4. සොණදණ්ඩ සූත්‍ර වර්ණනාව
එවංමෙසුතං -පෙ- අංගෙසු යනු සොණදණ්ඩ සූත්‍රයයි. මේ මෙහි අපූර්ව පද වර්ණනාවයි. අංගෙසු යන අංග නම් ගල් ඇති බැවින්. මෙසේ ලද ව්‍යවහාර ඇති ජනපදවාසී රජකුමරුවෝ. ඔවුන්ට නිවාස වූ එක් ජනපදයක් රූඪි ශබ්දයෙන් අංගයයි කියනු ලැබේ. ඒ අංග ජනපදයෙහි.
චාරිකං යනු මෙහිද අතුරිත චාරිකාවයි. නිබද්ධ චාරිකාවද අදහස් කරන ලදී. එකල්හි දසදහසක් ලෝකධාතූන් දෙස බලන භාග්‍යවතුන් වහන්සේගේ ඥාන ජාලය තුළ සෝණදණ්ඩ බමුණා පෙනිණ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ‘මේ සොණදණ්ඩ බමුණා මාගේ ඥාන ජාලයෙහි පැනෙයි. ඔහුට උපනිශ්‍රයක් ඇත්දෝ’යි විමසන සේක්’ මා එහි ගියවිට ඔහුගේ අතවැසියෝ දොළොස් අයුරකින් බමුණාගේ ගුණ කියා මාගේ සමීපයට එන්නට ඉඩ නොදෙන්නේය. හේ ඔවුන්ගේ වාද බිඳ විසිනව අයුරකින් මාගේ ගුණ කියා මා වෙත එළඹ ප්‍රශ්නයක් අසන්නේය. ප්‍රශ්නය විසඳුම අවසානයෙහි හේ සරණ යන්නේ යයි දුටු සේක. පන්සියයක් භික්‍ෂූන් පිරිවරා ඒ ජනපදයට පිළිපන් සේක. එහෙයින් කියන ලදී. අංගෙසු චාරිකං චරමානො -පෙ- යෙන චම්පා තදවසරි යනුවෙන්.
ගග්ගරාය පොක්ඛරණීයා තීරෙ [missing trans]
මාගධෙන සෙනියෙන බිම්බිසාරෙනා යනු මෙහි ඒ රජ තෙමේ මගධයන්ට ප්‍රධාන හෙයින් මාගධ විය. මහා සේනාවකින් යුක්ත බැවින් සේනියො විය. බිම්බි යනු රත්රන්ය. ඒ නිසා සාර සුවර්ණ වර්ණ ඇති බැවින් බිම්බිසාර යයි කියනු ලබන්නේ යයි දතයුතුය.
බොහෝ බොහෝ වී රැස් වූ = සංඝ, එක් එක් දිසාවක සංඝයා එයට ඇත්තේනුයි = සංඝී. පෙර නගරය ඇතුළත ගණ නොවී පිටත නික්මී ගණ සහිත වූයේනුයි = ගණීභූතා. ඛත්තං ආමන්තෙසි යනු ඛත්ත කියනු ලබන්නේ ඇසූ ප්‍රශ්නය විසඳීමෙහි සමර්ථ වූ මහා මාත්‍රයාය. ඔහු ඇමතීය. ආගමෙන්තු යනු මොහොතක් ගරු කරත්වා, පැමිණෙත්වායි කියන ලද්දේ වෙයි.
නානාවෙරජ්ජකානං යනු නානාවිධ රාජ්‍යයන්හි අනික් අනික් කාශි කෝශල ආදී රාජ්‍යයන්හි උපන්, ඒවා ඔවුන්ගේ නිවාසද වෙයි. එයින් ආවේනුයි නානා වෙරජ්ජකා. ඔවුන්ගේ නානාවෙරජ්ජකානං. කෙනචිදෙව කරණීයෙන යනු ඒ නගරයෙහි බමුණෝ කාර්ය දෙකක් හේතුවෙන් රැස්වෙති. යඥය අනුභව කිරීම සඳහා සහ මන්ත්‍ර සජ්ඣායනය සඳහා යනුවෙන්. එකල ඒ නගරයෙහි යාග නැත. සොණදණ්ඩගේ සමීපයෙහි මන්ත්‍ර සජ්ඣායනය සඳහා මොවුහු රැස්වූහ. ඒ සඳහා කියන ලදී. කෙනචිදෙව කරණීයෙන යනුවෙන්. ඔවුහු ඔහුගේ ගමන ගැන අසා මෙසේ සිතූහ. ‘මේ සෝණදණ්ඩ බමුණා උසස් බමුණෙකි. බොහෝවිට අනිත් බමුණෝ ශ්‍රමණ ගෞතමගේ සරණ ගියාහුය. මොහු පමණක් නොගියේය. මොහු එහි ගියහොත් එ්කාන්තයෙන් ශ්‍රමණ ගෞතමගේ ආවට්ටතී මායාවෙහි පැටලී ඔහු සරණ යන්නේය. ඉන්පසු ඔහුගේ ගෙදර බමුණන්ගේ හමුවීමක් නැත. දැන් ඔහුගේ ගමනට අන්තරාය කරමුයි මන්ත්‍රණය කොට එහි ගියහ. ඒ සඳහා අථඛො තෙ බ්‍රාහ්මණා යනාදිය කියන ලදි.
එහි ඉමිනා පංගෙන යනු මේ කාරණයෙන්ද. මෙසේ මේ කරුණ කියා නැවත තමාගේ ගුණ කියනු ලබන කල්හි තමා ඔසවා නොසිතන සත්ත්වයෙක් නම් නැත. මොහුගේ ගුණ කීමෙන් ගමන වළක්වමුයි සිතා භවංගි සොණ දණ්ඩො උභතො සුජාතො ආදී කරුණු කීහ.