6. මහාලි සූත්‍ර වර්ණනාව
එවං මෙ සුතං -පෙ- වෙසාලියං යනු මහාලි සූත්‍රයයි. මේ එහි අපූර්ව පද වර්ණනාවයි.
වෙසාලියං නැවත නැවත විශාලභාවයට පැමිණෙන බැවින් වෙසාලී යයි ලදනම් ඇති නගරයෙහි. මහාවනෙ පිටනුවර හිමාලය සමග ඒකාබද්ධව සිටි ඉබේ හටගත් වනයක් ඇත. යමක් මහත් බව නිසාම මහා වනයයි කියනු ලැබේද ඒ මහා වනයෙහි. කූටාගාර සාලායං ඒ වනලැහැබෙහි සංඝාරාමයක් පිහිටවූහ. එහි කර්ණිකාවක් යොදා ටැම් මත කූටාගාර ශාලා එක්කොට දෙව් විමසක් බඳු ප්‍රාසාදයක් කළාහුය. ඒ සඳහා මුළු සංඝාරාමයම කූටාගාර ශාලායයි හැඳින්විණ. භාග්‍යවතුන් වහන්සේ ඒ වෙසාලි නගරය ආශ්‍රය කොට ඒ සංඝාරාමයෙහි වැඩවසන සේක. එහෙයින් කියන ලදි. වෙසාලියං විහරති මහාවනෙ කූටාගාර සාලායං යනුවෙන්. කොසලකා කොසොල්රට වැසියෝ. මාගධකා මගධ රටවැසියෝ. කරණීයෙන අවශ්‍යයෙන් කළයුතු කාර්යයකින් යමක් නොකිරීමට ද වටීද එය කිච්ච යයි කියනු ලැබේ. යමක් අවශ්‍යයෙන්ම කළයුතුනම් එය කරණීය නමි.
පතිසල්ලානො භගවා නොයෙක් අරමුණු හැසිරීමෙන් ඉවත්ව ක්‍රියාශීලීව සැඟවුණේ. හුදෙකලා බවට පැමිණ හුදෙකලා අරමුණෙහි ධ්‍යාන රතිය අනුභව කරයි යන අර්ථයි. තත්‍ථෙව ඒ විහාරයෙහිම. එකමන්තං උණුසුම් තැනින් ඉවත්ව ඒ ඒ රුක්සෙවනවල හුන්නාහුය.
ඔට්ඨද්ධො තොලින් අඩක් ඇති බැවින් මෙසේ ලද නම් ඇති. මහතියා ලිච්ඡවි පරිසාය පෙරබත බුදුන් ප්‍රමුඛ භික්‍ෂු සංඝයාට දන් දී භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි උපෝසථ අංග අධිෂ්ඨාන කොට ගඳමල් ආදිය ගෙන්වාගෙන උද්ඝෝෂණය පිණිස විශාල ලිච්ඡවීන් පිරිසක් රැස්කරවා ඒ නීල පීත ආදී වර්ණ ඇති වස්ත්‍රාභරණ විලේපනයන්ගෙන් අලංකාර වූ තව්තිසා පිරිසක් වැනි මහත් ලිච්ඡවී රජ පිරිසක් සමග එළඹියේය. අකාලො ඛො මහාලි ඒ අඩතොල්ලාගේ මහාලී නම් මුල් නමයි. එයින් තෙරුන්වහන්සේ ඔහුට කථා කරත්. එකමන්තං සුදුසු රුක් සෙවනැලිවල ඒ ලිච්ඡවී පිරිස සමග තෙරුන් ගුණ කියමින් හුන්නේය.
සීහො සමනුද්දෙසො ආයුෂ්මත් නාගිත හිමියන්ගේ බැණනුවෝ සත්වස් කල්හි පැවිදිව සසුනෙහි යෝග්‍යව සීහ නම් ඇති සාමණේරයෝ. උන්වහන්සේ ඒ මහ පිරිස දැක මේ පිරිස විශාලය. මුළු වෙහෙර පුරා හුන්නේය. ඒකාන්තයෙන් භාග්‍යවතුන් වහන්සේ අද මේ පිරිසට මහත් උත්සාහයකින් දහම් දෙසන සේක. මම ද උපාධ්‍යායයන්ට කියා භාග්‍යවතුන් වහන්සේට මහපිරිස රැස්වූ බව දන්වන්නෙමි නම් මැනවැයි සිතා නාගිත හිමියන් සිටි තැනට එළඹියෝය. භන්තෙ කස්සප තෙරුන් ගෝත්‍රයෙන් ආමන්ත්‍රණය කරයි. එසාජනතා මේ ජන සමූහය.
ත්‍වඤ්ඤෙව භගවතො ආරොවෙහි සීහ භාග්‍යවතුන් වහන්සේගේ විශ්වාසවන්තයෙකි. මේ තෙරුන් වහන්සේ ස්ථුල ශරීර ඇත්තෝය. එහෙයින් උන්වහන්සේට ශරීරය බර බැවින් නැගිටීම් හිඳීම් ආදියෙහි අලස බව මඳක් හීන නොවූයේ මෙන් වෙයි. ඉක්බිති මේ සාමණේරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට කලින් කල වත් සපයති. ඒ නිසා තෙරුන්වහන්සේ එහුට ‘ඔබද දසබලධාරීන් වහන්සේට විශ්වාසවන්තයෙකි’යි කියා ‘යව ඔබම දන්වවයි’ කීහ. විහාර පච්ඡායාය විහාර සෙවනෙහි කූටාගාර මහා ගෘහයෙහි සෙවනින් පැතිරුණු අවකාශයෙහි යන අර්ථයි. ඒ කූටාගාර ශාලාව දකුණු උතුරුදෙසට දිගය. පෙරදිග බලා සිටී. ඒ නිසා එහි ඉදිරියෙහි මහා සෙවනක් පැතිරී තිබේ. සිංහ භාග්‍යවතුන් වහන්සේට එහි අසුනක් පැනවීය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ දොර අතුරින්ද වාකවුළු අතරින්ද නික්ම ඔබමොබ දුවන්නා වූද පැතිරෙන්නා වූද සවණක් බුදුරැසින් වලාකුළු අතරින් නික්මෙන පූර්ණචන්ද්‍රයා මෙන් කූටාගාර ශාලවෙන් නික්ම පැනවූ බුදු අසුනෙහි වැඩහුන් සේක. එහෙයින් කියන ලදි. අථඛො භගවා විහාරා නික්ඛම්ම විහාර පච්ඡායායය පඤ්ඤත්තෙ ආසනෙ නිසිදි යනුවෙන්.