චක්‍රරත්නය නැවත පොළවෙහි පිහිටියේ පරිනායක රත්නය රන් තහඩුවක මන්‍ධාතු රජුගේ පාවහන් යැයි ලියවා, මේ මන්ධාතු රාජ්‍යයයි රජකළේය. දිවයින් තුනෙන් ආවා වූ ජනයා නැවත ආපසු යන්නට අපොහොසත් වූවාහු පරිනායක රත්නය ළඟට පැමිණ දේවයන් වහන්ස! අපි රජුගේ ආනුභාවයෙන් පැමිණියෙමු. දැන් ආපසු යන්නට නොහැක්කෙමු. අපට වාසය කරන්නට තැනක් දෙන්නයැයි ඉල්වා සිටියහ. හෙතෙම ඔවුන්ට එක එක ජනපද දුන්නේය. එහි පූර්ව විදේහයෙන් ආවා වූ ජනයා විසින් වාසය කරන ලද ප්‍රදේශය එම පෙර නමින්ම විදේහ රට යැයි නම ලැබුවේය. අපර ගොයානයෙන් ආවා වූ මනුෂ්‍යයන් වාසය කළ ප්‍රදේශය අපරන්ත ජනපදයයි නම් ලැබීය. උතුරුකුරු දිවයිනෙන් පැමිණි මිනිසුන් වාසය කළ ප්‍රදේශය කුරු රට යයි නම් ලැබීය. බොහොමයක් ගම් නියම්ගම් ආදිය බහුවචනයෙන් ව්‍යවහාර කරත්. ඒ නිසා කියන ලදි - කුරූසු විහරති.
කම්මාස්සධම්මං නාම කුරූනං නිගමො - කම්මාස්ස ධම්මං යන මෙහි, කෙනෙක් ‘ධ’ කාරයට ‘ද’ කාරයෙන් අර්ථ දක්වත්. කම්මාසයාව මෙහිදී දමනය කළ නිසා කම්මාසදම්ම වී කම්මාසො යන්නෙන් කබර සහිත පා ඇති පෝරිසාදයා ගැනේ. ඔහුගේ වනාහි පාදයෙහි උලක් ඇනීමෙන් හටගත් වනය සුවවීමේදී සිතියම් කළ ලීයන් මෙන් වී සුව විය. ඒ නිසා කම්මාසපාද (කබරපාද) යැයි හැඳින්වූහ. ඔහුද ඒ අවස්ථාවේදී දමනය කරන ලද්දේ පෝරිසාද යන නමින් නිදහස් විය. කවරනම් මහා සත්ත්වයකු විසින් කවරනම් ජාතකයදී ද? මහාසුතසෝම ජාතකයේදී යැයි කෙනෙක් කියති. සමහර තෙරවරු ජයද්දිස ජාතකයේදී යැයි කියත්. එකල්හි වනාහි මහා සත්ත්වයන් විසින් කම්මාසපාදව දමනය කරන ලදි. යම්සේ කීවේද?
යම්කලෙක පංචාල රටේ අධිපති ජයද්දිස රජුගේ පුත්‍රයා වීමි. ප්‍රාණය හැර පියාව මුදවා ගත්තෙමි. මම කම්මාස ජනයාවද සතුටු කළෙමි.
