2. සාමඤ්ඤඵල සූත්‍ර වර්ණනාව
එවං මෙ සුතං -පෙ- රාජගහෙ යනු සාමඤ්ඤඵල සූත්‍රයයි. මේ මෙහි අපූර්ව පද වර්ණනාවයි. රාජගහෙ යනු එනම් නගරයෙහි. එය වනාහි මන්ධාතු ගෝවින්ද ආදීන් විසින් අධිගෘහිත බැවින් රාජගහ යයි කියනු ලැබේ. අන්‍යයෝද මෙහි ප්‍රකාරය වර්ණනා කරති. කුමකින්ද? මේ නගරයෙහි නම ගැන. එය බුද්ධ කාලයෙහි ද චක්‍රවර්ති කාලයෙහිද නගරයක් වෙයි. සෙසු කල්හි ශුන්‍ය වෙයි. යක්ෂයන් විසින් අරක්ගන්නා ලද්දේ වෙයි. ඔවුන් වාසය කරන වනයක් වී සිටියි. විහරති අවිශේෂයෙන් ඊරියාපථ දිව්‍ය බ්‍රහ්ම ආර්ය විහාරයන්හි එක්තරා විහාරයක් හා සබැඳි බව දැක්වීමයි. මෙහි වනාහි සිටීම, ගමන, හිඳීම,නිදාගැනීම යන ප්‍රභේද ඇති ඉරියව්වල එක්තරා ඉරියව්වක් සම්බන්ධයෙන් විස්තර කිරීමයි. එයින් සිටිමින් යමින් හිඳිමින් සැතපෙමින් භාග්‍යවතුන් වහන්සේ වාසය කරන සේකැයි දතයුතුයි. උන්වහන්සේ එක් ඉරියව්වකින් ඇතිවන බාධාව තවත් ඉරියව්වකින් පිරිසිඳ නොසිඳෙන ආත්මභාවය ගෙනයන සේක. පවත්වන සේක. ඒ නිසා විහරති යයි කියනු ලැබේ.
ජීවකස්ස කොමර භච්චස්ස අම්බවනෙ ඔහුගේ යම් ගොදුරුගමක් ඇසුරුකොට වසන සේක්ද. ඒ සමීපයෙහි වෙසෙන තැන දැක්වීමයි. ඒ නිසා රාජගහෙ විහරති ජීවකස්ස කෝමාර භච්චස්ස අම්බවනෙ යනු රජගහ සමීපයෙහි ජීවක කෝමාරභච්චගේ අඹවනයෙහි වසන සේකැයි මෙහි අර්ථය දතයුතුය. මෙය සමීපාර්ථයෙහි ආධාර වචනයකි. එහි ජීවත් වෙනුයි ජීවකො කුමාරයා විසින් පෝෂණය කරන ලද්දේනුයි කොමාර භච්චො කියන ලද පරිදි කොල්ලනි. කපුටන් විසින් වටකරනු ලැබූ මෙය කුමක්ද? දේවයන් වහන්ස, දරුවෙකි. ජීවත්වේද කොල්ලනි, ජීවත් වෙයි දේවයන් වහන්ස. එසේනම් කොල්ලනි, ඒ දරුවා අන්තඃපුරයට ගෙනගොස් පෝෂණය කරන්ට කිරිමවුන්ට දෙවු. ජීවත්වන බැවින් ඔහුට ජීවකයයි නමක් කළහ. කුමාරයා විසින් පෝෂණය කරවන ලද්දේනුයි කෝමාර භච්ච යයි නමක් තැබූහ. මේ මෙහි සංක්ෂේපයයි. විස්තර වශයෙන් ජීවක වස්තුව බන්ධකයෙහි ආයේය. ඔහුගේ විනිශ්චය කථාව ද සමන්තපාසාදිකා විනයට්ඨ කථාවෙහි කියන ලදී.
මේ ජීවක තෙමේ එක් කලෙක භාග්‍යවතුන් වහන්සේගේ දොසින් පිරුණු සිරුර විරේක කර සීවෙය්‍යක රෙදි දෙකක් දී වස්ත්‍ර අනුමෝදනාවෙහි කෙළවර සෝවාන් පෙලෙහි පිහිටා මෙසේ සිතීය. ‘මා දවසට දෙතුන්වරක් බුදු උවටැනට යායුතුය. මේ වේළුවනය ඉතා ඈතය. මාගේ අඹඋයන නුදුරේය. එහි භාග්‍යවතුන් වහන්සේට වෙහෙරක් කරන්නෙම් නම් මැනවැයි හේ අඹවනයෙහි රාත්‍රීස්ථාන දිවාස්ථාන ලෙන්කුටි මණ්ඩප ආදිය සාදවා භාග්‍යවතුන් වහන්සේට සුදුසු ගඳකිළියක් කරවා අඹවනය අටළොස් රියන් ලෙසට තඹපටෙහි වර්ණයෙන් යුත් පවුරකින් වටකරවා බුද්ධප්‍රමුඛ භික්ෂුසංඝයා සිවුරින් බතින් සතප්වා පැන් වඩා විහාරය පවරා දුන්නේය. ජීවකස්ස කෝමාර භච්චස්ස අම්බවනෙ යයි ඒ නිසා කියන ලදී.
