ආනන්ද තෙරුන් වහන්සේ නිහඬව සිටියේය. ඉක්බිති භික්‍ෂූහු උන්වහන්සේට මෙසේ පැවසූහ. ඇවැත්නි! භික්‍ෂු සංඝයා උපස්ථායක තනතුර ඉල්ලා සිටිති. ඔබද ඉල්ලුම් කරන්න යැයි කීහ. උන්වහන්සේ මෙසේ පැවසූහ. ඇවැත්නි, ඉල්වා ලබාගන්නා ලද තනතුර කෙබඳු වන්නේද? කිම! ශාස්තෲන් වහන්සේට මා නොපෙනේද? ඉදින් මා කැමැති නම් ආනන්දය! මට උපස්ථාන කරන්න යැයි වදාරන්නේය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මහණෙනි! අන්‍යයන් විසින් ආනන්දයන් උනන්දු කරවිය යුත්තේ නොවේ. තෙමේම දැනගෙන මා හට උවටැන් කරන්නේ යැයි වදාළ සේක. ඉක්බිති භික්‍ෂූහු ඇවැත්නි, ආනන්දය, නැගී සිටින්න. ආනන්දය, දශබලධාරීන් වහන්සේගේ උපස්ථාන තනතුර ඉල්වන්න යැයි කීහ. තෙරුන් වහන්සේ නැගිට පිළිකෙව් සතරකුත් ඉල්ලීම් සතරකුත් යන වර අටක් ඉල්ලා සිටියේය.
සතර පිළිකෙව් මොනවාද? ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් ලබන ලද ප්‍රණීත වූ සිවුරු මට නොදිය යුතුයි. පිණ්ඩපාතය මට නොදිය යුතුයි. එකම ගඳකිළියේ වාසය නොකළ යුතුයි. ආරාධනා භාරගෙන යායුතු නැත. මෙසේ නම් මම භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කරන්නෙමියි කියූවිට, කිම ආනන්දය, ඔබ මෙහිදී යම් ආදීනවයක් දුටුවේදැයි ඇසීය. ස්වාමීනි! ඉදින් මම මේ ලාභයන් ලබන්නෙම් නම් ආනන්ද තෙරුන් බුදුරජාණන් වහන්සේට ලැබුණු වටිනා සිවුරු පරිභෝග කරයි. පිණ්ඩපාතය වළඳයි. එකට ගඳකිළියේ වාසය කරයි. එකම ආරාධනාවට දානය සඳහා වඩියි. මේ ලාභ ලැබෙන නිසා බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරයි කියා කියන්නෝ ඇතිවන්නාහ. මෙසේ උපස්ථාන කිරීම කෙසේ නම් කරදරයක්ද? මේ නිසා මේ පිළිකෙව් සතර ඉල්ලා සිටියෙමි.
සතරවැදෑරුම් ඉල්ලීම් කවරේද? ඉදින් ස්වාමීනි! භාග්‍යවතුන් වහන්සේ මා විසින් ගන්නා ලද ආරාධනයකට වඩීද, ඉදින් මම රට හරහා ජනපද හරහා භාග්‍යවතුන් වහන්සේව දැකීමට ආ ජනයාට පැමිණිවිටම භාග්‍යවතුන් වහන්සේව මුණගස්වන්නට හැකිවෙමි. යම්විටක මට සැකයක් පහළවන්නේද ඒ මොහොතේම භාග්‍යවතුන් වහන්සේ ළඟට යාමට හැකිවෙමි. එසේම මා නැති තැනක භාග්‍යවතුන් වහන්සේ යම් ධර්මයක් දේශනා කළ සේක්ද, ආපසු වැඩියවිට මට නැවත දේශනා කරයි. මෙසේ මම භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කරමි.
