8. කස්සප සීහනාද සූත්ර වර්ණනාව
එවමෙ සුතං -පෙ- උජුඤ්ඤායං විහරති යනු සීහනාද සූත්රයයි. මේ එහි අපූර්ව පද වර්ණනාවයි.
උජුඤ්ඤාය උජුඤ්ඤා යනු ඒ ඒ රටෙහිද නගරයෙහිද නමයි. භාග්යවතුන් වහන්සේ උජුඤ්ඤා නගරය ඇසුරුකොට වාසය කරන සේක. කණ්ණා කත්ථලෙ මිගදායෙ ඒ නගරය නුදුරෙහි කණ්ණ කබල නම් එක් රමණීය බිම්කඩක් ඇත. එය මුවන්ට අභය පිණිස දුන් බැවින් මිගදාය යයි කියනු ලැබේ. ඒ කණ්ණකත්ථල මිගදායෙහි. අචෙලො නග්න පරිබ්රාජකයා. කස්සපො ඔහුගේ නම. තපස්සී යනු කපස ඇසුරුකළ. ලුඛාජීවී නිර්වස්ත්රව සිටීම, මුත්ර කිරීමේදී හැසිරෙන ආකාර ආදි වශයෙන් රළු ජීවිතයක් මොහුට ඇත්තේ නුයි = ලුඛාජීවී, ඒ ලුඛාජීවය උපක්කොසති අක්රෝශ කරයි. උපවදති පහත්කොට අවමන් කරයි. ධම්මස්සචානුධම්මං ව්යාකරොන්ති භවත් ගෞතමයන් විසින් කියන ලද කරුණට අනුකරුණක් කියත්. සහධම්මිකො වාදානුවාදො අනෙකා විසින් කියන ලද කරුණින් කරුණු ගෙන තොපගේ වාදය හෝ අනුවාදය හෝ වේවා, නුවණැත්තන් විසින් ගැරහිය යුතු කරුණකි. අල්පමාත්රයක්වත් නොඑයි. මෙය කියන ලද්දේ වෙයි. කිමෙක්ද සියලු ආකාරයෙන් ඔබගේ වාදයෙහි ගැරහිය යුතු කරුණක් නැත. අනබ්භක්ඛාතුකාමො බොරුවෙන් කියනු නොකැමැත්තාහු.
එකච්චං තපස්සිං ලූඛවාජීවිං ආදී තන්හි මෙහි ඇතැම් අචේලක පැවිද්ද ආදී තපසින් යුතු බැවින් තපස්සී. රළු දිවියෙන් ජීවත් වන්නෙමියි තණකොළ ගොම ආදිය කෑම ආදි නානා ප්රකාරයෙන් තමා වෙහෙසට පත්කර ගනී. අඩු පින් ඇති බැවින් ද සැපවත් ජීවන වෘත්තියක්වත් නොලබයි. හේ තුන් දුසිරිත් පුරා නිරයෙහි උපදී.
තවෙකෙක් එබඳු තපස ඇසුරු කළද පිනැත්තේ වෙයි. ලාභසත්කාර ලබයි. ඔහු දැන් මා වැන්නෙක් නැතැයි තමා උසස් තැනක සම්භාවනාකොට බොහෝසෙයින් ලාභ උපදවන්නෙමියි නොහොබිනා ලෙස තුන් දුසිරිත් පුරා නිරයෙහි උපදී. මේ දෙදෙනා සඳහා පළමු ක්රමය කියන ලදි.
අනෙකා තපසින් යුතුය. රළු දිවි ඇත්තේය. මඳ පින් ඇත්තේය. ජීවිකා වෘත්තිය සැපසේ නොලබයි. හේ මට පෙරත් පින් නොකළ බැවින් සැප දිවියක් නූපදී. දැන් පින් කරමියි තුන් සුසිරිත් පුරා ස්වර්ගයෙහි උපදී.
අනෙකෙක් රළු දිවි ඇත්තේය. පින්වත්ය. ජීවිකා වෘත්තිය සැපසේ ලබයි. හේ මට පෙරද කළ පින් ඇති බැවින් සැප දිවියක් උපදී යයි සිතා නොහොබිනා දේ අත්හැර තුන් සුසිරිත් පුරා ස්වර්ගයෙහි උපදී. මේ දෙදෙනා සඳහා දෙවැනි ක්රමය කියන ලදි.
එකෙක් තපස් ඇත්තේය. අඩු දුකින් වසන්නේ වෙයි. බැහැරි පැවතුම් ඇත්තේ, තවුසෙක් හෝ සැඟවුණු පිරිවැජියෙක් හෝ මඳ පින් ඇති බැවින් කැමති ප්රත්ය නොලබයි. හේ නොහොබිනා දේ වශයෙන් තුන් දුසිරිත් පුරමින් තමා සැපයෙහි තබා නිරයෙහි උපදී.
තවෙකෙක් පින් ඇත්තේය. හේ ‘දැන් මා වැන්නෙක් නැතැයි මානය උපදවාගෙන නොහොබිනා දේ වශයෙන් ලාභසත්කාර උපදවන්නේ මිථ්යාදෘෂ්ටි වශයෙන් ‘මේ තරුණ මුදුමොළොක් පරිබ්රාජිකාවගේ ලොම් සහිත බාහුවෙන් ලැබෙන ස්පර්ශය සැපයයි ආදිය සිතා කාමයන්හි ගොදුරු බවට පැමිණෙන්නේ තුන් දුසිරිත් පුරා නිරයෙහි උපදී. මේ දෙදෙන සඳහා තෙවැනි ක්රමය කියන ලදි.
අනෙකෙක් මඳ දුකින් වසයි. මඳ පින් ඇත්තේය. හේ පෙරදීද නොකළ පින් ඇති බැවින් සැපසේ ජීවිතය නොලබමියි තුන් සුසිරිත් පුරා ස්වර්ගයෙහි උපදී.
තවෙකෙක් පින් ඇත්තේය. හෙතෙම මම පෙරදී කළ පින් ඇති බැවින් සැප ලබමි. දැනුදු පින් කරන්නෙමි යි තුන් සුසිරිත් පුරා ස්වර්ගයෙහි උපදී. මේ දෙදෙන සඳහා සිව්වැනි ක්රමය කියන ලදි. මෙය තීර්ථක වශයෙන් ආවකි. සසුනෙහිද ලැබේ.