3. අම්බට්ඨ සූත්ර වර්ණනාව
මා විසින් මෙසේ අසන ලදී. කොසලෙසු යනු අම්බට්ඨ සූත්රයයි. මේ එහි අපූර්ව පද වර්ණනාවයි. කොසලෙසු යනු කෝසල නම් ජනපදයෙහි උපන් කුමාරයෝය. ඔවුන්ගේ නිවාසය වූ එක් ජනපදයක් රූඪී ශබ්දයෙන් කෝසලයයි කියනු ලැබේ. ඒ කොසොල් ජනපදයෙහි, පොරාණයෝ මෙසේ කීහු. යම්හෙයකින් පෙර මහාපනාද රජකුමරා නානා නාටක ආදිය දැක සිනාමාත්රයක්වත් නොකරන බව අසා රජතුමා මෙසේ කීය. ‘යමෙක් මාගේ පුත්රයා සිනාගන්වයිද ඔහු සර්වාභරණයෙන් සරසමි.’ඉන්පසු නගුල් ආදිය අතහැර මහා ජනකාය රැස්ව කල්හි මනුෂ්යයෝ තවත් සත් වසක් නොයෙක් ක්රීඩා පෙන්වාද ඔහු සිනා ගස්වන්නට නොහැකි වූහ. ඉන්පසු ශක්රයා දිව්යනාටක එවීය. හේ දිව්යනාටක දැක සිනා ගැන්විය. ඉක්බිති මිනිස්සු තම තමන්ගේ වසන තැන් බලා ගියහ. ඔවුහු අතරමග මිත්ර සහෘදයන් ආදීන් දැක පිළිසඳර කරන්නාහු ‘පින්වත්නි, කුසල්ද (හොඳද) පින්වත්නි, කුසල්දැයි ඇසූහ. ඒ නිසා ඒ කුසල කුසල වචනය නිසා ඒ ප්රදේශය කෝසලයයි කියනු ලැබේ.
චාරිකං චරමානො යනු දිගු ගමනක් යන්නේ. භාග්යවතුන් වහන්සේගේ චාරිකාව දෙවැදෑරුම් වෙයි. තුරිත චාරිකා, අතුරිත චාරිකා යනුවෙන්. එහි අවබෝධ කළයුතු පුද්ගලයකු දැක ඔහුට අවබෝධ කරනු පිණිස වහා ගමන තුරිත චාරිකා නම් වේ. එය මහා කාශ්යප තෙරුන්ගේ පෙරගමන් ආදියෙහිදී දතයුතුය. භාග්යවතුන් වහන්සේ මහකසුප් තෙරුන් පෙරගමන් කරද්දී මොහොතින් ගවු තුනක මගක් වැඩි සේක. ආලවක සඳහා තිස්යොදුනක් වැඩි සේක. අංගුලිමාල සඳහාද එසේය. පුක්කුසාති සඳහා යොදුන් හතළිස්පහක්ද, මහා කප්පින සඳහා යොදුන් දෙදහසක්ද, ධනය සඳහා යොදුන් සත්සියයක්ද වැඩි සේක. ධර්ම සේනාපතිගේ සද්ධිවිහාරික වනවාසි තිස්ස සාමණේරයන් සඳහා ගවු තුනක් සහ යොදුන් දෙදහසක් වැඩි සේක.
