එතැන් පටන් රජුට අහරක් නැත. රජතෙමේ මගපල සුවයෙන් සක්මනින් යැපෙයි. ඔහුගේ ආත්මභාවය අතිශයින් බබලයි. කොල්ලන්, මාගේ පියා කෙසේ යැපේදැයි අසා දේවයන් වහන්ස, සක්මනින් යැපෙයි. ඔහුගේ ආත්මභාවය අතිශයින් බබලතියි අසා දැන් ඔහුගේ සක්මන නවත්වන්නෙමියි සිතා මාගේ පියාගේ පාද දැලිපිහියෙන් පළා ලුණු තෙලින් අතුල්ලා කිහිරගුරුවලින් චිටි චිටි ගා පුළුස්සවු යයි කරණවෑමියන් යැවීය. රජ ඔවුන් දැක ‘ඒකාන්තයෙන් මාගේ පුත්‍රයා කවුරුන් හෝ විසින් දන්වන ලද්දේ වන්නේය. මොවුහු මාගේ රැවුල කැපීම පිණිස පැමිණියාහු යයි සිතීය. ඔවුහු ගොස් වැඳ සිටියහ. ‘කුමක් නිසා ආවහුදැ’යි විමසන ලද්දාහු ඒ හසුන දැන්වූහ. තොපගේ රජුගේ අණ කරවු යයි කියන ලද්දාහු ‘හිඳිනු මැනවි දේවයන් වහන්සැ’යි කියා රජු වැඳ ‘දේවයන් වහන්ස, අපි රජ අණ කරමු. අපට නොකිපෙනු මැනවි. මේ නම් ඔබවහන්සේ වැනි දහම් රජුනට නුසුදුසු යැයි කියා වම් අතින් ගොස් මස ගෙන දකුණතින් දැලිපිහිය ගෙන පතුල් පළා ලුණු තෙල් ගා කිහිරි අඟුරින් චිටි චිටි යයි පිළිස්සූහ. රජතෙමේ පෙර සෑමළුවෙහි පාවහන් සහිතව ගියේය. හිඳ ගැනීම පිණිස පනවන ලද පැදුර ද නොසේදු පයින් පෑගීය. මේ එහි විපාකයයි කියත්. රජුට මහත් වේදනා උපන. හේ බුදුරජාණන් වහන්සේ ආශ්චර්යයි ධර්මය ආශ්චර්යයි යනුවෙන් සිහිකරන්නේ සෑමළුවෙහි දැමූ මල්දමක් මෙන් මැලවී චාතුර්මහාරාජික දෙව්ලොව වෙසවුණුගේ පරිවාරක ජනවසඟ නම් යක්ෂයකු වී උපන්නේය.
එදවසම අජාතසත්තුට පුතෙක් උපන්නේය. පුතා උපන් බවද රජු මළ බවද දන්වන්ට ලිපි දෙකක් එකම වේලාවට ආවේය. ඇමතියෝ පළමුව පුතු උපන් බව දන්වන්නෙමුයි ඒ ලිපිය රජු අත තැබූහ. රජුට එකෙණෙහිම පුත්‍රස්නේහය ඉපදී සියලු සිරුර කළඹා ඇටමිදුළුවල හැපී සිටියේය. එකෙණෙහි පියාගේ ගුණ දත්තේය. ‘මා උපන් කල්හිද මාගේ පියාටද මෙබඳුම සෙනෙහසක් උපන්නේ වනැ. හේ කොල්ලනි, යවු මාගේ පියා මුදාහරිවු මුදාහරිවු යයි කීය. දේවයන් වහන්ස, කුමක් මුදාහරින්නේ දැයි ඉතිරි ලිපිය අත තැබූහ.
හේ එපුවත අසා හඬමින් මව් වෙත ගොස් ‘මෑණියනි, මාගේ පියාට මා කෙරෙහි සෙනෙහසක් වීදැයි ඇසීය. ඈ මෙසේ කීවාය. මෝඩපුත්රය. කුමක් කියහිද? ඔබ ළමා කල්හි ඇඟිල්ලෙහි ගෙඩියක් නැගිණ. ඉක්බිති ඔහුට ඔබ හඬනු දරාගන්ට නොහැකිව අල්ලාගෙන අධිකරණ අසුනෙහි සිටි ඔබගේ පියා වෙත ගියාහුය. පියා ඔබගේ ඇඟිල්ල මුවෙහි තැබීය. ගෙඩිය මුව තුළදීම පුපුරා ගියේය. ඉක්බිති ඔබගේ පියා ඔබට ඇති සෙනෙහස නිසා ඒ ලේ මුසු සැරව එළියට නොදමා ගිල්ලේය. ඔබගේ පියාගේ සෙනෙහස එබඳුය. හේ හඬා වැළපී පියාගේ සිරුරු කිස කළේය.
