ආර්ය ශ්‍රාවකයන්ගේ මාර්ග සම්ප්‍රයුක්ත විරතිය සෙතු සාත විරති නම් වේ. එහි මුලින් කී විරති දෙක ජීවිතයෙන් වෙන්කිරීම් ආදී වශයෙන් ඉක්මවා යා යුතු ජීවිතේන්‍ද්‍රිය වස්තුව අරමුණුකොට පවතී. පසුව කියූ විරතිය නිර්වාණය අරමුණු කොට ඇත්තේය. මෙහිද යමෙක් සිකපද පස එකට ගනීද, ඔහුට එකක් බිඳුණු කල්හි සියල්ල බිඳුණේ වෙයි. යමෙක් එක එක වෙනම ගනීද, ඔහු යමක් ඉක්මවා යාද එයම බිඳෙයි. සෙතුසාත විරතියෙහි බිඳීමක් නැත. භවාන්තරයෙහිද ආර්ය ශ්‍රාවකයා ජීවිතය ගියත් ප්‍රාණයක් නොනසයි. සුරාපානය නොකරයි. ඉදින් සුරාවද කිරිද මිශ්‍රකොට මුවෙහි බහාලුවත් කිරීම පිවිසෙයි. සුරාව නොවේ. එසේ වන්නේ ඇයි? යම්සේ කොස්වාලිහිණියන්ට කිරිමිශ්‍ර ජලයෙහි ජලය නොව කිරීම පිවිසේද මෙය උපතේදීම සිදුවන්නක් නම් මෙයද ස්වභාව ධර්මයෙන්ම සිදු වූවකැයි දතයුතුයි.
යම් හෙයකින් සරණාගමනයෙහි දෘෂ්ටිය සෘජු කිරීම බැරෑරුම් වන්නේද, ශික්‍ෂාපද සමාදානයෙහි විරති මාත්‍රයක්ම වේද, ඒ නිසා ඒ වූ පරිදි ගන්නහුට යහපත් සේ ගන්නහුටද අඩු කරදර ඇත්තක්ද, අල්ප හානි ඇත්තක්ද වේ. පන්සිල් සමාන දානයක් නැති බැවින් මෙහි මහත්ඵල ඇති බවද, මහානිසංස ඇතිබවද දතයුතුය. මෙය කියන ලදී.
මහණෙනි, දාන පසක් වෙයි. අග්‍ර වූද දිගුකල් පැවතියා වූද වංශ පරම්පරාවෙන් ආවා වූද පැරණි වූද අසංකීර්ණ වූද අසංකීර්ණ නොවූ විරූද, සැක නොකෙරේ ද සැක නොකරවාද, ශ්‍රමණයන් විසින්ද, බ්‍රාහ්මණයන් විසින්ද, ඥානවන්තයන් විසින්ද, පිළිකුල් නොකරන ලද්දා වූද මහාදාන පසකි. ඒ පස මොනවාද? මහණෙනි, මෙහි ආර්ය ශ්‍රාවකයා ප්‍රාණඝාතය හැරදමා ප්‍රාණඝාතයෙන් වෙන් වූයේද, ප්‍රාණඝාතයෙන් වෙන් වූ ආර්ය ශ්‍රාවකයා අප්‍රමාණ වූ සත්ත්වයන්ට අභයදානය දෙයි. අවෛරය දෙයි. අව්‍යාපාදය දෙයි. අප්‍රමාණ වූ සත්ත්වයන් අභය දී අවෛරය දී අව්‍යාපාදය දී අප්‍රමාණ වූ අභයට, අවෛරයද, අව්‍යාපාදයට කොටස් කරුවෙක් වෙයි. මහණෙනි, මෙයද ප්‍රථමදානයයි. මහාදානයයි. -පෙ- ඥානවන්තයන් විසින්
නැවතද මහණෙනි, ආර්ය ශ්‍රාවකයා අදින්නාදානය අත්හැර -පෙ- කාම මිථ්‍යාචාරය අත්හැර -පෙ- මුසාවාදය අත්හැර -පෙ- සුරාමේරය මජ්ජපමාදට්ඨානය අත්හැර -පෙ- මහණෙනි, මේ පංචදානයෝ මහා දානයෝ -පෙ- ඥානවන්තයන් විසින්.
මේ ශීල පඤ්චකය ‘ආත්ම ස්නේහයද, ජීවිතයද පරිත්‍යාග කොට රකින්නෙමියි සමාදන් වූ බැවින් යාගයයි කියනු ලැබේ. එහි පංචශීලයට වඩා සරණාගමනය ජ්‍යෙෂ්ඨ වේද, මෙය සරණයයි පිහිටා රක්නා ශීල වශයෙන් මහත්ඵල ඇත්තේ යයි කියන ලදි.