එක් දවසක් සැරියුත් තෙරණුවෝ ස්වාමීනි, තිස්ස සාමණේරයන් සමීපයට යමියි කීහ. භාග්යවතුන් වහන්සේ මම ද එන්නෙමියි කියා ආයුෂ්මත් ආනන්ද ඇමතූ සේක. ‘ආනන්ද විසිදහසක් ෂට් අභිඥාලාභීන්ට දන්වන්න. භාග්යවතුන් වහන්සේ තිස්ස සාමණේරයන් සමීපයට වඩින සේකැ’යි ඉන්පසු දෙවැනි දවසෙහි විසිදහසක් රහතුන් පිරිවරා අහසට නැගී යොදුන් දෙදහසක් එපිට ඔහුගේ ගොදුරුගම්දොර බැස සිවුර පෙරවූ සේක. කර්මාන්ත සඳහා යන මිනිස්සු දැක ‘අපගේ ශාස්තෲන් වහන්සේ පැමිණි සේක. කර්මාන්ත සඳහා නොයන්නැයි කියා අසුන් පනවා කැඳ දී පාවත් කරන්නාහු ‘භාග්යවතුන් වහන්සේ කොහි වඩනා සේක්දැයි තරුණ භික්ෂූන්ගෙන් විමසූහ. ‘උපාසකවරුනි, භාග්යවතුන් වහන්සේ අන් තැනක නොවඩනා සේක. මෙහිම තිස්ස සාමණේරයන් දකිනු පිණිස වැඩි සේක. ඔවුහු අපගේ කුලුපග තෙරුන් දක්නට ශාස්තෲන් වහන්සේ වැඩිසේකැ, අපගේ තෙරණුවෝ සුළුපටු කෙනෙක් නොවෙති යි සොම්නස් ඇත්තෝ වූහ.
ඉක්බිති භාග්යවතුන් වහන්සේ බත්කිස කෙළවර සාමණේරයන් වහන්සේ ගමෙහි පිඬු පිණිස හැසිර උපාසකවරු ‘භික්ෂු සංඝයා මහත්දැයි ඇසූහ. ඉක්බිති ඔවුහු උන්වහන්සේට ‘ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ වැඩිසේකැයි දැන්වූහ. උන්වහන්සේ භාග්යවතුන් වහන්සේ කරා එළඹ පිණ්ඩපාතයෙන් පිළිවිසූහ. ශාස්තෲන් වහන්සේ තිස්සගේ පාත්රය අතින් ගෙන ‘අවශ්ය නැත තිස්ස, බත්කිස නිමියේ යැයි කියූ සේක. ඉන්පසු උපාධ්යයන් වහන්සේ විමසා තමාට පැමිණි අසුනෙහි හිඳ බත්කිස කළහ. ඉක්බිති ඔහුගේ බත්කිස අවසන ශාස්තෲන් වහන්සේ යහපත් දෙයක් කියා නික්ම ගම්දොර සිට ‘තිස්ස ඔබගේ වසන තැනට යන මග කුමක්දැයි ඇසූ සේක. ‘භාග්යවතුන් වහන්ස, මෙය යැයි මග කියනවිට ‘තිස්ස පෙරටුව යන්න’යැයි කී සේක. භාග්යවතුන් වහන්සේ වනාහි සදේවක ලෝකයට මාර්ගය පෙන්වන්නකු වුවද සියලු තුන්ගවු මග සාමණේරෙයන් දක්නට ලබමියි ඔහු මාර්ග දේශකයා කළ සේක.
හේ තමාගේ වසන තැනට ගොස් උන්වහස්ට වත් කළේය. ඉක්බිති භාග්යවතුන් වහන්සේ ‘තිස්ස ඔබගේ සක්මන කුමක්දැයි අසා එහි ගොස් සාමණේරයන් හිඳින පහණෙහි හිඳ ‘තිස්ස මෙතැන සුවසේ විසීදැයි ඇසූ සේක. ‘එසේය ස්වවාමීනි, මෙතැන වසන මට සිංහයන්ගේ ව්යාඝ්රයන්ගේ හස්තීන්ගේ මෘගයන්ගේ සොරුන්ගේ හඬ අසනවිට අරණ්ය සංඥාව උපදී. එයින් සැපසේ වෙසෙමි.’ ඉක්බිති භාග්යවතුන් වහන්සේ ‘තිස්ස මහා සංඝයා රැස්කරවන්න. බුද්ධ දායාදය ඔවුන්ට පෙන්වමියි කියා භික්ෂු සංඝයා රැස් වූ කල්හි උන්වහන්සේ උපසම්පදා කොට තමා වසන තැනට වැඩි සේක. මෙය තුරිත චාරිකාවයි. ගම් නියම්ගම් පිළිවෙළින් දිනපතා යොදුනක් අඩයොදුනක් වශයෙන් පිඬු පිණිස හැසිරීම් ආදියෙන් ලෝකයාට අනුග්රහ කරන ගමන. මෙය අතුරිත චාරිකා නමි.