එහි ඉතිරූපං යනු මේ රූපය - මෙපමණක් රූපය - මෙයින් උඩට රූපයක් නැත යන වෙනස්වන ස්වභාවය නිසාම මහාභූත දැඩිව ගැනීම ආදී භේද මුල්කොට ලක්ඛණ - ලකුණ - රස - රසය පච්චුපට්ඨාන වැටහීම - පදට්ඨාන - ආසන්න කාරණය ආදී වශයෙන් සියලු රූපයන් ගැනීම කියන ලදි. ඉති රූපස්ස සමුදයො යනු මෙයින්, මෙසේ ගන්නා ලද රූපයේ හටගැනීම පිළිබඳ විදර්ශනාව කියන ලදි. එහි ඉති යනු මෙසේ හටගැනීම වන්නේය යන අර්ථයි. එහි විස්තරය අවිද්‍යාව හටගැනීමෙන් රූප හටගැනීමත්, තණ්හාව ඇතිවීමෙන් රූප හටගැනීමත්, කර්ම හටගැනීමෙන් රූප හටගැනීමත් ආහාර හටගැනීමෙන් රූප හටගැනීමත් යන ලෙස උපතට හේතුව දකින්නේද රූප ස්කන්ධයාගේ හටගැනීම දකීනුයි මෙසේ දතයුතුයි. විනාශයට යාමේදී අවිජ්ජාව නැතිවීමෙන් රූප නිරෝධය වේ. -පෙ- වෙනස්වන ලක්‍ෂණ දකින්නේ රූපස්කන්ධයාගේ නිරෝධය දකින්නේය. මේ විස්තරයයි.
ඉතිවෙදනා යනු ආදියෙහි මේ වේදනාව, මෙපමණක් වේදනාව මෙයින් උඩට වේදනාවක් නැත. මේ සඤ්ඤාවයි. මේ සංස්කාරයෝය. මේ විඤ්ඤාණයයි. මෙපමණක් විඤ්ඤාණය. මෙයින් උඩට විඤ්ඤාණයක් නැතය යන දැනගන්නා ලද හඳුනා ගන්නා, කර්ම රැස්කරගන්නා, දැනගැනීමේ ස්වභාවය සැපය ආදී රූප සඤ්ඤාවන්, ස්පර්ශය, චක්ඛු විඤ්ඤාණය ආදී භේදයන්ද මුල්කොට ලක්ඛණ රස පච්චුපට්ඨාන පදට්ඨාන වශයෙන් සියලුම වේදනා, සඤ්ඤා - සංඛාර විඤ්ඤාණ සමූහය කියන ලදි.
ඉති වෙදනා සමුදයො ආදියෙන් වනාහි මෙසේ අල්ලාගන්නා ලද වේදනාවන්ගේ සඤ්ඤා සංඛාර විඤ්ඤාණ ලක්‍ෂණයන් කියන ලදි. සමුදය දර්ශනය කියන ලදි. එහි ද ඉති යනු මෙසේ සමුදය (හටගැනීම) වන්නේය යන අර්ථයි. ඒවායේ ද විස්තර අවිජ්ජාව හටගැනීමෙන් වේදනා හටගනී යැයි රූපයෙහි කියන ලද ආකාරයෙන්ම දතයුතුය. මෙය වනාහි විශේෂයයි. ස්කන්ධ තුනක ආහාර සමුදයෙන් යැයි නොකියා ඵස්ස සමුදයා (ස්පර්ශය හටගැනීමෙන්) යැයි කිවයුතුයි. විඤ්ඤාණ ස්කන්ධයෙහි නාමරූප හටගැනීමෙන් කියා අර්ථ ගැනීමට අවශ්‍ය පදය ද යෙදිය යුතුයි. මේ මෙහි කෙටි අර්ථයි. විස්තර වශයෙන් හටගැනීම හා විනාශය පිළිබඳ විනිශ්චය සියලු ආකාරයෙන් පරිපූර්ණව විශුද්ධි මාර්ගයෙහි කියන ලදි.
තස්ස පඤ්චා සුපාදානක්ඛන්‍ධෙසු උදයද්වායානු පස්සිනො විහරතො ඒ විපස්සී බුදුන්ගේ මේ රූපාදී පංච උපාදාන ස්කන්ධයන්හි සමප්‍රඥා, සලක්‍ෂණ වශයෙන් හටගැනීම හා අභාවය බලමින් වාසය කරන්නහුගේ පිළිවෙලින් වැඩුණු විදර්ශනා ඥානය නැවත නූපදවීමෙන්, නිරෝධයෙන් නැතිව යන්නා වූ ආශ්‍රව සංඛ්‍යාත වූ කෙලෙස් දැඩිව නොගෙනම සිත මිදුනේය. ඒ මෙය මාර්ගක්‍ෂණයෙහි මිදෙයි නම් වේ. එලක්‍ෂණයෙහි මිදුනු නම් වේ. මිදෙයි. එලක්‍ෂණයෙහි මිදුනු.
මෙපමණකින් මහා පුරුෂයෝ සියළු බැඳීම්වලින් මිදුනේ සූර්යරශ්මිය වැදුනු පියුමක් මනාව පිපුණාක් මෙන් මනාව පිපුණු චිත්ත සන්තාන ඇත්තේ චාතුර්මාර්ග සත්‍යයන්ද චතුර් ඵලඥානයන් ද පටිසම්භිදා සතරද සිව්යෝනි පිළිසිඳ දැනගැනීමේ නුවණ ද පංචගති වෙන්කර දැනගැනීමේ නුවණ ද සයවැදෑරුම් අසාධාරණ ඤාණයන් ද සියළු බුදුගුණයන් අත්පත් කරගෙන සම්පූර්ණ වූ බලාපොරොත්තු ඇත්තේ බෝමැඩ හුන්නේ.
ගෙය සාදන්නා වූ තැනැත්තාව සොයමින් සොයාගත නොහැකිව අනන්ත වූ ආත්ම ගණනාවක් සසර ඇවිද්දෙමි. පුනර්භවය නම් වූ ජාතිය දුකය.
ගෙය සාදන්නා දුටුවෙහිය. නැවත ගෙය නොකරන්නෙහිය. සියළු පරාළ ආදී උපකරණ බිඳ දමන ලදි. කැණිමඬල විනාශ කරන ලදි. ලෞකිකත්වයෙන් වෙන් වූ සිත තණ්හාවේ ක්‍ෂය බවට පත්කළේය.
යකඩ මුගුරකින් පහරකන ලද්දහු ගිනිජාලාවෙන් දැවුනහු මෙන් පිළිවෙලින් උපශාන්ත වූවහුගේ ගතියක් නොපෙනේ.