7. ජාලිය සූත්‍ර වර්ණනාව
එවං මෙ සුතං -පෙ- කොසම්බියං යනු ජාලිය සූත්‍රයයි. මේ එහි අපූර්ව පද වර්ණනාවයි.
ඝෝසිතාරාමෙ ඝෝෂිත සිටුවරයා විසින් කරන ලද ආරාමයෙහි පෙර අජිත නම් රටක් විය. ඉන්පසු කොතුහලික නම් දිළින්දෙක් සාගතයට බියෙන් අඹුදරුවන් සමග අනතුරු රටකට යන්නේ පුත්‍රයා දරාගන්නට නොහැක්කේ අත්හැර දමා ගියේය. මව නැවතී ඔහු ගෙන ගියාය. ඔවුහු එක්තරා ගොපලු ගමකට පිවිසියාහුය. ගොපල්ලන්ට එකල්හි බොහෝ පායාස පිළියෙල කරන ලද්දේ වෙයි. ඔවුහු එතැනින් පායාසය ලැබ අනුභව කළහ. ඉක්බිති ඒ පුරුෂයා බලවත් පායාසය අනුභවකොට දිරවන්නට නොහැකි වන්නේ රාත්‍රී කාලයෙහි කලුරියකොට එහිම බැල්ලකගේ කුසෙහි පිළිසිඳ ගෙන බලුපැටියෙක් විය. ඌ ගොපල්ලාට ප්‍රිය වෙයි. ගොපල්ලාද පසේබුදුවරයකුට උපස්ථාන කරයි. පසේබුදුන් වහන්සේද බත්කිස කරන කල්හි බලුපැටියාට පිඬු දෙන සේක. ඌ පසේබුදුන් කෙරෙහි ස්නේහය උපදවා ගොපල්ලා සමග පන්සලටද යයි. ගොපල්ලා නොපැමිණි කල්හි බත් වේලාවෙහි තමාම ගොස් කල් දැන්වීම පිණිස පන්සල් දොර ළඟදී බුරයි. අතරමගදී ද චණ්ඩ මෘගයන් දැක බුරා එලවා දමයි. ඌ පසේබුදුන් කෙරෙහි මෘදු සිතින් කලුරියකොට දෙව්ලොව උපන්නේය. එහුට ඝොසක දිව්‍යපුත්‍රයා යයි නමක් විය.
ඔහු දෙව්ලොවින් චුතව කොසඹෑ නුවර එක් කුලගෙයක උපන්නේය. දරුවන් නැති සිටුවරයා මාපියන්ට ධනය දී ඔහු පුත්‍රයා කොට ගත්තේය. අනතුරුව දරුවන් උපන් කල සත්වරක් ඝාතනය කිරීමට උපක්‍රම යෙදීම. ඔහු පින්වත් බැවින් සත් තැනකදීම මරණයට නොපැමිණ අවසන එක් සිටුදුවකගේ දක්‍ෂතාව නිසා ජීවිතය ලැබ පසුකලෙක පියාගේ ඇවෑමෙන් සිටු තනතුරට පත්ව ඝෝසක සිටු නම් විය. කොසඹෑ නුවර තවත් කුක්කුට සිටුය. පාවාරික සිටුයයි සිටුවරු දෙදෙනෙක් වෙති. මොහු සමග තිදෙනෙක් වෙති.
