1. මහාපදාන සුත්ත වර්ණනාව
එවම්මෙසුතං -පෙ- කරෙරිකුටිකාය යනුවෙන් ආරම්භ වන මහාපදාන සූත්‍රයයි. මේ එහි අපූර්ව වූ පද වර්ණනාවයි. කරෙරිකුටිකාය යන්නෙහි කරෙරි යනු ලුණුවරණ ගසට නමකි. කරෙරි මණ්ඩපය ඒ කුටියෙහි දොරටුව ළඟ පිහිටියේය. ඒ නිසා කරෙරු කුටිකා යැයි කියනු ලැබේ. යම්සේ කොසඹ රුක් අබියස පිහිටි බැවින් කොසම්බකුටිකා යැයි කියන්නාක් මෙනි. දෙව්රම් වෙහෙරෙහි වනාහි කරෙරි කුටිය, කොසම්බ කුටිය, ගන්‍ධකුටිය, සලළ ගෘහය කියා මහා ගෘහ සතරක් ඇත. ඒ එකිනෙක ගෘහය ශතසහස්‍ර ගණන් ධන පරිත්‍යාගයෙන් ගොඩනගන ලදි. ඒවා අතරින් සලළ ඝරය වනාහි පසේනදී කොසොල් රජු විසින් කරවන ලදි. ඉතිරි එ්වා අනේපිඬු ගෘහපතියා විසින් කරවන ලදි. මෙසේ භාග්‍යවතුන් වහන්සේ අනේපිඬු ගෘහපතියා විසින් ටැම් මත කරවන ලද, දිව්‍ය විමානයක් බඳු කරෙරි කුටියෙහි වැඩ වසයි. පච්ඡා භත්තං යනු ඒකාසනිකාංගය සමාදන් වූ අලුයම වළඳන ඇත්තාට මධ්‍යාහ්න ආහාරය පච්ඡා භත්ත වේ. මෙහි වනාහි ස්වාභාවික ආහාර වේලට පසුව යන අදහස ගැනේ. පිණ්ඩපාත පටික්කන්තානං පිණ්ඩපාතයෙන් ඉවත් වූ ඇත්තන්ට, බත්කිස නිමවා නැගිට සිටිය ඇත්තන්ට යන අර්ථයි.
කරෙරි මණ්ඩල මාලෙ යනු එම කරෙරි මණ්ඩපයේම අසලින් කරන ලද හිඳිනා ශාලාවෙහි. ඒ කරේරි මණ්ඩපය වනාහි ගඳකිළියටත් ශාලාවටත් අතරෙහි පිහිටියේය. ඒ නිසා ගඳකිළියද කරෙරි කුටිකා යැයි ද ශාලාව කරෙරි මණ්ඩල මාලය යැයිද කියනු ලැබේ. පුබ්බෙනිවාස පටිසංයුත්තා යනු එක් ජාතියක් ජාති දෙකක් ආදී ලෙස පෙර වසන ලද ස්කන්ධ සංඛ්‍යාත පෙර විසූ ආත්මභාවයන් සමග යෙදී පැවතියා වූ ධම්මී ධර්මයෙන් යුක්ත වූ.
උදපාදි යනු අහෝ පුදුමයි. බුදුරජාණන් වහන්සේගේ පෙර විසූ ආත්මභාවයන් දැනගැනීමේ නුවණ පුදුමය. පෙර විසූ කඳපිළිවෙල කවරෙක් නම් සිහි කරන්නේද? කවරෙක් නම් සිහි නොකරන්නේද? තීර්තකයෝ සිහිකරති. ශ්‍රාවකයෝත් පසේබුදුවරයන් වහන්සේලාත් බුදුරජාණන් වහන්සේලාත් සිහි කරත්. කවරනම් තීර්ථකයෝ සිහිකරත්ද? යම් ඒ කර්මවාදී වූ අගතැන්පත් වූවාහු ද කල්ප හතලිහක් සිහිකරත්. ශ්‍රාවකයන් වහන්සේලා කල්ප ශතසහස්‍රයක් සිහිකරත්. අගසව් දෙදෙනා වහන්සේ අසංඛෙය්‍ය වූ කල්ප ශත සහස්‍රයක් සිහිකරත්. පසේබුදුවරයන් වහන්සේලා කල්ප ශතසහස්‍ර අසංඛ්‍ය දෙකක්ද සිහිකරත්. බුදුවරයන් වහන්සේලාට මෙපමණයැයි සීමාවක් නැත. යම්තාක් කැමැති වෙත්ද ඒතාක් සිහි කරත්.
