තවද අපගේ භාග්‍යවතුන් වහන්සේගේ වනාහි සහජාත පරිච්ඡේදයක් හා නැකැත් පරිච්ඡේදයක් ද දැක්වූහ. සර්වඥ බෝධිසත්ත්වයන් සමග වනාහි රාහුල මාතාවත් ආනන්ද තෙරුන්, ඡන්න, කන්ථක, ධන නිධාන, මහාබෝධිය, කාළුදායී යන මේ සප්ත සහජාත වස්තූන්ද මහා පුරුෂයෝ වනාහි උතුරුසළ නැකතින් මව්කුසට පිවිසියේය. මහාබිනික්මන කළේය. දම්සක් පැවැත්වූහ. යමකප්‍රාතිහාර්ය දැක්වූහ. විශාඛ නැකතින් උපන්නේය. බුදු වූයේය. පිරිනිවන් පෑවේය. මාඝ නැකතින් උන්වහන්සේගේ ශ්‍රාවක සන්නිපාතය සිදුවිය. ආයු සංස්කාර කිරීමද සිදුවිය. අස්විද නැකතින් දේවාරෝහණයද යන මෙපමණක් කරුණු ගෙනහැර දැක්විය යුතුයි. මේ සම්බහුල පරිච්ඡේදය යි.
දැන් ඉක්බිති ඒ භික්ෂූන්ට ආදියෙහි ඒ භික්ෂූහු ඇවැත්නි! පුබ්බෙනිවාසය නම් වූ මේ ගතිය චුතියේ පටන් ප්රතිසන්ධිය දක්වා යම් මේ පිළිසිඳ ගැනීමේ පටන් ආපස්සට නුවණ මෙහෙයවා චුතිය ගත්තේය. මේ ඉතා බැරෑරුම් වූ මෙය අහසෙහි පිය දක්වන්නාක් මෙන් භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කළේ යැයි අතිශයින් පුදුම වී (අච්ඡරියං ආවුසො) ඇවැත්නි, පුදුමයි. ආදිය කියා නැවත තවත් කාරණයක් දක්වමින් යම්තැනක වනාහි තථාගතයන් වහන්සේ ආදිය පැවසූහ.
එහි යත්‍රහි නාමා යනු ආශ්චර්ය අර්ථයෙහි නිපාතයකි. යමෙක් නම් තථාගතයන් වහන්සේය යන අර්ථයි. ඡින්නපපංචෙ යනු මෙහි පපංච නම් තණ්හා, මාන, දිට්ඨි යන කෙලෙස් තුනයි. ඡින්නවටුමෙ යනු මෙහි වටුම යනු කුසල් කුසලකර්ම රාශිය යන අර්ථයි. පරියාදින්න වට්ටෙ යනු එයටම සමාන වචනයකි. හාත්පසින් මඩනා ලද සියළු කර්ම සමූහය යන අර්ථයි. සබ්බ දුක්ඛ විතිවත්තෙ යනු සියළු කර්මවිපාක සමූහ සංඛ්‍යාත දුක ඉක්මවූ කල්හි අනුස්සරිස්සති මෙය යම්තැනක නිපාත වශයෙන් අනාගත වචනයි. මෙහි අර්ථය වනාහි අතීත ලෙස ගතයුතුයි. භාග්‍යවතුන් වහන්සේ ඒ බුදුවරුන් සිහිකළේය. දැන් සිහිකරන්නේ නැත. එවං සීලා මාර්ග ශීලයෙන්, ඵල ශීලයෙන්, ලෞකික ලෝකෝත්තර ශීලයෙන් මෙබඳු සිල් ඇති. එවං ධම්මා යනු මෙහි සමාධි පාක්ෂික ධර්මයෝ අදහස් කරන ලදහ. මාර්ග සමාධියෙන්, ඵල සමාධියෙන්, ලෞකික ලෝකෝත්තර සමාධියෙන් මෙසේ සමාධියෙන් යන අර්ථයි. එවං පඤ්ඤා යනු මාර්ග ප්‍රඥාදී වශයෙන් මෙබඳු ප්‍රඥා ඇති. එවං විහාරි මෙහි වනාහි පහත සමාධි පාක්ෂික ධර්මයන් ගත් බැවින් වාසය (විහාරො) ගන්නා ලදි. නැවත කුමක් නිසා ගත් දෙය නැවත ගන්නා ලද්දේ ද? මෙය ගන්නා ලද්දේ නොවේ. මෙය වනාහි නිරෝධ සමාපත්තිය දැක්වීම පිණිස කියන ලදි. මේ නිසා මෙසේ නිරෝධ සමාපත්ති විහාරී වූ ඒ බුදුවරු වූහ යැයි මෙහි අර්ථ දතයුතුයි.
