2. මහානිදාන සූත්‍ර වර්ණනාව
එවං මෙසුතං -පෙ- කුරුසු යනුවෙන් ආරම්භ වන මහා නිදානයයි. මේ එහි ගැඹුරු පද වර්ණනාවයි. කුරු නම් ජනපද වැසි රාජකුමාරවරු ඔවුන්ගේ වාසස්ථානය එකම ජනපදයකි. ආරෝපණය කළ ශබ්දයාගේ අර්ථයෙන් ‘කුරුසු’ කියා (කුරු ජනපදවල) කියනු ලැබේ. ඒ කුරු ජනපදවල අටුවාචාරීන් වහන්සේලා මෙසේ කීහ. මහා මන්‍ධාතු රජ කාලයේ දිවයින් තුනේ ජනයා, දඹදිව නම් බුදු පසේ බුදු මහා ශ්‍රාවක චක්‍රවර්තී රජුන්ටත් උත්තම පුරුෂයන්ටත් උත්පත්ති ස්ථාන වූ උතුම් දිවයිනක් යැයි ද එය අති රමණීය යැයි ද අසා චක්‍රරත්නය පෙරටු කොටගෙන දිවයින් සතරෙහි ඇවිදින්නා වූ මහා මන්ධාතු සක්විති රජතුමා සමග ආවාහ. ඉක්බිති රජු පරිනායක රත්නය ගැන ඇසුවේය. මනුෂ්‍ය ලෝකයට වඩා රමණීය තැනක් ඇත්තේ ද? දේවයන් වහන්ස! කුමක් නිසා මෙසේ කියන්නේද? ඉරහඳ දෙකේ ආනුභාවය නොදකින්නෙහිද? මොවුන්ගේ තැන මෙයට වඩා රමණීයතර නොවන්නේ ද? රජු චක්‍රරත්නය පෙරටුකොට එහි ගියේය. සතරවරම් මහ රජවරු මන්ධාතු මහරජතුමා ආවේ යැයි අසාම රජු මහානුභාව සම්පන්නය. මහා සෘද්ධි ඇත්තේය. මේ රජු යුද්ධයෙන් පරාජය කළනොහැක. තමන්ගේ රාජ්‍යය පවරා දුන්හ. ඔහු එයද ගෙන නැවත විචාළේය. මීට වඩා රමණීය තැනක් තිබේද?
ඉක්බිති ඔහුට තාවතිංස භවනය ගැන කීහ. දේවයන් වහන්ස, තව්තිසා දෙව්ලොව රමණීයයි. සතරවරම් රජදරුවෝ එහි ශක්‍ර දේවේන්ද්‍රයාගේ පරිචාරකයෝ වෙති. දොරටුව ළඟ සිටිත්. සක්දෙව් රජු මහා සෘද්ධි ඇත්තේය. මහානුභාව ඇත්තේය. මේ ඔහුගේ උපභෝග ස්ථානයන්ය. වෛජයන්ත ප්‍රාසාදය ස්ථානයන්ය. වෛජයන්ත ප්‍රාසාදය යොදුන් දහසක් උසය. සුධර්මා දේව සභාව යොදුන් පන්සියයක් උසය. වෛජයන්ත රථය යොදුන් එකසිය පනහකි. එසේම ඓරාවණ හස්තියා දිව්‍යමය වෘක්‍ෂයන් දහසකින් සැරසීගත් නන්දන වනය, චිත්තලතා වනය, ඵාරුසක වනය, මිස්සක වනය, යොදුන් සියයක් උසය. පරසතු රුක යට යොදුන් සැටක් දිග යොදුන් පනහක් පළල යොදුන් පහළොවක් පළල, ජයසුමන මල්වල වර්ණයට සමාන පඬුපුල් අස්න. එහි මොළොක් බව නිසා හිඳගත්තා වූ ශක්‍රයාගේ සිරුරෙන් හරි අඩක් ගිලෙයි.
