සමහර තැනක පද පූරණ මාත්‍රයකි. යම්සේ කීයේද? ‘ඉධාහං භික්ඛවෙ භුත්තාවී අස්සං පවාරිතො’මෙහි ලෝකය සඳහා කියන ලද්දේ යයි දතයුතුය. මහාරාජ යනු ප්‍රතිඥාත වූ පරිදි දේශනාව පවත්වන්ට නැවත මහාරාජ යයි අමතති. මෙය කියන ලද්දේ වෙයි. මහාරාජ ඉමස්මිං ලොකෙ තථාගතො උප්පජ්ජති අරහං -පෙ- බුද්ධො භගවා යි. එහි තථාගත ශබ්ද බ්‍රහ්ම ජාලයෙහිද, අරහං ආදිය විශුද්ධි මාර්ගයෙහි ද විස්තර කරන ලදී. ලොකෙ උප්පජ්ජති මෙහි වනාහි ලොකො යනු අවකාශ ලෝකය, සත්ත්ව ලෝකය, සංස්කාර ලෝකයයි ත්‍රිවිධ වෙයි. මෙහි සත්වලෝකය අදහස් කරන ලදී. සත්ත්ව ලෝකයෙහි උපදින්නා වූද තථාගතයන් වහන්සේ දෙව්ලොව බඹලොව නූපදින සේක. මිනිස්ලොවද උපදින සේක. මිනිස්ලොවත් අන් සක්වළක නොවේ. මෙම සක්වළෙහිම උපදින සේක. එහිද සැමතැනම නොවේ. ‘පෙරදිගින් කජංගලනම් නියම්ගමය. ඊට බටහිරින් මැද ශාලාය. ඉන් එහාට ප්‍රත්‍යන්ත ජනපදයෝය. මෙගොඩ මැද නිරිතදිගින් සල්ලවතී නම් මහා නදියයි. ඉන් එපිට ප්‍රත්‍යන්ත ජනපදය මෙගොඩ මැද දකුණුදිගින් සේත කණ්ණික නම් නියම්ගමය. ඉන් එපිට ප්‍රත්‍යන්ත ජනපදය. මෙගොඩ මැද, බටහිරදිගින් ථූණ නම් බමුණුගමය. ඉන් එපිට ප්‍රත්‍යන්ත ජනපදය. මෙගොඩ මැද උතුරුදිගින් උසීරද්ධජ නම් පර්වතය. ඉන් එපිට ප්‍රත්‍යන්ත ජනපදය. මෙගොඩට මැද යයි මෙසේ පිරිසිඳුණු දිගින් යොදුන් තුන්සියයක්ද පුළුලින් යොදුන් එකසිය පනසක්, වටින් යොදුන් නවසියයක් ද වූ මධ්‍යම ප්‍රදේශයෙහි උපදින සේක. තථාගතයන් වහන්සේ පමණක් නොව පසේබුදුවරු අගසව්වෝ අසූ මහ තෙරහු බුද්ධ මාතාව බුද්ධ සක්විති රජ සහ අනෙකුත් යසසට පත් බ්‍රාහ්මණ ගෘහපතියෝද මෙහිම උපදිත්.
එහි තථාගතයන් වහන්සේ සුජාතාව විසින් දෙන ලද මධුපායාස භෝජනයෙහි සිට අරිහත් මාර්ගය තෙක් උපදිති නම් වෙති. රහත්පෙලෙහි ඉපදුණු නම් මහබිනික්මනෙහි සිට රහත්මග තෙක්, තුසිත භවනයෙහි සිට රහත්මග තෙක්, දීපංකර පාදමූලයෙහි සිට රහත්මග තෙක් උප්පජ්ජති නමි. රහත් පලයෙහි උප්පන්න නමි. මෙහි සියල්ලට පළමුව උප්පන්නභාවය සඳහා උප්පජ්ජතී යයි කියනු ලැබේ. තථාගතයන් වහන්සේ ලෝකයෙහි උපන්නාහු වෙතියි මේ මෙහි අර්ථයයි.