දේවදත්තද අජාත සත්තු වෙත එළඹ ‘මහරජතුමනි, ශ්‍රමණ ගෞතමයන් ජීවිතයෙන් වෙන්කළ හැකි මිනිසුන් අණකරන්නැයි කියා ඔහු විසින් දෙන ලද මිනිසුන් යවා තමාම ගිජුකුළු පව්වට නැග යන්ත්‍රයෙන් ගල්ගසා, නාලාගිරි ඇතු මුදාහරවාද කිසියම් උපායෙකින් භාග්‍යවතුන් වහන්සේ මරවන්ට නොහැක්කේ ලාභසත්කාරයෙන් පිරිහුණේ පංච වස්තූන් ඉල්ලා නොලබන්නේ ඒවා ජනයාට දන්වන්නෙමියි සංඝභේද කොට සැරියුත් මුගලන් තෙරවරුන් පිරිස් රැගෙන ගිය කල්හි උණු ලේ මුවෙන් දමා නවමසක් ගිලන් ඇඳෙහි වැදහෙව උපන් විපිළිසර ඇත්තේ ‘දැන් ශාස්තෲන් වහන්සේ වසනසේක්දැයි විමසා දෙව්රමෙහි යයි කීකල්හි ‘ඇඳ පිටින් මා ගෙනගොස් ශාස්තෲන් වහන්සේ පෙන්වවු යයි කියා ගෙනයනු ලබන්නේ භාග්‍යවතුන් වහන්සේ දැකීමට සුදුසු කර්මයක් නොකරන ලද බැවින් දෙව්රම්හි පොකුණ සමීපයෙහිම දෙබෑ වූ පොළොවට පිවිස මහා නිරයෙහි පිහිටියේය. මේ මෙහි සංක්ලේෂයයි. විස්තර කථා ක්‍රමයෙන් ඛන්ධකයෙහි ආ බැවින් සියල්ල නොකියන ලදී. මෙසේ ‘නූපන්නේම රජුට සතුරු වන්නේ යයි’ නිමිත්ත පාඨකයන් විසින් නිර්දේශ කරන ලද්දේනුයි අජාත සත්තු.
වෙදෙහි පුත්තො යනු මේ කොසොල් රජුගේ දුවගේ පුත්‍රයා. විදේහ රජුන්ගේ නොවේ. වෙදෙහි යනු පණ්ඩිත යන්නට සමාන වචනයකි. යම්සේ කීවේද වෙදෙහිකා ගහපතානී (නුවණැති ගෘහපතිනි) අය්යො ආනන්දො වෙදෙහමුනි’ ආනන්ද ආර්යයන් වහන්සේ වෙදඟ (නුවණැති) මුනිවරයෙකි. මේ මෙහි වචනාර්ථයයි. එයින් කියානුයි = වෙදො ඥානයට මෙය සමාන වචනයකි. වේදයෙන් යත්න දරානුයි, ගතානුයි, වෑයම් කරානුයි = වෙදෙහී. වෙදෙහියගේ පුත්‍රයා = වෙදෙහි පුත්තො.
තදහු යන ඒ දවසෙහි, එදින යන අර්ථයි. මෙහි එළඹ වෙසේනුයි උපොසථො. උපාසන්ති යනු ශීලයෙන් හෝ උපවාසයෙන් යුතුව වසත් යන අර්ථයි. මේ මෙහි අරුත් උපුටනයයි. ‘ආයුෂ්මත් කප්පින උපොසථයට යන්නෙමු’ ආදි තන්හි පාමොක් උදෙසන උපොසථයයි. විසාඛාවෙනි, මෙසේ අෂ්ටාංගයකින් යුත් උපෝසථය වැසුයේ යන තන්හි ශීලයයි. ‘සුද්ධස්ස වෙ සදා ඵග්ගු සුද්ධස්සුපොසථො සදා - සුපිරිසිදු පුද්ගලයාට හැමදා උපවාසයයි. හැමදා උපෝසථයයි යන තන්හි උපවාසයයි. ‘උපෝසථ නම් නාරජ’ යන තන්හි ප්රඥප්තියයි. ‘නභික්ඛවෙ තදනුපොසථ සභික්ඛුකා ආවාසා’ - මහණෙනි, උපෝසථ දිනයෙහි ආවාස භික්ෂූන් සහිත නොවේ යන තන්හි උපවාස කළයුතු දවසයි. මෙහිද එය අදහස් කරන ලදී. එය වනාහි අටවක, තුදුස්වක පසළොස්වක භේදයෙන් තෙවැදෑරුම් වේ. ඒ නිසා ඉතිරි දෙක වළක්වනු පිණිස පණ්ණරසෙ යනුවෙන් කියන ලදී. එහෙයින් කියන ලදී. මෙහි එළඹ වෙසෙතියි උපොසථො.