10. සුභ සූත්‍ර වර්ණනාව
එවං මෙසුතං යනු සුභ සූත්‍රයයි. මේ එහි ගැඹුරුපද වර්ණනාවයි. අචිර පරිනිබ්බුතෙ පිරිනිවනින් නොබෝ කලකින්. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන්පෑ කල්හි පරිනිර්වාණයට මසකින් පමණ පසුකාලයෙහි නිදාන වර්ණනාවෙහි කියන ලද ක්‍රමයෙන් භාග්‍යවතුන් වහන්සේගේ පාසිවුරුගෙන පැමිණ කිරි විරේකය පානය කොට විහාරයෙහි වැඩහුන් දවස සඳහා මෙය කියන ලදි. තොදෙය්‍ය පුත්තො තොදෙය්‍ය බමුණාගේ පුත්‍රයා. ඔහු සැවැත්නුවරට නුදුරෙහි තුදී නම් ගමක් ඇත. එහි අධිපති බැවින් තොදෙය්‍ය නමින් ප්‍රසිද්ධියට පත්විය. මහාධන ඇත්තේය. පන්සාළිස් කෙළක් විභව සම්පත් ඇත්තේය. අතිශයින් මසුරුය. දෙන්නාගේ භෝගයන්හි ක්‍ෂය නොවීමක් නැතැයි සිතා කිසිවකුට කිසිවක් නො දෙයි. කියන ලද්දේ මැයි :-
අජනානං ඛයං දිස්වා - වම්මිකානංච සංවයං
මධුනංච සමාහාරං - පණ්ඩිතො ඝරමාවසෙ
මෙසේ නොදීමට පුරුදුකොට කය බිඳීමෙන් පසු ඒ ගෙයිම සුනඛයකු වී උපන්නේය. සුභ ඒ සුනඛයාට අතිශයින් ප්‍රිය ය. තමා බුදින මතම කවයි. ඔසවාගෙන උතුම් සයනයෙහි නිදිකරවයි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එක් දවසක් මාණවකයා ගෙන් පිටගිය කල්හි ඒ ගෙයට පිඬු පිණිස පිවිසි සේක. සුනඛයා භාග්‍යවතුන් වහන්සේ දැක බුරන්නේ භාග්‍යවතුන් වහන්සේ සමීපයට ගියේය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඌට මෙසේ කී සේක.
‘තොදෙය්‍ය, ඔබ පෙරදී ද මට හො හො කියා පරිභවකොට සුනඛයෙක් වූයෙහිය. දැනුදු බුරා අවීචියට යන්නෙහිය. සුනඛයා ඒ අසා විපිළිසරව උදුන අතරෙහි අළුමත වැදහොත්තේය. මිනිස්සු ඔසවා නිදි කරවන්ට නොසමත් වූහ.
සුභ පැමිණ කවරකු විසින් මේ සුනඛයා සයනයෙන් බස්සනු ලැබීදැයි ඇසීය. මිනිස්සු කිසිවකු විසින් නොවේයයි ඒ පුවත දැන්වූහ. මාණවක එය අසා මාගේ පියා බ්‍රහ්මලෝකයෙහි උපන්නේය. ශ්‍රමණ ගෞතම මාගේ පියා සුනඛයකු කරයි. මොහු කටට ආ දෙයක් කියතියි කිපී භාග්‍යවතුන් වහන්සේට මුසාවාදයෙන් චෝදනා කරනු කැමැත්තේ විහාරයට ගොස් එපුවත ඇසීය. භාග්‍යවතුන් වහන්සේ ඔහුට එසේම කියා විසංවාද නොකරනු පිණිස කී සේක. තරුණය, ඔබගේ පියා විසින් නොකියන ලද ධනයක් ඔබට ඇත්ද, භවත් ගෞතමයෙනි, සියදහසක් අගනා රන්දමක්, සියදහසක් අගනා මිරිවැඩියක්, සියදහසක් අගනා රන් තැටියක්, කහවණු සියදහසක් ඇත. යව ඒ සුනඛයා ජලය අඩු මධුපායාසය කවා සයනයට නංවා මඳ නින්දට බැසගත් කල අසව. සියල්ල ඔබට ඌ කියනු ඇත. එවිට මේ මාගේ පියා යයි දැනගන්නෙහිය. හේ එසේ කළේය. සුනඛයා සියල්ල පෙන්වීය. එදින ඌ මාගේ පියා යයි දැන භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පහන් සිත් ඇත්තේ ගොස් භාග්‍යවතුන් වහන්සේගෙන් ප්‍රශ්න දාහතරක් අසා විසඳූ කල්හි භාග්‍යවතුන් වහන්සේ සරණ ගියේය. ඒ සඳහා කියන ලදි. ‘සුභො මාණවො තොදෙය්‍ය පුත්තො’ යනුවෙන්.
සාවත්‍ථියං පටිවසති තමාගේ භෝග ග්‍රාමයෙන් පැමිණ වසයි. අඤ්ඤතරං මාණවං ආමන්තෙසි ශාස්තෲන් වහන්සේ පිරිනිවි සේක. ආනන්ද තෙරණුවෝ උන්වහන්සේගේ පාසිවුරු ගෙන පැමිණියහ. මහජනයාද එය බලනු පිණිස පැමිණෙතියි අසා විහාරයට ගොස් මහජනයා මැද සැපසේ පිළිසඳර කථාකිරීමට හෝ ධර්මකථාවක් ඇසීමට හෝ නොහැකිය. ගෙට පැමිණි උන්වහන්සේ දැක පිළිසඳර කථා කරන්නෙමි. මට එක් සැකයක් ඇත. එයද අසන්නෙමියි සිතා එක්තරා තරුණයකු ඇමතීය. අප්පාබාධං ආදී තන්හි ආබාධො යනු අසාමාන්‍ය වේදනාවයි කියනු ලැබේ. එක් තැනක හටගෙන සිව් ඉරියව්වම යකඩ පටියකින් එකට බැඳ තැබුවාක් මෙන් ගනියි. එහි අභාවය විමසවයි කියයි. අප්පාතං ඛො ජීවිතය කරදරකාරී කරන රෝගයක් යයි කියනු ලැබේ. එහි අභාවයද අසවයි කියයි. ගිලන් වූ තැනැත්තාගේ නැගිටීම බරකි. කයෙහි ශක්තිය නැත. ඒ නිසා නොගිලන් බව ගැනද ශක්තිය ගැනද අසව. ඵාසු විහාරං යාම, සිටීම, හිඳීම, නිදීම යන සිව් ඉරියව්වල සැප විහරණය ගැන අසවයි කියයි. ඉක්බිති ඔහුට ඇසිය යුතු ආකාරය දක්වන්නේ සුභ ආදිය කීය.