යම් ඒ අගතැන්පත් කර්මවාදී තීර්ථකයෝ වෙත්ද ඔවුහු කඳපිළිවෙලින් සිහිකරත්. පිළිවෙල සිඳ දමා නොහැකි වෙත්. පිළිවෙලින් සිහිකරන්නාහු නමුත් අසඤ්ඤභාවයට පැමිණ ස්කන්ධ පැවැත්ම නොදකිත්. දැලෙහි බැඳුනු පක්‍ෂීන් මෙනි. මොට වූවන් මෙන් කොරුන් මෙන් වෙත්. ඔවුහු එහි සිට මෙය පමණයි. මින් එහා නැත යන දෘෂ්ටිය ගනිත්. මෙසේ තීර්ථකයන් පෙරවිසූ කඳපිළිවෙල සිහිකිරීම වනාහි අන්ධයාගේ කණවැල අල්ලාගෙන යාම වැනිය. යම්සේ අන්ධයෝ සැරයටිය අග අල්වා ගත්තවුන් ඇතිකල්හි යත්. නැතිකල්හි එහිම හිඳිත්. මෙපරිද්දෙන් තීර්ථකයෝ කඳපිළිවෙලින් සිහිකරන්නට හැකිවෙත්. පිළිවෙල හැර නොහැකි වෙත්.
ශ්‍රාවකයෝ ද කඳපිළිවෙලින් සිහිකරත්. අසඤ්ඤ භවයට පැමිණ ස්කන්ධයන්ගේ පැවැත්ම නොදකිත්. මෙසේ ඇතිකල්හිද සසර සැරිසරන සත්ත්වයන්ගේ ස්කන්ධයක් නොමැති කාලයක්ද නැත. අසඤ්ඤ භවයෙහි වනාහි කල්ප පන්සියයක් පවතීයැයි එපමණ කාලයක් ඉක්මවා බුදුවරයන් වහන්සේලා විසින් දෙන ලද ක්‍රමයෙහි පිහිටා එයින් එහි සිහිකරත්. යම්සේ ආයුෂ්මත් ඝොසිත තෙරුන් මෙනි. අගසව් දෙනමද පසේබුදුරයන් වහන්සේලා ද චුති ප්‍රතිසන්ධි බල බලා සිහිකරත්. බුදුවරයන් වහන්සේලාට චුති, ප්‍රතිසන්ධි දෙකම නැත. යම් යම් ස්ථානයක් දකිනු කැමැතිද ඒ ඒ දේම දකිත්.
තීර්ථකයෝ ද පෙර අත්බැව් සිහිකරන්නාහු තමා විසින් දකින ලද අසන ලද කරන ලද දෙයම සිහිකරත්. ශ්‍රාවකයෝද එසේම වෙත්. පසේබුදුවරයන් වහන්සේලාත්, බුදුවරයන් වහන්සේලාත් තමන් විසින් හෝ අනුන් විසින් දකින ලද අසන ලද කරන ලද සියල්ලම සිහිකරත්.
තීර්ථකයන්ගේ පෙර විසූ අත්බැව් දැනීමේ නුවණ කදෝපැණියකුගේ ආලෝකය බඳුය. ශ්‍රාවකයන්ගේ වනාහි ප්‍රදීපයක ආලෝකය බඳුය. අග්‍ර ශ්‍රාවකයන්ගේ වනාහි ඕෂධී තාරකාවගේ ආලෝකය මෙනි. පසේබුදුවරයන් වහන්සේලාගේ වනාහි චන්ද්‍රයාගේ ආලෝකය වැනිය. බුදුවරයන් වහන්සේලාගේ වනාහි සරත් කාලයේ සූර්යයාගේ ආලෝකය බඳුය. උන්වහන්සේලාට මෙපමණ ජාති සියය ජාති දහසක් ජාති ලක්‍ෂයක් හෝ කල්ප සියයක් කල්ප දහසක් කල්ප ලක්‍ෂයක් කියා නැත. යමක් සිහි කරන්නේ ද එහි පැකිලීමක් හෝ ගැටීමක් නැත. ආවර්ජනය හා බැඳුනේම වන්නේ ය. කැමැත්ත, මෙනෙහි කිරීම හා සිතිවිල්ල පහළවීම හා බැඳී පවතී. දුබල පරඬලාවක හෙළන ලද රත්වූ යකඩයක් මෙන් සිනේරු පර්වතයෙහි විදින ලද වජ්‍රයක් මෙන් නොරැඳී ගමන් කරයි. අහෝ! බුදුවරයන් වහන්සේගේ පෙර විසූ කඳපිළිවෙල දන්නා නුවණ පුදුම සහගතය. මහත්ය. මෙසේ බුදුරජාණන් වහන්සේ අරබයා උපන්, පැවති යන අර්ථයි. ඒ සියල්ල ද ලුහුඩින් දක්වන්නට මෙයද පෙරවිසූ අයුරුය. මෙයද පෙරවිසූ අයුරුය යන්න පමණක් පෙළෙහි දක්වන ලදි. එහි මෙසේය.