දැන් ඒ කාරණය ප්රකාශ කරමින් ‘යස්මිං ආනන්ද සමයෙ (ආනන්දය! යම්කලෙකදී) ආදිය කීය. එහි සබ්බ නිමිත්තානං රූප නිමිති ආදිය. එකච්චානං වේදනානං ලෞකික වේදනාවන්ගේ. තස්මාතිහ ආනන්ද යම් හෙයකින් මේ ඵලසමාපත්ති වාසයෙන් අපහසුතාවයක් නොවෙයි. ඒ නිසා නුඹලාට ඒ සඳහා මෙසේ වාසය කරව්යැයි දක්වයි. අත්තදීපා මහා සමුද්රය මැද දිවයිනක් මෙන් තමාව දීපයක්, පිහිටක් කොට වාසය කරව්. අත්තසරණා තමාම පිහිට කරගන්න. අනුන් පිහිට කර නොගන්න. ධම්මදීප - ධම්මසරණ යන පදවලදී ද මේ ක්රමයමයි. තමතග්ගෙ ඔහුව උසස් තැන්හි - මැද ‘ත’ කාරය පද සන්ධි කිරීම සඳහා කියන ලදි. මෙය සඳහා ඇත. මොව්හු අග්රතමයෝය. අග්ගතම යන තන්හි ‘තම’ යෙදීම සිඳ දමා ආනන්දය! ඔව්හු අතිශයින් අග්ර ස්ථානයෙහි උත්තම වූ ස්ථානයෙහි සිටිත්. ඔවුන්ගේ අතිශයින්ම අග්ර ස්ථානයෙහි වන්නාහ. යම් ඒ ශික්ෂාකාමීහු වෙත්ද ඒ සියල්ලන් අතර අතර සතර සතිපට්ඨානයට නැඹුරු වූ භික්ෂුව අග්ර වන්නේය. රහත්බව කුළුගැන්වීමෙන් දේශනාව සංග්රහ කෙරේ.
දෙවන බණවර වර්ණනාව නිමියේ ය.
වෙසාලියං පිණ්ඩාය පාවිසි යනු කවදා පිවිසියේ ද? උතු වේලාවෙන් නික්ම විශාලාවට ගිය කල්හි, භාග්යවතුන් වහන්සේ වනාහි වසන ලද වස් ඇත්තේ බේළුව ගමින් නික්ම සැවැත්නුවරට යන්නෙමියි පැමිණි මගින්ම ආපසු හැරී පිළිවෙලින් සැවැත්නුවරට පැමිණ දෙව්රම් වෙහෙරට වැඩි සේක. ධර්මසේනාපතීන් වහන්සේ වනාහි භාග්යවතුන් වහන්සේට වත් දක්වා දිවා විහාරස්ථානයට ගියේ එහි අතවැසි භික්ෂූන් වත් දක්වා නික්මගිය කල්හි දිවා විහාරය ඇමද සම්කඩ අතුරා පා සෝදා පළඟක් බැඳ ඵලසමාපත්තියට පිවිසියේය. ඉක්බිති අනුපිළිවෙලින් එයින් නැගීසිටියහුට මෙසේ සිතිණ. පළමුවෙන් පිරිනිවන්පාන්නේ අග්රශ්රාවකයන් වහන්සේලාද? බුදුරජාණන් වහන්සේද ඉක්බිති අග්රශ්රාවකයන් වහන්සේලා පළමුවයැයි දැන තමාගේ ආයු සංස්කාරය බැලීය. හෙතෙම දින සතකින් තමාගේ ආයු සංස්කාරය වන්නේ යැයි දැන කවර ස්ථානයක පිරිනිවන් පාන්නෙම්දැයි බැලීය. ඉක්බිති රාහුල තෙරුන් වහන්සේ තව්තිසාවේ පිරිනිවන්පෑවේය. අඤ්ඤාකොණ්ඩඤ්ඤ තෙරුන්වහන්සේ ඡද්දන්ත විලේ පිරිනිවන් පෑවේය. මම කොහේ පිරිනිවන් පාන්නෙම්දැයි නැවත සිතන්නේ මව අරමුණුකොට සිහිය පිහිටුවාලීය. මගේ මව රහතන් වහන්සේලා හත්නමකගේ මවය. නමුත් තෙරුවන් කෙරෙහි අප්රසන්නය. ඇයට හේතුවාසනාවක් ඇත්තේද නැද්ද කියා ආවර්ජනා කර බලා සෝවාන් මාර්ගයට වාසනාව ඇති බව දැන කවරකුගේ දේශනාවක් එයට හේතුවන්නේදැයි බලන්නේ අන් කෙනෙකුගේ නොව මගේම දේශනාවක් හේතු වන්නේ යැයි දැනගත්තේය. ඉදින් මම පසුබට වන්නෙම් නම් ජනයා මෙසේ කියන්නාහ. සැරියුත් තෙරුන් වහන්සේ අන් මහජනයාට උපකාරී වෙයි. යම්සේ වනාහි උන්වහන්සේගේ සමචිත්ත සූත්රාන්ත දේශනා දවසේ දී කෝටි ශත සහශ්රයක් දෙවිවරු රහත්බව ලැබූහ. තෙමගෙහි පිහිටි දෙවිවරුන්ගේ සංඛ්යාවක් නැත. වෙනත් තැන්වලදීද අනේකවූ අවබෝධ වූවන් දක්නට ලැබේ. තෙරුන් වහන්සේ කෙරෙහි සිත් පහදවා පවුල් අසූදහසක් දෙව්ලොව උපන්හ. දැන් උන්වහන්සේ තම මවගේ මිථ්යාදෘෂ්ටිය අත්හරවන්නාට නොහැකි විය. ඒ නිසා මවව මිථ්යාදෘෂ්ටියෙන් මුදවා උපන් කාමරයේම පිරිනිවන් පාන්නෙමියි තීරණය කරගෙන අදම භාග්යවතුන් වහන්සේගේ අනුමතිය ලබාගෙන නික්ම යන්නෙමියි චුන්ද තෙරුන් ඇමතීය. ඇවැත්නි, චුන්ද! ධර්මසේනාපතීන් වහන්සේ නාලක ගමට වඩිනු කැමැත්තේය. ඇවැත්නි! පාත්රා සිවුරු ගන්න යැයි අපගේ පන්සියයක් භික්ෂූන්ට දන්වන්න යැයි පැවසීය. තෙරුන් වහන්සේ එසේ කළේය. ඒ භික්ෂූහු සෙනසුන සකස්කොට දිවා විහරණය කරන ස්ථානය ඇමද එහි දොරටුවේ සිට දිවා විහාර ස්ථානය දෙස බලා මේ මාගේ අවසන් දැක්මයි. නැවත ඒමක් නැත කියා පන්සියයක් භික්ෂූන් පිරිවරා භාග්යවතුන් වහන්සේ වෙතට පැමිණ වැඳ භාග්යවතුන් වහන්සේට මෙසේ ප්රකාශ කළ සේක.