අඩ්ඪ තෙළසෙහි භික්ඛුසතෙහි හය දහස් පන්සියයක් පමණ භික්ෂූන් සමග. රාජා යන ආදී තන්හි රාජා යනු තමාගේ ඓශ්වර්ය සම්පත්තියෙන් සිව් සඟරාවතින් මහජනයා රංජනය කෙරෙතියි රකිතියි රාජා. මගධයන්ට ප්‍රධානනුයි = මාගධො. නූපන්නේම රජුට සතුරු වන්නේ යයි නිමිත්ත පාඨකයන් විසින් නිර්දේශ කරන ලද්දේනුයි අජාතසත්තු.
ඔහු කුසට පැමිණි කල්හි දේවියට මෙබඳු දොළදුකක් ඇතිවිය. මම රජුගේ දක්ෂිණ බාහුවෙන් ලේ බොන්නේ නම් මැනවි’ඇයට බැරෑරුම් තැනක මෙම දොළදුක උපන. කිසිවකුට කියන්ට නොහැකි යයි එය කියන්ට නොහැකි වන්නී කෘශ වී දුර්වර්ණ වූවාය. රජ ඇයගෙන් මෙසේ ඇසීය. සොඳුර, ඔබගේ ආත්මභාවය ප්‍රකෘති වර්ණය නොවේ. කවර කරුණකින්ද? මහරජතුමනි, නොඅසනු මැනවි. සොඳුර, ඔබගේ අදහස මට නොකියන්නී කාහට කියන්නෙහිද? එසේ එසේ ඇවිටිලිකොට කියවා ගත්තේය. අසා නුවණ මඳ තැනැත්තිය තී මෙහිදී බැරෑරුම් හැඟීමක් ඇත්තී වන්නේ කුමක් නිසාද? වෙදකු කැඳවා රන් ආයුධයකින් අත පළවා රන් බඳුනකින් ලේ ගෙන ජලය සමග කලතා පෙව්වේය. නිමිත්ත පාඨකයෝ ඒ අසා ‘මේ ගැබ රජුට සතුරු වන්නේය. මොහු විසින් රජ මරනු ලබන්නේ’ යයි ප්‍රකාශ කළහ. දේවිය ඒ අසා ‘මාගේ කුසයෙන් නික්මෙන තැනැත්තා රජු මරන්නේ’යයි ගැබ හලනු කැමැත්තී උයනට ගොස් කුස මර්දනය කරවූවාය. ගැබ නොහැලෙයි. ඈ නැවත නැවත ගොස් එසේ කරවයි. රජතෙමේ ‘මෑ කුමක් නිසා නිතර උයනට යන්නීදැ’යි සොයා බලන්නේ ඒ කරුණ අසා ‘සොඳුර, තීගේ කුසෙහි පුත්‍රයෙක්ද දුවක්ද යන්න නොපැනේ. තමාට උපන් දරුවාට මෙසේ කළේයයි මහත් අගුණ රැසක් දඹදිව් තලයෙහි පහළ වන්නේය. එසේ නොකරන්නැ’යි වළක්වා ආරක්ෂාව ලබා දුන්නේය. ඈ ගැබින් නැගිටින කල්හි ඔහු මරන්නෙමියි සිතුවාය. එදා ද ආරක්ෂක මනුෂ්‍යයෝ දැක කුමරු ඉවතට ගෙන ගියහ. පසුකලෙක වැඩිවයසට පත් කුමරු දේවියට පෙන්වූහ. ඈ ඔහු දැකම පුත්‍ර ස්නේහය උපදවා ගත්තාය. එයින් ඔහු මැරීමට නොහැකි විය. රජතෙමේද අනුක්‍රමයෙන් පුත්‍රයාට යුවරජ තනතුර දුන්නේය.
ඉක්බිති එක් කලෙක දේවදත්ත රහසිගතව මෙසේ සිතීය. ශාරිපුත්‍රගේ පිරිස විශාලය මෞද්ගල්‍යානගේ පිරිස මහා කාශ්‍යපගේ පිරිස යැයි මොවුහු වෙන වෙනම තනතුරු දරන්නෝය. මම ද එක් තනතුරක් පැහැර ගනිමියි හේ ලාභයෙන් තොරව පිරිස් උපදවන්ට නොහැකිය. මම දැන් ලාභ උපදවා ගන්නෙමියි සිතා බන්‍ධකයෙහි ආ ක්‍රමයෙන් අජාත සත්ත කුමාරයා සෘද්ධි ප්‍රාතිහාර්යයෙන් පහදවා උදේ සවස රිය පන්සියයකින් උපස්ථානයට එන කුමරු අතිශයින් විශ්වාසී බව දැන එක් දවසක් ළඟට ගොස් මෙසේ කීය. කුමරුනි, පෙර මිනිස්සු දීර්ඝායුෂ්ක වූහ. දැන් අල්පායුෂ ඇත්තෝය. -පෙ- ඒ නිසා කුමරුනි, ඔබ පියා මරා රජ වන්න. මම බුදුන් මරා බුදුවන්නෙමි’යි කුමරු පියා මැරීමට පෙළඹවීය.