බමුණා මෙයද අසා මෙසේ සිතීය. පංචශීලය රැකීම ගරුය. අන් කිසිවක් මෙබඳුම වී ඊට වඩා අඩු කරදර ඇති මහත්ඵල ඇත්තේද? ඉන්පසු එය විචාරන්නේ නැවතද අත්‍ථිපන හොති ආදිය කීය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ත්‍රිවිධශීල පාරිශුද්ධියෙහි සිටියහුගේ ප්‍රථමධ්‍යාන ආදී යාගයන්ගෙන් අඩු කරදර බවද මහත්ඵල බවද දක්වනු කැමති සේක් බුද්ධෝත්පාදයෙහි පටන් දේශනාව අරඹමින් ඉධ බ්‍රාහ්මණ ආදිය කී සේක.
එහි යම්හෙයකින් යට කියන ලද ගුණයන්ගෙන් යුක්ත වූයේ ප්‍රථමධ්‍යානය ප්‍රථමධ්‍යානාදියෙහි සිටියේ, දෙවැනි ධ්‍යානාදිය උපදවන්නේ වෙහෙසට පත් නොවේද, ඒ නිසා ඒවා අඩු කරදර ඇත්තේද අල්පහානි ඇත්තේද වේ. යම්හෙයකින් ප්‍රථමධ්‍යානය එක් කල්පයක් බ්‍රහ්මලෝකයෙහි ආයුෂ දේද, දෙවැන්න කල්ප අටකද, තෙවැන්න කල්ප හැටහතරකද, සිව්වැන්න කල්ප පන්සියයකද දෙයි. ආකාසානඤ්චායතන ආදි සමාපත්ති වශයෙන් භාවිතා කරන ලද්දේ කල්ප විසිදහසකද, හතළිස් දහසකද, සැටදහසකද අසූහතර දහසකද ආයුෂ දෙයිද ඒ නිසා මහත්ඵලද මහානිසංසද වේ. නීවරණ ආදීන්ගේ සතුරුධර්ම පරිත්‍යාග කරන ලද බැවින් එය ත්‍යාගයැයි දතයුතුය.
විදර්ශනා ඥානයද යම්හෙයකින් චතුර්ථධ්‍යාන අවසාන ගුණයන්හි පිහිටා උපදවන්නේ වෙහෙසට පත් නොවේද ඒ නිසා අඩු කරදර ඇත්තේය. අල්ප හානි ඇත්තේය. විදර්ශනා සුඛය හා සමාන සුඛය නැතිවීමෙන් මහත්ඵලය. සතුරු කෙලෙස් අත්හැරීමෙන් යඥ වේ. යම්හෙයකින් මනෝමය සෘද්ධියද විදර්ශනා ඥානයෙහි පිහිටා උපදවන්නේ වෙහෙසට පත්නොවේද ඒ නිසා අඩු කරදර ඇත්තේය. අල්පහානි ඇත්තේය. තමා හා සමාන රූප නිර්වාණය කිරීමට සමර්ථ බැවින් මහත්ඵලය. එයම සතුරු කෙලෙස් අත්හැර දැමීමෙන් යඥ වෙයි. යම්හෙයකින් සෘද්ධිවිධ ඥාන ආදියද මනෝමය ඥාන ආදියෙහි පිහිටා උපදවන්නේ වෙහෙසට පත් නොවේද ඒ නිසා අඩු කරදර ඇත්තේය. අල්ප හානි ඇත්තේය. තම තමාගේ සතුරු කෙලෙස් ප්‍රහාණයෙන් යඥ වේ. මෙහි සෘද්ධිවිධ ඥානය නානාවිධ විකුර්වණ දැකීමෙහි සමත් බැවින්ද, දිබ්බසෝතය දෙවි මිනිසුන්ගේ ශබ්ද ශ්‍රවණය කිරීමෙහි සමත් බැවින්ද, චෙතොපරිය ඤාණය අනුන්ගේ දහසය වැදෑරුම් සිත් දැනීමෙහි සමත් බැවින්ද, පුබ්බෙ නිවාස අනුස්සති ඤාණය කැමති කැමති තැන් සිහි කිරීමෙහි සමත් බැවින්ද, දිබ්බචක්ඛු ඤාණය කැමති කැමති රූප දැක්මෙහි සමත් බැවින්ද, ආසවක්ඛය ඤාණය අතිප්‍රණීත ලෝකෝත්තර මාර්ග සුඛ ඉපදවීමෙහි සමත් බැවින්ද මහත්ඵලයයි දතයුතුය. යම්හෙයකින් රහත්බවට වඩා විශිෂ්ටතර වූ අනෙක් යාගයක් නම් නැත්ද එබැවින් රහත්බව කුළුගැන්වීමෙන්ම දේශනාව සමාප්ත කරන සේක් අයං ඛො බ්‍රාහ්මණ ආදිය කී සේක.