එය අසා රජු එහි යනු කැමැත්තේ චක්‍රරත්නය එසවීය. එය අහෙසහි නැගී සිටියේය. චතුරංගනී සේනාව සමග දෙදෙව්ලොවට මැදින් චක්‍රරත්නය බැස පරිනායක රත්නය ප්‍රමුඛ සිව්රඟ සෙනඟ සමග පොළවෙහි පිහිටියේය. රජු හුදෙකලාව තව්තිසා භවනයට ගියේය. ශක්‍රයා මහා මන්‍ධාතු ආවේයැයි අසාම ඔහුට පෙරගමන්කොට, මහරජතුමනි, සුබ ගමන්. මහරජතුමනි! අනුශාසනා කරන්න යැයි කියා නළුවන් සමග රාජ්‍යය දෙකට බෙදා එක් කොටසක් දුන්නේය. රජු තාවතිංස භවනයෙහි පා තැබූ විගසම ඔහුගේ මනුෂ්‍යාත්ම භාවය ඉවත්විය. දේවත්වයක් පහළ විය. ශක්‍රයා සමග පඬුපුල්සල අස්නෙහි හුන්නා වූ රජුට ඇසිපිය හෙළන වේලාවකින් විවිධත්වයක් පෙනෙයි. එය නොසළකා හැරිය දෙවිවරු ශක්‍රයාගේත් ඔහුගේත් වෙනසෙහි මුළාවෙත්. හෙතෙම එහි දිව්‍ය සම්පත්තිය අනුභව කරමින් යම්තාක් ශක්‍රයන් තිස්හය දෙනෙක් ඉපිද ච්‍යුතව ගියාහු ද ඒ තාක් ශක්‍රරාජ්‍යය කොට කාම වස්තූන්හි තෘප්තියක් නොලබා එයින් ච්‍යුතව තමන්ගේ උයනට වැටුනේ වායුවෙන් හා අව්වෙන් පීඩාවට පත්වූයේ මිය ගියේය.
චක්‍රරත්නය නැවත පොළවෙහි පිහිටියේ පරිනායක රත්නය රන් තහඩුවක මන්‍ධාතු රජුගේ පාවහන් යැයි ලියවා, මේ මන්ධාතු රාජ්‍යයයි රජකළේය. දිවයින් තුනෙන් ආවා වූ ජනයා නැවත ආපසු යන්නට අපොහොසත් වූවාහු පරිනායක රත්නය ළඟට පැමිණ දේවයන් වහන්ස! අපි රජුගේ ආනුභාවයෙන් පැමිණියෙමු. දැන් ආපසු යන්නට නොහැක්කෙමු. අපට වාසය කරන්නට තැනක් දෙන්නයැයි ඉල්වා සිටියහ. හෙතෙම ඔවුන්ට එක එක ජනපද දුන්නේය. එහි පූර්ව විදේහයෙන් ආවා වූ ජනයා විසින් වාසය කරන ලද ප්‍රදේශය එම පෙර නමින්ම විදේහ රට යැයි නම ලැබුවේය. අපර ගොයානයෙන් ආවා වූ මනුෂ්‍යයන් වාසය කළ ප්‍රදේශය අපරන්ත ජනපදයයි නම් ලැබීය. උතුරුකුරු දිවයිනෙන් පැමිණි මිනිසුන් වාසය කළ ප්‍රදේශය කුරු රට යයි නම් ලැබීය. බොහොමයක් ගම් නියම්ගම් ආදිය බහුවචනයෙන් ව්‍යවහාර කරත්. ඒ නිසා කියන ලදි - කුරූසු විහරති.
කම්මාස්සධම්මං නාම කුරූනං නිගමො - කම්මාස්ස ධම්මං යන මෙහි, කෙනෙක් ‘ධ’ කාරයට ‘ද’ කාරයෙන් අර්ථ දක්වත්. කම්මාසයාව මෙහිදී දමනය කළ නිසා කම්මාසදම්ම වී කම්මාසො යන්නෙන් කබර සහිත පා ඇති පෝරිසාදයා ගැනේ. ඔහුගේ වනාහි පාදයෙහි උලක් ඇනීමෙන් හටගත් වනය සුවවීමේදී සිතියම් කළ ලීයන් මෙන් වී සුව විය. ඒ නිසා කම්මාසපාද (කබරපාද) යැයි හැඳින්වූහ. ඔහුද ඒ අවස්ථාවේදී දමනය කරන ලද්දේ පෝරිසාද යන නමින් නිදහස් විය. කවරනම් මහා සත්ත්වයකු විසින් කවරනම් ජාතකයදී ද? මහාසුතසෝම ජාතකයේදී යැයි කෙනෙක් කියති. සමහර තෙරවරු ජයද්දිස ජාතකයේදී යැයි කියත්. එකල්හි වනාහි මහා සත්ත්වයන් විසින් කම්මාසපාදව දමනය කරන ලදි. යම්සේ කීවේද?