමාවේ හෝ නියම්ගම් සීමාවේ හෝ අවුල් සහගතය. අසවල් තැන සොරු නැගී සිටිත් යැයි නොදනිත්. සොරු ද රජවරුන් ප්‍රමාදයැයි දැනගෙන ගම්නියම්ගම් පහරමින් ජනපද විනාශ කරත්. මෙසේ රජවරුන්ගේ පිරිහීම ඇතිවෙයි. නිරන්තරයෙන් රැස්වන්නාහු ඒ ඒ පුවත අසත්. ඉක්බිති බලසේනා යවා සතුරු මර්දනය කරත්. රජවරු ප්‍රමාද නැත. අපට කණ්ඩායම් වශයෙන් හැසිරෙන්නට නොහැක කියා සොරු බිඳී පළායත්. මෙසේ රජවරුන්ගේ දියුණුවක් ඇතිවේ. ඒ නිසා කියන ලදි. වුද්ධියෙව ආනන්‍ද වජ්ජීනං පාටිකංඛා නො පරිහානී ති ‘ආනන්දය, වජ්ජීන්ගේ අභිවෘද්ධියට බලාපොරොත්තු විය යුතුයි. පරිහානිය නොවේ. එහි පාටිකංඛා යනු බලාපොරොත්තු විය යුතුය. අවශ්‍යයෙන්ම වන්නේ යැයි මෙසේ දතයුතුයි යන අර්ථයි.
සමග්ගා ආදියෙහි රැස්වීමේ අණබෙරය නිකුත් වූ කල්හි, අද මට කටයුත්තක් ඇත. අඳ මංගල්‍යයක් ඇත කියා ප්‍රතික්‍ෂේප කරමින් සමගිව රැස් නොවෙත්. බෙරහඬ අසාම අනුභව කරන්නාහුද, සැරසෙන්නාහුද වස්ත්‍ර අඳින්නාහු නමුත් අඩක් අනුභව කර, අඩක් සැරසී ඇඳුම් අඳමින්ම රැස්වන්නාහු සමගියෙන් රැස්වෙත් නම් වේ. රැස්වූවාහු ද සිතාමතා කළයුත්තක් කොට එකටම නො නැගිටින්නාහු සමගියෙන් නැගිට යන්නාහු නොවෙත්. මෙසේ නැගිට යනකල්හි යමෙක් පළමුව යත්ද ඔවුන්ට මෙසේ සිතේ. අප විසින් බාහිර කතාවන් අසන ලදි. දැන් විනිශ්චය කථාව නො වන්නේ ය. එකට නැගිටින්නාහු වනාහි සමගියෙන් නැගිටිත් නම් වේ. තවද අසවල් තැන්වල ග්‍රාමසීමාව හෝ නියම්ගම් සීමාව හෝ අවුල් සහගතය. සොරු හෝ බලවත්ව නැගී සිටිත්දැයි අසා කවරෙක් ගොස් මේ සතුරු මර්දනය කරන්නේදැයි කී කල්හි මම පළමුව යමි. මම පළමුව යමි කියා යන්නාහු සගියෙන් නැගී සිටිත් නම් වේ. එකෙකුගේ කටයුතු කර්මාන්ත පහත වැටෙන කල්හි ඉතිරි රජවරු දරුවන් සහෝදරයින් යවා ඔහුගේ කර්මාන්තයන්ට පිහිට වන්නාහු ආගන්තුක රජවරුන්ගෙන් අසවලාගේ ගෙට යන්න. අසවලාගේ ගෙට යන්න යැයි නොකියා සියල්ලෝම එකතුව උපකාර කරන්නාහු ද එකකුගේ මංගල්‍යයකදී හෝ අසනීපයකදී හේ අනික් එබඳු දුකක් සැපක් ඇතිවූ කල්හි සියල්ලෝම එහි සමගිව එකට යන්නාහු සමගිව වජ්ජීන් විසින් කළයුතු දේ කරත් නම් වේ.