එවං විමුත්තා යනු මෙහි විෂ්ඛම්භන විමුක්තිය, තදංග විමුක්තිය, සමුච්ඡේද විමුක්තිය, පටිප්පස්සද්ධි විමුක්තිය, නිස්සරණ විමුක්තිය කියා විමුක්ති පස් ආකාරය. එහි අෂ්ට සමාපත්ති තමා මැඩපවත්වන ලද නීවරණ ආදියෙන් මිදුණු බැවින් වික්ඛම්භන විමුක්ති යැයි සැකයට පත්වෙත්. අනිච්චානුපස්සනා ආදී වූ සප්ත අනුපස්සනා ඒ ඒ විරුද්ධ අංග වශයෙන් අත්හැර දමන ලද නිත්‍ය සඤ්ඤාදියෙන් මිදුණු බැවින් තදංග විමුක්තිය යැයි සැක කරත්. ආර්ය මාර්ග සතර තථා මුලිනුපුටා දමන ලද කෙලෙස්වලින් මිදුණු බැවින් සමුච්ඡේද විමුක්තිය කියා සැකයට පත්වෙති. සාමඤ්ඤඵල සතර මාර්ගානුභාවයෙන් කෙලෙසුන් සංසිඳුනු බව උපන් බැවින් සංසිඳුනු විමුක්තිය යයි සැක කරත්. නිර්වාණය සියළු කෙලෙසුන්ගෙන් තොර බැවින්, පහව ගිය බැවින්, දුරු වූ බැවින් නිස්සරණ විමුක්තිය කියා සැකයට පත්වෙයි. මෙසේ මේ පස්වැදෑරුම් විමුක්ති වශයෙන් මෙසේ මිදුනේ යැයි මෙහි අර්ථ දතයුතුයි.
පටිසල්ලාන වුට්ඨිතො යනු එකතු වී නැගී සිටිය බැවින්
ඉතො සො භික්ඛවෙ යනු කවර නම් ගැලපීමක් ද? මේ සූත්‍රය වනාහි, මහණෙනි, තථාගතයන් වහන්සේ විසින් මේ ධර්මධාතුව මනාව අවබෝධ කරගන්නා ලදි. දෙවියෝ ද තථාගතයන් වහන්සේට මේ කාරණය දන්වා සිටියහ යන මේ දෙපදයන් හා බැඳී පවතී. එහිදී දෙවියන් විසින් දන්වා සිටිය දෙය සූත්‍රාන්ත දේශනාව අවසානයේ දේව චාරිකාව පිළිබඳ ඝෝෂාව දක්වමින් විචාරන්නේය. ධර්මධාතුව වනාහි පදයන්ගේ සන්ධි ගැලපීම් වශයෙන් මේ දේශනාව ආරම්භ කරන ලදි. එහි ‘ජාතියෙන් ක්ෂත්රියයෙක්ය’ යනාදිය එකොළොස් පදයක් නිදාන කාණ්ඩයෙහි කියන ලද ආකාරයෙන්ම දතයුතුයි.
‘ඉක්බිති මහණෙනි, විපස්සී බෝධිසත්ත්වයන් වහන්සේ’ යනාදියෙහි වනාහි විපස්සී යනු උන්වහන්සේගේ නමය. එයද විවිධ අර්ථයන්හි යෙදිය හැකි බැවින් ලබන ලදි. බෝධිසත්ත්වයන් යනු පණ්ඩිත සත්ත්වයෙකි. අවබෝධ කරගත හැකි සත්ත්වයෙකි. බෝධි සංඛ්‍යාත වූ සිව්මගෙහි යෙදුනේ, ඇලුනේ නුයි බෝධිසත්ව නම් වෙයි. සතො සම්පජානො යන මෙහි ‘සතො’ යනු සිහියයි. සම්පජානො යනු නුවණයි. සිහිය මනාව පිහිටුවා නුවණින් පිරිසිඳ දැන මව්කුසට වඳීය යන අර්ථයි. ඔක්කමී යනු මෙයින් ඔහුගේ මව්කුසට එළඹීම පෙළෙහි දක්වන ලදී. බසින ක්‍රමය නොවේ. එය වනාහි යම්හෙයකින් අට්ඨකථාවට නගන ලද්දේ ද ඒ නිසා මෙසේ දතයුතුයි.
සියලු බෝධිසත්ත්වවරු සමතිස් පාරමිතාවන් පුරා පස්මහා පරිත්‍යාගයන් කොට, ඤාතීන්ගේ අභිවෘද්ධිය සඳහා ලෝකයාගේ අභිවෘද්ධිය සඳහාය යන බුද්ධි චර්යාවන්ගේ පරතෙරට ගොස් වෙස්සන්තර සමාන තුන්වන ආත්මභාවයේ සිට සප්තමහා දානයන් දී සත්වරක් මහපොළොව කම්පාවී කලුරිය කොට දෙවන චිත්ත වාරයෙහි තුසිත පුරයෙහි උපදිත්. විපස්සී බෝධිසත්ත්වයන් වහන්සේ ද එසේම කොට තුසිත පුරයෙහි ඉපිද හැටදහසක් අධිකකොට ඇති පනස්හත් කෝටියක් වර්ෂ එහි සිටියේය. වෙනත් කලක වනාහි දීඝායුක දෙව්ලොව උපන්නාහු දිවි ඇති තෙක් නොසිටිත්. කුමක් හෙයින්ද? එහි පාරමිතාවන් පිරීමට නොහැකි බැවිනි. ඔව්හු අධිමුත්ති කාලක්‍රියාව කොට මිනිස් පියසෙහිම උපදින්නාහ. පාරමිතාවන් පුරමින් දැන් එකම ආත්මභාවයකින් සර්වඥතා බවට පත්වීමට හැකිවෙත්. මෙසේ සර්වප්රකාරයෙන් පරිපූර්ණ බැවින් එකල්හි විපස්සී බෝධිසත්ත්වයන් වහන්සේ එහි දිවි ඇතිතෙක් වැඩි සිටියේය.