කිම ආනන්ද, ඔබ මෙහි ආනිශංස දකින්නෙහිදැයි විචාර කල්හි මෙසේ පැවසීය. මෙහිදී ස්වාමීනි! ශ්‍රද්ධාවන්ත කුලපුත්‍රයෝ භාග්‍යවතුන් වහන්සේ හමුවීමට අවකාශයක් නොලැබ මට මෙසේ කියත්. ආනන්ද හිමියනි! හෙට භාග්‍යවතුන් වහන්සේ සමග අපගේ නිවසෙහි දානය වළඳන්න කියා. ඉදින් භාග්‍යවතුන් වහන්සේ එහි නොවඩීද සිතූ වේලාවේම පිරිස දකින්නට, සැක දුරුකර ගන්නට අවස්ථාවක් නොලබමි. එවිට භාග්‍යවතුන් වහන්සේ තමන්ට උපකාර කරන ආනන්ද හිමියන්ට මෙතරම් වූ උපකාරයක් නොකරන්නේ යැයි කියන්නෝ ඇතිවන්නාහ.
භාග්‍යවතුන් වහන්සේ නැති තැන්වලදී මගෙන් මෙසේ විචාරත්. ඇවැත්නි, ආනන්ද, මේ ගාථාව, මේ සූත්‍රය මේ ජාතකය කවර තැනකදී දේශනා කරන ලද්දේ ද? ඉදින් මම ඒවාට පිළිතුරු නොදෙන්නේ නම් මෙසේ කියන්නෝ ඇති වෙත්. ඇවැත්නි, කිම ඔබ නොදන්නෙහිද? කවර හෙයකින් ඔබ සෙවනැල්ලක් මෙන් භාග්‍යවතුන් වහන්සේව අත් නොහැර බොහෝකලක් හැසුරුනෙහිය. ඒ නිසා මා නැති තැන දේශනා කළ ධර්මය නැවත අසනු කැමැත්තෙමි. මේ ඉල්ලීම් සතර ඉල්ලා සිටියෙමි. භාග්‍යවතුන් වහන්සේද ඒවා ඔහුට ලබාදුන් සේක.
මෙසේ මේ වර අට ගෙන නිරන්තර උපස්ථායකයා විය. මේ තනතුර සඳහාම කල්ප ශතසහස්‍රයක් පුරණ ලද පෙරුම් සඵලත්වයට පත්විය. මේ මොහුගේ ස්ථිර උපස්ථායක බව සඳහා ‘මහණෙනි, දැන් ආනන්ද භික්‍ෂුව මාගේ උපස්ථායකයා අග්‍ර උපස්ථායකයා’ යැයි වදාළ සේක. මේ උපට්ඨාන පරිච්ඡේදයයි.
පිතු පරිච්ඡේදය කියන ලද අර්ථ ඇත්තේම ය.
විහාරං පාවිසි යන්නෙහි කුමක් නිසා පිවිසියේද? භාග්‍යවතුන් වහන්සේ වනාහි මෙපමණක් කියා මෙසේ සිතීය. මා විසින් සත්බුදුවරයන් වහන්සේලාගේ වංසකථාව නිරන්තරයෙන් මස්තකප්‍රාප්ත කොට කියන ලද්දේ නොවෙයි. අද මා විහාරයට පිවිසි අවස්ථාවේදී මේ භික්‍ෂූහු බොහෝසෙයින් පෙරවිසූ ජීවිත දන්නා නුවණ පිළිබඳව වර්ණනා කරත්. ඉක්බිති මම අවුත් නිරන්තරයෙන් බුද්ධවංසය කියා මස්තකප්‍රාප්තකොට දක්වන්නෙමියි භික්‍ෂූන්ට කථාවට ඉඩ සලසා අසුනෙන් නැගිට විහාරයට වැඩි සේක.
භාග්‍යවතුන් වහන්සේ යම් මේ පෙළ වදාළේද එහි කල්ප පරිච්ඡේදය, ජාති පරිච්ඡේදය, ගෝත්‍ර පරිච්ඡේදය, ආයු පරිච්ඡේදය, බෝධි පරිච්ඡේදය, සාවක යුග පරිච්ඡේදය, සාවක සන්නිපාත පරිච්ඡේදය, උපට්ඨාක භික්‍ෂු පරිච්ඡේදය, ප්‍රීති පරිච්ඡේදය යන නව වාරයක් ආයේය. සම්බහුල වාරය ආවේ නැත. එය අධ්‍යාහාරකොට වනාහි දැක්විය යුතුය.