ඇතැමෙක් ‘ධ’ කාරයෙන්ම අර්ථය වර්ණනා කරත්. කුරුරට වැසියන්ගේ වනාහි කුරුවතාවත්, එහි හටගත් මිශ්‍ර පැහැය. ඒ නිසා ඒ ස්ථානය කම්මාස නම් වී. මෙහි ධර්මයෙහි හටගත් නිසා කම්මාසධම්ම යැයි කියනු ලැබේ. එහි පදංචි වූ නියම්ගමටද එම නාමයම ලැබින. භූමිය යන වචනයෙන් කුමක් නිසා නොකියන ලද ද? වාසය කරන්නට ඉඩක් නොලත් බැවින්, භාග්‍යවතුන් වහන්සේට වනාහි ඒ නියම්ගමෙහි වැඩසිටින්නට ඉඩකඩ ඇති කිසිම විහාරයක් නොවීය. ඒ නියම්ගමින් බැහැරව වෙනත් ජලපහසුකම් ඇති රමණීය වූ භූමිභාගයක විශාල වනරොදක් විය. භාග්‍යවතුන් වහන්සේ ඒ ගම ගොදුරුගම කොට එහි වැඩසිටියේය. ඒ නිසා මෙසේ මෙහි අර්ථය දතයුතුයි. කුරුසු විහරති කම්මාස්සධම්මං නාම කුරුනං නිගමො. කුරුන්ගේ නියම්ගමක් වූ කම්මාස්ස ධම්මයෙහි වැඩවසයි. එය ගොදුරුගම කොට යැයි අර්ථ ගතයුතුයි.
ආයස්මා මේ ප්‍රියවචනයකි. මේ ගරුකළයුතු වචනයකි. ආනන්‍දො යනු ඒ තෙරුන්ගේ නමය. එකමන්තං මෙය භාව නපුංසක නිර්දේශයකි. ඉරහඳ දෙක විෂම ලෙස පරිහරණය කරත්’ යනාදියෙහි මෙනි. ඒ නිසා යම්සේ එකත්පසෙක සිටියේද එපරිද්දෙන් හිඳියි කියා මෙහි අර්ථ ගතයුතුයි. මෙය භූමි අර්ථයෙහි උපයෝග වචනයකි. නිසීදි යනු වාඩිවිය. පණ්ඩිතයෝ වනාහි ගරුකළයුතු තැනකට පැමිණ වාඩිවීමේ කුසලතාවයෙන් එකත්පසෙක හිඳගනිත්. මෙයද ඔවුන්ගේ අනිකකි. ඒ නිසා එකත්පසෙක හුන්නේය.
කෙසේ හිඳගතහොත් එකත්පසෙක හිඳගත්තේ යැයි කියන්නේද? වාඩිවීමේ දොස් සයක් අත්හැර ඒ කෙසේද? බොහෝ දුර, බොහෝ ළඟ, උඩ, පහත් තැන. කෙලින්ම අබියසව - බොහෝ පිටුපස යනුවෙනි.
බොහෝ දුර සිටියාහු ඉදින් කතා කරනු කැමැත්තේ නම් උස්හඬින් කථා කළයුතුයි. ඉතා ළඟින් සිටියහු ගැටීම් ඇතිවෙයි. උඩින් සිටියහු ශරීර ගන්ධයෙන් බාධා ඇතිවෙයි. උස්තැනක සිටියහු අගෞරවයක් ප්‍රකාශ කරයි. බොහෝ ළඟ සිටියහු ඉදින් දකිනු කැමැත්තේ වෙයිද ඇසින් ඇස ගැටී දැකිය යුතුයි. බොහෝ පිටුපසින් සිටියේ ඉදින් දකිනු කැමැත්තේ වෙයිද බෙල්ල දිගුකර දැකිය යුතුයි. ඒ නිසා මොහුද තුන්වරක් භාග්‍යවතුන් වහන්සේම ප්‍රදක්‍ෂිණා කර මනාව වැඳ මේ හිඳගැනීමේ දොස් හය අත්හැර දකුණු දණමඬලට ඉදිරිපස ෂට්වර්ණ බුද්ධරශ්මිය තුළට පිවිස පැහැදිලි ලාක්‍ෂා රසයක් තවරාගන්නාක් මෙන් රුවන් පටක් පොරවන්නාක් මෙන් රතුපුල් මල්මාලා වියනක් මැදට පිවිසෙන්නාක් මෙන් ධර්ම භාණ්ඩාගාරික ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේ වැඩ සිටියේය. ඒ නිසා එකත්පසෙක සිටියේයැයි කියන ලදි.