විපස්සී බෝධිසත්ත්වයෝද ඒ පෙරනිමිති දැක දැන් අනතුරු ආත්මභාවයෙහි බුදුවන්නෙමියි බිය වූයේ නැත. ඉක්බිති ඔහුට ඒ නිමිති පහළ වූ කල්හි දසදහසක් දෙව්ලොවවල දෙවියෝ රැස්වී, ස්වාමීනි, දසපාරමිතාවන් පුරන්නා වූ ඔබවහන්සේ විසින් ශක්ර සම්පත්තිය හෝ මාර සම්පත්තිය හෝ බ්රහ්ම සම්පත්තිය හෝ චක්රවර්ති සම්පත්තිය ප්රාර්ථනා කරමින් පුරණ ලද්දේ නොවේ. ලෝක සත්ත්වයාව සසරින් එතෙර කිරීමේ අදහසින් බුදුබවම ප්රාර්ථනා කළ සේක. උතුමාණනි! මේ දැන් එයට සුදුසු කාලයයි. උතුමාණෙනි, එයට දැන් කාලයයි.
ඉක්බිති මහා සත්ත්වයන් වහන්සේ ඒ දෙවියන්ට පොරොන්දුවක් නොදීම කාලය, දීපය, කුලය, මාතාව, ආයු කාලය වශයෙන් පස්මහ බැලුම් බැලුයේය. එහිදී සුදුසු කාලය ද නැද්ද කියා පළමුව කාලය බැලුවේය. එහි වර්ෂ ශත සහස්රයක් දක්වා වැඩුනු ආයු කාලය කාලය නම් නොවේ. කුමක් නිසාද? එකල්හි වනාහි සත්ත්වයන්ට ජාති, ජරා, මරණ නොවැටහෙයි. බුදුවරයන්ගේ ධර්මය වනාහි ත්රි ලක්ෂණයෙන් යුක්ත වූයේය. ඒ ජනයාට අනිත්ය, දුක්ඛ, අනාත්ම යැයි බණ දෙසනවිට මේ කුමක් කියන්නේ දැයි අසන්නට හෝ විශ්වාස කරන්නට නො සිතත්. එයින් ධර්මාවබෝධයක් සිදුවන්නේ නැත. එසේ ඇතිකල්හි ශාසනය නෛර්යාණික නොවේ. ඒ නිසා එය නුසුදුසු කාලයයි. වර්ෂ සියයකට අඩු ආයු කාලයද කාලය නොවේ. කුමක් නිසාද? එකල්හි සත්ත්වයෝ උත්සන්න වූ කෙලෙස් ඇත්තෝ වෙත්. උත්සන්න වූ කෙලෙස් ඇත්තන්ට දෙන ලද අවවාදය අවවාදයක් ලෙස නොපිහිටයි. ජලයෙහි දඬු සමූහයක් මෙන් වහා ඉවත්ව යයි. ඒ නිසා එයද අකාලයයි. ශතසහස්රයේ පටන් යටත්පිරිසෙයින් වර්ෂ සියයේ පටන් ඉහළ ආයු කාලය කාල නම් වේ. එකල්හිද මනුෂ්යයෝ අසූදහසක් ආයු ඇත්තෝය. ඉක්බිති මහාසත්ත්වයෝ ඉපදිය යුතු කාලය බැලීය.
අනතුරුව දීපය (රට) බලන්නේ සපිරිවරින් දිවයින් සතර බලා එයින් දිවයින් තුනක බුදුවරු නූපදිත්. දඹදිව ම උපදින්නාහයි දීපය බැලීය.
ඉක්බිති දීපය නම් විශාලය. යොදුන් දසදහසක ප්රමාණයයි. කවරනම් ප්රදේශයක බුදුවරු උපදිත්දැයි දේශය ගැන බලන්නේ මධ්යදේශය බැලීය. මැදුම් දේශය වනාහි පූර්වදිශාවෙන් කජංගල නම් නියම්ගමය යනාදී ලෙස විනයෙහි කියන ලදි. එම ප්රදේශය දිගින් යොදුන් තුන්සියයකි. පළලින් යොදුන් දෙසියපනහකි. හාත්පසින් යොදුන් නවසියයකි. මේ ප්රදේශයේ වනාහි බුදුවරු, පසේබුදුවරු, අගසව්වෝ, අසූමහා ශ්රාවකයෝ, සක්විති රජ ද අන්ය වූ මහේශාක්ය ක්ෂත්රිය, බ්රාහ්මණ, ගෘහපති, මහාසාල ඇත්තෝ උපදිත්. මෙහි වනාහි බන්ධුමතී නම් නගරයයි. මා එහි ඉපදිය යුතු යයි තීරණය කළේය.
අනතුරුව කුලය ගැන බලන්නේ, බුදුවරු වනාහි ලෝකසම්මත කුලයක උපදින්නාහ. දැන් ද ක්ෂත්රිය කුලය ලෝක සම්මතය. එහි උපදින්නෙමි. බන්ධුමා නම් රජු මාගේ පියා වන්නේ යැයි කුලය බැලීය.
ඉක්බිති මව ගැන බලන්නේ, බුද්ධ මාතාව නම් ලොල්බැවින් සුරාවට ගිජු වූ කෙනෙක් නොවේ. කල්ප ශත සහස්රයක පටන් පුරන ලද පාරමී ඇත්තී උපතේ පටන් නොසිඳි සිල් ඇත්තීය. මේ බන්ධුමතී නම් දේවිය ද මෙබඳුය. මැය මාගේ මව වන්නීය. ඇගේ වයස කොපමණ වන්නේ දැයි ආවර්ජනා කොට බලන්නේ මාස දහයකුත් දවස් සතක් බව දුටුවේය.