එසමයෙහි හිමාලයේ සිට පන්සියයක් තවුසෝ ශරීරය සන්තර්පනය කිරීම පිණිස නිරන්තරයෙන් කොසඹෑවට එති. ඔවුන්ට ඒ සිටුවරු තිදෙන තමන්ගේ උයන්වල කොළකුටි තනා උවටැන් කරති. ඉක්බිති එක් දවසක් ඒ තවුසෝ හිමවතින් එන්නාහු මහා කාන්තාරයෙහි පිපාසිත වූවාහු ක්ලාන්ත වූවාහු එක් විශාල ඇසතු රුකක් වෙත පැමිණ එහි අධිගෘහිත දේවතාවා සමීපයෙන් සංග්‍රහ අපේක්‍ෂා කරන්නාහු හිඳගත්හ. දේවතාවා සර්වාලංකාරයෙන් අලංකාර කරන ලද අත දිගුකොට ඔවුන්ට පානය කරන නහන ජලය ආදිය දී විඩාව නැති කළේය. ඔවුහු දේවතාවාගේ ආනුභාවයෙන් විස්මයට පත්වූවාහු මෙසේ ඇසූහ. දේවතාවනි, කුමන ක්‍රියාවක් කොට ඔබ විසින් මේ සම්පත් ලබන ලද්දේ ද? දේවතාවා මෙසේ කීය. ලෝකයෙහි බුද්ධ නම් භාග්‍යවතුන් වහන්සේ උපන් සේක. උන්වහන්සේ දැන් සැවැත්නුවර වැඩවසති. අනේපිඬු ගෘහපතියා උන්වහන්සේට උපස්ථාන කරයි. හෙතෙමේ උපෝසථ දිනයන්හි තමාගේ සේවකයන්ට පියෙවි බත් වැටුප් දී පෙහෙවස් සමාදන් කරවයි. ඉක්බිති එක් මධ්‍යාහ්නයෙහි උදේ ආහාරය සඳහා පැමිණියේ කිසිදු මෙහෙකාරකමක් නොකෙරෙනු දැක අද මිනිස්සු කුමක්හෙයින් වැඩ නොකරත්දැයි ඇසුවෙමි. මට ඔවුහු ඒ කරුණ දැන්වූහ. ඉන්පසු මම මෙසේ කීමි. දැන් උපෝසථ දිනය ගොස්ය. උපෝසථයෙන් අඩක් කරන්ට හැකිද? ඉන්පසු සිටුවරයාට දන්වා ‘කළහැකියයි කීහ. ඒ මම අඩපොහොය සමාදන්ව එදවසම කලුරියකොට මේ සම්පත්තිය ලැබුවෙමි.
ඉක්බිති ඒ තවුසෝ බුදුකෙනෙක් උපන්නේය යි හටගත් ප්‍රීති ප්‍රමෝදය ඇත්තාහු එතැනින් සැවැත්නුවරට යනු කැමැත්තාහු වුවද අපට උපස්ථායක සිටුවරු බොහෝ උපකාරීය. ඔවුන්ටද මේ කරුණ දන්වන්නෙමුයි කොසඹෑවට ගොස් සිටුවරුන් විසින් කරන ලද සත්කාර බහුකාර ඇත්තාහු අදම අපි යන්නෙමුයි කීහ. ස්වාමීනි, කුමක් නිසා ඉක්මන් වූද? ඔබලා පෙර හතර පස්මසක් වැස යන්නෝ නොවන්නාහුදැයි කියනු ලැබුවාහු ඒ පුවත දැන්වූහ. එසේනම් ස්වාමීනි එක්වම යමුයි කීකල්හි ‘අපි යමු. ඔබ හෙමින් එන්නැයි සැවැත්නුවරට ගොස් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි පැවිදිව රහත්බවට පැමිණියාහුය. ඒ සිටුවරුද පන්සියය බැගින් ගැල් පිරිවර ඇත්තාහු සැවැත්නුවරට ගොස් දන් දී කොසඹෑවට පැමිණීම පිණිස භාග්‍යවතුන් වහන්සේගෙන් ඉල්ලා නැවත අවුත් වෙහෙර තුනක් කරවූහ. ඒ අතරින් පාවාරිය සිටු විසින් කරවන ලද්දේ පාවාරික අම්බවන නම් විය. ඝොසිත සිටු විසින් කරවන ලද්දේ ඝොසිතාරාමය නම් විය. ඒ සඳහා කියන ලදි. ‘කොසම්බියං විහරති ඝොසිතාරාමෙ