ජිව්හා නිත්‍ථන්‍ධනං යනු, මන්ත්‍රයෙන් දිව තද කිරීමයි. හණු සංහණන යනු කටබඳින මන්ත්‍රයෙන් හණු සෙලවීමට නොහැකි වන සේ තදකිරීමයි. හත්‍ථාභිජප්පන යනු, අත් පෙරලීම පිණිස මන්ත්‍ර ජපකිරීමයි. ඒ මන්ත්‍රයෙහි පද සතක් අතර සිට ජපකළ කල්හි ශබ්ද නොඇසෙන පිණිස මන්ත්‍ර කීමයි. ඒ මන්ත්‍රය ජපකොට අවසන්වන කල්හි යමක් කැමතිනම් එය කියයි. සතුරාට එය නොඇසේ. ඉන්පසු පිළිතුරු සපයා ගැනීමට නොහැකිය. ආදාස පඤ්හං මුහුණ බලන කණ්ණාඩියට දෙවියකු ආරූඪකර ප්‍රශ්න ඇසීමයි. කුමාරිකපඤ්හං දැරියකගේ සිරුරට දෙවියකු ආරූඪකර ප්‍රශ්න ඇසීමයි. දෙවපඤ්හං දේව දාසියකගේ සිරුරට දෙවියකු ආරූඪකර ප්‍රශ්න ඇසීමයි. ආදිච්චුපට්ඨානං ජීවිකාව පිණිස සූර්ය පූජා කිරීම. මහතුපට්ඨා යනු එසේම මහා බ්‍රහ්මයා පිදීම. අබ්භුජ්ජලනං මන්ත්‍ර බලයෙන් කටින් ගිනිදැල් පිටකිරීම. සිරව හායනං එන්න ශ්‍රී කාන්තාව, මාගේ සිරසෙහි පිහිටන්න යයි මෙසේ හිසින් ශ්‍රී කාන්තාව කැඳවීම.
සන්තිකම්මං දේවස්ථානයට ගොස් මට මේ දේ සමෘද්ධ වේනම් ඔබට මේ මේ උපහාර කරන්නෙමියි සමෘද්ධ වූ කල්හි කළයුතු සතුටු කිරිම සඳහා බාර ඉටුකිරීමේ කාර්යය. එය සමෘද්ධ වූ කල්හි එය ඉටුකිරීම පණිධිකම්ම නමි. භූරිකම්මං මැටි ගෙයක වැස උගත් මන්ත්‍රය කීම. වස්ස කම්මං වොස්ස කම්මං යන මෙහි වස්ස යනු පුරුෂයාය. වොස්ස යනු පණ්ඩකයාය. මෙසේ පණ්ඩකයා පුරුෂයකු කිරීම වස්ස කම්ම නමි. පුරුෂයා පණ්ඩකයකු කිරිම වොස්සකම්ම නමි. එය කරන්නේ වෘෂණය ඉවත්කිරීම් තත්ත්වයට පමුණුවයි. ලිංගය අතුරුදහන් කිරීමට නොහැකිය. වත්‍ථුකම්ම ස්වභාවික පොළොවෙහි ගෙය පිහිටුවීමයි. වත්‍ථු පරිකිරණං යනු මේ මේ දේ ගෙන එවු යයි කියා ඒ ඒ තැන බලිකර්ම කිරීමයි. ආචමනං ජලයෙන් මුව පිරිසිදු කිරීම. නහාපනං යනු අනුන් නැහැවීම. ජුහණං ඔවුන් සඳහා ගිනි පිදීම, වමනං බෙහෙත් දී වමනය කරවීමයි. විරේචන යෙහිද මෙම ක්‍රමයයි. උද්ධවිරේචණං පැන නැගි දොස් ඉවත් කිරීමයි. සීස විරේචණං හිස විරේක කිරීමයි. කණ්ණතෙලං කන්වල වැඩීම පිණිස හෝ වණ නැතිකිරීම පිණිස බෙහෙත් තෙල් සිඳීම. නෙත්ත තප්පන ඇස් තවන තෙල්. නත්‍ථුකම්මං තෙල් යෙදු නශ්‍ය කිරීම. අඤණං පටල දෙකක් හෝ තුනක් ඉවත් කිරීමෙහි සමත් ක්ෂාර ආලේප කිරීම. පච්චඤ්ජනං වැඩිය යුතු සීතල බෙහෙත් ආලේප කිරීමයි. සාලාකියං කටු වෙදකම. සල්ලකත්තිය යනු ශල්‍ය වෛද්‍ය කර්මය. මූල භෙසජ්ජං අනුප්පදානං මෙයින් කාය චිකිත්සාව දක්වයි. ඔසධීනං පටිමොක්ඛො ක්ෂාර ආදිය දී සුදුසු ක්ෂණය ඉක්මගිය කල්හි ඒවා ඉවත් කිරීමයි.
මෙපමණකින් මහා ශීලය නිර්දේශ කරන ලදී.
මෙසේ බ්‍රහ්මදත්ත විසින් කියන ලද ගුණයට අනුසන්ධි වශයෙන් තෙවැදෑරුම් ශීලය විස්තරකොට දැන් භික්ෂු සංඝයා විසින් කියන ලද ගුණයට අනුසන්ධි වශයෙන් අත්‍ථි භික්ඛවෙ අඤ්ඤෙච ධම්මා ගම්හීරා දුද්දසා යන ආදි ක්‍රමයෙන් හිස් බව ප්‍රකාශනය ඇරඹූහ. එහි ධම්මා යනු ගුණයෙහි, දේශනාවෙහි පර්යාප්තියෙහි, ප්‍රමාණවත් නොවන බවෙහිත් යන මේ ආදියෙහි ධම්ම ශබ්දය පවතී.
දහමද අදහමද - සමවිපාක ගෙන නොදේ
අදහම නිරයට ගෙන යයි - දහම සුගතියට පමුණුවයි.