සොඉමං ලොකං යනු ඒ භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකය. දැන් කිවයුතු දෙය දක්වති. සදෙවකං යනු දෙවියන් සහිත මෙසේ මාරයා සහිත සමාරකං. බ්‍රහ්මයා සහිත සබ්‍රහ්මකං ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත සස්සමණ බ්‍රාහ්මණිං. ප්‍රජනනය වූ බැවින් පජා ඒ ප්‍රජාව. දෙවි මිනිසුන් සහිත සදෙවමනුස්සං එහි සදෙවක වචනයෙන් පංච කාමාවචර දේව ගහණය දතයුතුය. සමාරක වචනයෙන් ෂට් කාමාවචර දේව ගහණයයි. සබ්‍රහ්මක වචනයෙන් බ්‍රහ්මකායික ආදී දේවගහණයයි. සස්සමණ බ්‍රාහ්මණ වචනයෙන් ශාසනයට සතුරු වූ අමිත්‍ර වූ ශ්‍රමණ බ්‍රාහ්මණ ගහණයයි. සමිතපාප, බාහිතතාප ශ්‍රමණ බ්‍රාහ්මණ ගහණයද වෙයි. පජා වචනයෙන් සත්ත්ව ලෝක ගහණයයි. සදෙව මනුස්ස වචනයෙන් සම්මුතිදේව අවශේෂ මනුෂ්‍ය ගහණයයි. මෙසේ මෙහි තුන්පදයෙන් අවකාශ ලෝකය සමග සත්ත්වලෝකය ගැනේ. ප්‍රජාවන් දෙක වශයෙන් සත්ව ලෝකයට ගන්නා ලද්දේ යයි දතයුතුය.
තවත් ක්‍රමයක්, සදේවක ගහණයෙන් අරූප ලෝකය ගන්නා ලදී. සමාරක ගහණයෙන් කාමාවචර දේවලෝකද සබ්‍රහ්මක ගහණයෙන් රූපී බ්‍රහ්ම ලෝකයද, සස්සමණ බ්‍රාහ්මණ ගහණයෙන් සිව්පිරිස් වශයෙන් සම්මුති දෙවියන් සමග මනුෂ්‍ය ලෝකයද අවශේෂ සත්ව ලෝකය හෝ ගන්නා ලද්දේය.
තවද මෙහි සදේවක වචනයෙන් උඩත් පිරිසෙයින් සියලු ලොව සාක්ෂාත් කළ බව කීහ. එයින් යමකුට මෙසේ සිතිණිද? මාරයා මහානුභාව ඇත්තේය. කාමාවචර සයට ප්‍රධානය. වශවර්තීය. එයද මොහු විසින් සාක්ෂත් කරන ලද්දේද? ඔවුන්ගේ විමතිය දුරලමින් සමාරක යයි කීහ. යමකුට මෙසේ සිතිණිද? ‘බ්‍රහ්මයා මහානුභාව ඇත්තේය. එක් ඇඟිල්ලකින් එක් සක්වළ දහසක් ආලෝකය පතුරුවයි. දෙකකින් -පෙ- දසයකින් සක්වළ දස දහසක් ආලෝකය පතුරුවයි. අනුත්තර වූ ධ්‍යාන සමාපත්ති සුඛය විඳියි. ඔහුද සාක්ෂාත් කරන ලද්දේද? ඔවුන්ගේ විමතිය දුරලමින් සබ්‍රහ්මකං ආදිය කීහ. ඉන්පසු යමෙක් මෙසේ සිතූද. බොහෝ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ශාසනයට සතුරෝය. ඔවුහුද සාක්ෂාත් කරන ලද්දෝ ද? ඔවුන්ගේ විමතිය දුරලමින් සස්සමණ බ්‍රාහ්මණං පජං යනුවෙන් කීහ. මෙසේ උත්කෘෂ්ට උත්කෘෂ්ට වූවන් සාක්ෂාත් කළ බව ප්‍රකාශකොට ඉක්බිති සම්මුති දෙවියන්, අවශේෂ මනුෂ්‍යයන්ද සඳහා උඩත් පිරිසෙයින් සත්ව ලෝකය සාක්ෂාත් කළ බව ප්‍රකාශ කරන සේක් සදේව මනුස්සං යනුවෙන් කීහ. මේ මෙහි භාවානු ක්‍රමයයි. (සිදුවීම් පිළිවෙළයි.)