සුනිධ වස්සකාරා සුනීධය වස්සකාරය යන බමුණන් දෙදෙන. මගධ මහාමත්තා මගධ රජුගේ මහාමාත්‍යවරු මගධ රටෙහි හෝ මහාමාත්‍යවරු මහත් වූ සැප සම්පත් සමූහයකින් යුක්ත වූවාහු මගධ මහා මත්තා නම් වෙත්. පාටලී ගාමෙ නගරං පැලලුම් ගම නගරයක් කොට මවත්. වජ්ජීනං පටිබාහාය වජ්ජි රජ දරුවන්ගේ ආර්යමාර්ග සිඳ දැමීම පිණිස. සහස්ස සහස්සෙවා එක් කාණ්ඩය ලෙස දහසක් දහසක් වී. වත්‍ථූනි යනු චිත්තානි නමන්ති නිවෙසනානි මාපෙතු රජුටද රාජමහා මාත්‍යාදීණ්ටද නිවාස මවන්නට වාස්තුවිද්‍යා දන්නවුන්ගේ සිත් නැමෙත්. ඔව්හු වනාහි තමන්ගේ ශිල්ප බලයෙන් පොළව යට තිස්රියනක් පමණ තැන මෙහි නාගයන් අධිගෘහිතය. මෙහි යක්‍ෂයන් අධිගෘහිතය. මෙහි භූතයන් අධිගෘහිත පර්වතයක් හෝ කණුවක් හෝ ඇතැයි බලත්. ඔවුහු එවිට මන්ත්‍ර මතුරා දෙවියන් සමග කථා කරමින් සිටින්නාක් මෙන් පෙන්වත්. නැතහොත් ඔවුන්ට ඇඟට දෙවියන් ආරූඪ වී ඒ ඒ තැන්වල වාසස්ථාන සාදන්නට සිත් යොමුකරත්. ඔව්හු සිව්කොණෙහි කණු සිටුවා ගෙවල් සෑදූවිට ඉවත්ව යත්. ශ්‍රද්ධාවෙන් යුක්ත වූවන්ගේ ශ්‍රද්ධාවන්ත දෙවිවරු එසේ කරත්. ශ්‍රද්ධාවක් නැති අයගේ ශ්‍රද්ධාවන්ත නොවූ දෙවිවරු ද එසේ කරත්. කුමක් නිසාද? ශ්‍රද්ධාවන්ත දෙවිවරුන්ට මෙසේ සිත්වෙයි. මෙහි මිනිස්සු නිවෙස් සාදා පළමුව භික්‍ෂු සංඝයා වඩාහිඳුවා යහපත වැඩිදියුණු කරත්. ඉක්බිති අපි සිල්වතුන් දකින්නටත්, ධර්මකථා අසන්නටත්, දහම්පැණ විසඳා ගන්නටත්, පින් අනුමෝදනාව අසන්නටත් ලබන්නෙමු. මිනිස්සු දන් දී අපට පින් දෙත්.
තාවතිංසෙහි යනු යම්සේ එක් කුලයක එක් පණ්ඩිත මනුෂ්‍යයෙක් එක් විහාරය එක් බහුශ්‍රැත භික්‍ෂුවක් අරභයා අසවල් ගෙදර මිනිස්සු පණ්ඩිතයෝය. අසවල් විහාරයේ භික්‍ෂූහු බහුශ්‍රැතයෝය යන හොඳ නාමය පැතිර යයි. එපරිද්දෙන් ශක්‍ර දේවේන්ද්‍රයාත් විශ්වකර්ම දිව්‍ය පුත්‍රයාත් අරභයා තව්තිසා වැසියෝ පණ්ඩිතයෝ යැයි හඬක් ඇතිවිය. ඒ නිසා කීය තාවතිංසහී කියා. තව්තිසා වැසියන් සමග කථාකොට සාදත් යන අර්ථයි.
යාවතා අරියං ආයතනං යම්පමණ ආර්ය මිනිසුන්ට රැස්වීමට තැනක් නැත. යාවතා වණිප්පථො යම් පමණ වෙළඳුන්ට ගෙනෙන ලද බඩු එක්රැස් කර තැබීම පිණිස හෝ විකිණීමට හා මිළට ගැනීමට යනාදී ලෙස වෙළඳුන්ට වාසය කරන්නට තැනක් නැත. ඉදං අග්ගනගරං ඒ ආර්ය ආයතන, වාණිජ ව්‍යාපාර ආදියට මේ අගනුවර ප්‍රධාන ප්‍රමුඛ වන්නේය. පුටභෙදනං බඩු පොදි ලිහන තැන, බඩු මිටි බඳින තැන, බඩු මුදාහරින තැන ආදිය කියන ලදි. සියළු දඹදිව සොයාගත නොහැකි භාණ්ඩයක් වුවත් මෙහිදීම ලබාගත හැක. වෙන තැනක විකිණීමෙන් නොයන්නාහුද මෙහිම යන්නේය. කුමක් නිසා මෙහිම ගොටුව සිඳින්නේද යන අර්ථයි. දොරටු සතරෙහි සතර බැගින් මෙසේ දවස ගානේ පන් ලක්‍ෂයක් නැගිටිත් යැයි දක්වයි.
අග්ගිතොවා ආදියෙහි ‘වා’ ශබ්දය ච කාරයේ අර්ථය සඳහාය. ගින්නෙන් හෝ ජලයෙන් මිත්‍ර භේදයෙන් ද නසින්නේය යන අර්ථයි. එක් කොටසක් ගින්නෙන් ද නසින්නේය. නිවා දමන්නටත් නොහැකි වෙත්. එකක් ගංගාවට ගසාගෙන යයි. එකෙක් මොහු විසින් මොහුට නොකියන ලද මොහු විසින් නොකියන ලද්ද මොහුට යැයි කියන්නා වූ කේලාම් කීම් වශයෙන් බිඳුනා වූ මිනිසුන් ඔවුනොවුන් භේදවීමෙන් නසින්නේය යන අර්ථයි. මෙසේ කියා භාග්‍යවතුන් වහන්සේ අළුයම්කාලයේ ගංතෙරට වැඩ මුහුණ සෝදා පිණ්ඩපාතයේ වඩින වේලාව එනතෙක් බලාසිටි සේක.
සුනීධ වස්සකාරද අපගේ රජතෙමේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ උපස්ථායකයෙකි. ඔහු අපගෙන් විමසයි. ශාස්තෲන් වහන්සේ වනාහි පාටලීගමට වැඩියේය. උන්වහන්සේ සමීපයට පැමිණියෙමුයි කීකල්හි ආරාධනා කළහුද නැද්ද කියා අසන්නේය. ආරාධනා කළේ නැතැයි කීකල්හි අපට දෝෂාරෝපණය කොට නින්දා කරන්නේ ය. මෙයද වනාහි අපි පැමිණි තැන නගරයක් මවමු. ශ්‍රමණ ගෞතමයන් වහන්සේට ගිය ගිය තැන්වල අවාසනාවන්ත සත්ත්වයෝ නික්ම යත්. අපි නගරයට ගෙවදීමේ මංගල්‍යය නියම කරගන්නෙමුයි සිතා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ ආරාධනා කළහ. ඒ නිසා ‘සුනීධ වස්සකාරාදිය’ කියන ලදි.