5. කූටදන්ත සූත්‍ර වර්ණනාව
එවං මෙසුතං -පෙ- මගධෙසු යනු කූටදන්ත සූත්‍රයයි. මේ එහි අපූර්ව පද වර්ණනාවයි. මගධෙසු යනු මගධ නම් ජනපදයෙහි රාජ කුමාරවරු ඔවුන්ගේ නිවාස වූ එක ජනපදයක් රූඪි ශබ්දයෙන් මගධා යයි කියනු ලැබේ. ඒ මගධ ජනපදයෙහි. මින් මතු පළමු සූත්‍ර දෙකෙහි කියන ලද ක්‍රමයමැයි.
අම්බලට්ඨිකා බ්‍රහ්මජාලයෙහි කියන ලද පරිදිමය. කූටදන්තො ඒ බමුණාගේ නම. උපක්ඛටො යනු සරසනු ලැබූ. වච්ඡතර සතානි යනු වසු පැටවුන් සියගණන්. උරබ්භා යනු තරුණ බැටළු පැටවු යයි කියනු ලබත්. ඔවුහු පාළියෙහි ආහ. පාළියෙහි අනාගත නොයෙක් මෘග පක්‍ෂීන් සත්සියය සත්සියය එක්තැන් කරන ලද්දාහු යයි දතයුතුය. සර්වසප්ත ශතික යාගය සදනු කැමැත්තේ වෙයි. ථූනු පතිතානි යනු බැඳ තබනු පිණිස යූප සංඛ්‍යාත වූ යාගස්තම්භය වෙත ගෙනඑනු ලැබුවාහුය.
තිවිධං යනු මෙහි විධා යනු තැබීමයි. නිමකිරීම යන අර්ථයි. සොළස පරික්ඛාරං යනු සොළොසක් පිරිවර.
පටිවසන්ති යනු යාගය අනුභව කරනු පිණිස වාසය කරත්. භූතපුබ්බං යනු මෙය භාග්‍යවතුන් වහන්සේ පෘථුවියේ තැබූ නිධානයක් උඩට ගෙන ඉදිරියෙහි රැස් කරන්නාක් මෙන් භවයෙන් වැසුණු පූර්ව චරිතය දක්වමින් කී සේක. මහාවිජිතො යනු එය සයුර කෙළවර කොට ඇති මහා පෘථුවි මණ්ඩලය දිනීය. මෙසේ මහත් වූ විජිතය ඔහුගේනුයි මහා විජිත යයි ප්‍රකට විය. අඩ්ඪො යන ආදී තන්හි යමෙක් තමා සතු වස්තුවෙන් ආඪ්‍ය වේද, මෙය හුදෙක් අඩ්ඪො පමණක් නොව මහද්ධනො ද වෙයි. මහත් වූ අප්‍රමාණ සංඛ්‍යාත වූ ධනයෙන් යුත්. පංචකාම ගුණ වශයෙන් මහත් වූ උදාර වූ භෝග මොහුට ඇත්තේ නුයි = මහා භොගො, පිඬු පිඬු වශයෙන්ද රන්මසු රිදීමසු ආදී වශයෙන් ද මිල මුදලින් මහත් වූ බැවින් පහුත ජාතරූප රජතො. නොයෙක් කෝටි සංඛ්‍යාත වූ මිලමුදලින් යුතු යන අර්ථයි.
විත්ති යනු සන්තෘෂ්ටියයි. විත්තියට උපකරණ විත්තූපකරණ. තුටුකිරීම යන අර්ථයි. බොහෝ වූ නානාවිධ අලංකාර රන් රිදී ආදී භේදයෙන් යුත් චිත්ත උපකරණ මොහුට ඇත්තේනුයි පහූත චිත්තූපකරණො නමි. නිදන්කොට තැබූ සත්රුවන් සංඛ්‍යාත සියලු පූර්වාහ්න අපරාහ්න සංගෘහිත වූ ධනයෙහි මහත් බැවින් පහූත ධන ධඤ්ඤො මෙය ඔහුගේ දෛනික පිරිවැය දීම් ගැනීම් වශයෙන් සංසරණය වන ධන ධාන්‍ය වශයෙන් කියන ලදි.
පරිපුණ්ණ කොස කොට්ඨාගාරො යනු කොස යයි කියනු ලැබන්නේ භාණ්ඩාගාරයයි. නිදන්කොට තැබූ ධනයෙන් පිරිපුන් භාණ්ඩාගාරය. හස්ති අශ්ව රථ යනුවෙන් කෝෂ්ඨාගාරය ත්‍රිවිධය. නැතහොත් භාණ්ඩාගාරය සිව්වැදෑරුම්ය. ධන කෝෂ්ඨාගාරය, ධඤ්ඤ කෝෂ්ඨාගාරය වස්ත්‍ර කෝෂ්ඨාගාරයයි ත්‍රිවිධ වේ. ඒ සියල්ල පිරිපුන්ව ඔහුට ඇත්තේ නුයි - පරිපුණ්ණ කොසකොට්ඨාගාර වේ. උදපාදි යනු උපන්නේය. මේ රජ එක් දවසක් රත්නාවලෝකන නමැති චර්යාවක් සඳහා නික්මී ගියේය. හේ භාණ්ඩාගාරිකගෙන් මෙසේ ඇසීය. දරුව, මේ මහා ධනය කා විසින් එකතු කරනු ලැබීද? ඔබතුමාගේ මුත්තණුවන් ආදීන් විසිනි. සත්කුල පරම්පරාවක් දක්වා මේ ධන එකතුකොට ඒ අය කොහි ගියාහුද? දේවයන් වහන්ස, ඒ සියලුදෙන මරුවසඟයට ගියාහුය. තමාගේ ධනය නොගෙනම ද දරුව? දේවයන් වහන්ස, කුමක් කියන සේක්ද? මේ ධනය හැර යායුතුමය. රැගෙන යාමක්ද නැත. ඉක්බිති රජතෙමේ නැවතී ශ්‍රීයහන් ගබඩාවෙහි හුන්නේ අධිගතා ඛො මෙ ආදිය සිතීය. එහෙයින් කියන ලදි. එවං චෙතසො පරිවිතක්කො උදපාදි.