9. පොට්ඨපාද සූත්‍ර වර්ණනාව
එවං මෙ සුතං -පෙ- සාවත්‍ථියං යනු පොට්ඨපාද සූත්‍රයයි. මේ එහි අපූර්වපද වර්ණනාවයි.
සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ සැවැත්නුවර නිසා ජේත කුමරුගේ වනයෙහි අනාථ පිණ්ඩික ගෘහපතියා විසින් ආරාමයක් කරවන ලදි. එහි වාසය කරන සේක. පොට්ඨපාදො පරිබ්බාජකො නමින් පොට්ඨපාද නම් ඡන්න පරිබ්‍රාජකයා ඔහු වනාහි ගිහිකල බ්‍රාහ්මණ මහාසාරයෙකි. කාමයන්හි ආදීනව දැක සතළිස් කෙළක් පමණ භෝග රාශිය අත්හැර පැවිදිව තීර්ථකයන්ගේ ගණාචාර්ය විය. සමය මෙහි කියත්නුයි සමයප්පවාදකො. මේ ස්ථානයෙහි චංකිතාරුක්ඛ, පොක්ඛරසාති ආදීන්ගේ පටන් බ්‍රාහ්මණයෝ නිගණ්ඨයෝ අචේලක පරිබ්‍රාජක ආදීහු පැවිදි වූවෝ එක්රැස්ව තම තමාගේ සමය ගැන කියති. කථා කරති. විස්තර කරති. ඒ නිසා ඒ ආරාමය සමයප්පවාදක යයි කියනු ලැබේ. තින්දුකාවීර සංඛ්‍යාත වූ තිඹිරි රුක් පෙලකින් වටවූ බැවින් තින්‍දුකාවීරො මෙහි පළමුවෙන් එකම ශාලාවක් වූ හෙයින් මහා පුණ්‍ය පරිබ්‍රාජකයා නිසා පසුව බොහෝ ශාලා කරවන ලදි. ඒ නිසා ඒ එකම ශාලාව නිසා ලැබුණු නම වශයෙන් ඒකසාලක යයි කියනු ලැබේ. ප්‍රසේනජිත් කෝසල රජුගේ දේවිය වූ මල්ලිකාවගේ උයන වූ මෙය මල්පලයෙන් යුතු ආරාමය මල්ලිකාගේ ආරාමයයි ප්‍රසිද්ධියට ගියේය. ඒ නිසා සමයප්පවාදකෙ තින්‍දුකාවීරෙ එකසාලකෙ මල්ලකාය ආරාමෙ
පටිවසති විසීම් පහසුව නිසා වාසය කරන සේක. ඉක්බිති එක් දවසක් භාග්‍යවතුන් වහන්සේ අලුයම් වේලෙහි සර්වඥතා ඥානය පතුරුවා ලෝකය දෙස බලන සේක් ඥාන ජාලය තුළට පැමිණි පරිබ්‍රාජකයා දැක ‘මේ පොට්ඨපාද මාගේ ඥාන ජාලයෙහි පෙනේ. කුමක් වන්නේදැයි පරීක්‍ෂාකො බලන සේක් ‘මම අද එහි යන්නෙමි. එවිට පොට්ඨපාද මාගෙන් නිරෝධයද නිරෝධයෙන් නැගී සිටීමද අසන්නේය. මම ඔහුට සියලු බුදුවරුන්ගේ ඥානය සමග සසඳා ඒ දෙකම කියන්නෙමි. දවස් කිහිපයක ඇවෑමෙන් චිත්තහත්‍ථි සාරිපුත්ත රැගෙන මා සමීපයට එන්නේය. මම ඔවුන්ට දහම් දෙසන්නෙමි. දේශනාව අවසන පොට්ඨපාද මා සරණ යන්නේය. හත්‍ති සාරිපුත්ත චිත්ත මා සමීපයෙහි පැවිදිව රහත්බවට පැමිණෙන්නේ යයි දුටු සේක.
ඉන්පසු උදෑසන සිරුරු පිළිදැගුම් කොට සුරත් දෙපට සිවුර හැඳ විදුලිය වන් කාබහන බැඳ යුගඳුරු පව්ව වටකොට සිටි වැසි වලාකුළක් බඳු මේවන් පසුල් සිවුර ඒකාංශකොට අලුත් සෙල්වූවා පාත්‍රය වම් උරහිස එල්ලාගෙන සැවැත්නුවර පිඬු පිණිස පිවිසෙන්නෙමියි හිමවත් පාමුලින් එන සිංහයකු මෙන් විහාරයෙන් නික්මුණු සේක. මේ අර්ථය සඳහා ‘අථෙඛො භගවා’ ආදිය කීය.
එතදහොසි නුවර දොර සමීපයට ගොස් තමාට රිසි පරිදි සූර්යයා දෙස බලා කල්වැඩි බවම දැක මෙසේ සිතිණ. යන්නූනාහං සැකය ප්‍රකාශ කෙරෙන නිපාතයකි. බුදුවරුන්ට සැකයක් නම් නැත. මෙය කරන්නෙමි. මෙය නොකරන්නෙමි. මොහුට ධර්මය දේශනා කරන්නෙමි. මොහුට ධර්මය දේශනා නොකරන්නෙමියි මෙසේ විතර්කයක් පූර්වභාගයෙහි සියලු බුදුවරුන්ට ලැබේ. එහෙයින් කීය. යන්නූනාහං යනුවෙන් ඉදින් මම යන අර්ථයි.
උන්නාදිනියා උස්හඬ නගන. මෙසේ හඬනගන අයගේ උඩින් ගමන් කිරීම් වශයෙන් උච්ච නමි. දිශාවන්හි පැතිරීම් වශයෙන් මහා ශබ්ද වේ. උස්හඬ පැතිරුණු හඬ ඇති බැවින් උච්චාසද්ද මහාසද්ද වේ. ඒ පරිබ්‍රාජකයන්ට උදෑසන නැගිට කළයුතු සෑවත් හෝ බෝමළුවත් හෝ ආචාර්ය උපාධ්‍යායවත් හෝ යෝනිසෝ මනසිකාරයක් හෝ නැත. ඒ නිසා ඔවුහු උදෑසනම නැගිට ළාහිරු රැසෙහි හුන්නාහු මොහුගේ අත ලස්සනය. මොහු පා ලස්සනය. මෙසේ ඔවුනොවුන්ගේ අත්පා හෝ අරබයා ස්ත්‍රීපුරුෂ දාරක දාරිකාවන්ගේ ගුණ හෝ අනික් කාමාස්වාද උපදවා අනුපිළිවෙලින් රාජකථා ආදී අනේකවිධ වූ තිරිසන් කථා කියත්. එහෙයින් කියන ලදි. උන්නාදිනියා උච්චාසද්ද මහා සද්දාය අනෙක විහිතං තිරච්ඡාන කථං කථෙන්තියා යනුවෙන්.